සිටුහු සෝවාන්වීම

බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුහට බණ දෙසීම.

“කෙලෙස් දුරු කළ, පවින් මිදුණු, කාමයන්හි නො ඇලුණු, එහෙයින් ම නිවී සැනැසුණු, කිසි උපක්ලේශයක් නැති තැනැත්තා සෑම කල්හි ඒකාන්තයෙන් සුවසේ සැතැපේ. සියලු තෘෂ්ණා සිඳීමෙන්, සිතෙහි දුක් පීඩා දුරු කිරීමෙන් සිතේ සංසුන් බවට පැමිණ නිවී සැනැහුණු පුද්ගලයා සුව සේ සැතැපේ”150 යැ යි වදාරා, ඉක්බිති දාන කථාදි පිළිවෙළ කථායෙන් දම් දෙසූ සේක. ඒ ඇසීමෙන් සිටු තෙම උන් අස්නෙහි ම සෝවාන් විය. ඉක්බිති බණ වදාළ සැටිය ගැන ප්‍රශංසා කොට, “මා බුදුන් දහම් සඟ සරණ ගිය උපාසකයකු කොට සලකන සේක්වා” යි කියා පසු දා දනට ද ආයාචන කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් එය ඉවැසූ සේක. ඉන්පසු සිටුතෙම වැඳ අවසර ගෙන පිටත් ව ගොස් පසුදා රජගහ නුවර සිටුහුගේ ගෙහි දන් පිළියෙල කොට භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වැඩම කරවා ඛාද්‍ය භෝජ්‍යයෙන් මොනොවට සත්කාර කෙළේ ය. දන් වැළඳූ ඉක්බිති සිටු තෙම බුදුරජාණන් වහන්සේට එකත්පස් වැ හිඳ ගත්තේ ය. හිඳ සංඝයා හා සැවැත් නුවරැ වස් වසන්නට වඩින ලෙස බුදුරජාණන් වහන්සේට ආයාචනා කෙළේ ය.

“ගෘහපතිය, තථාගතවරු ශුන්‍යගාරයට සතුටුහ”යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

“එ සේ ය, මට වැටහුණේ ය, වහන්සැ” යි කියා සිටු තෙම සෙනසුන් පිළියෙල කළ යුතු සැටි තමාට වැටහුණු බව පැවැසීය. ඉන්පසු බුදුරජාණන් වහන්සේ ධර්ම කථායෙන් ගෘහපතියා සතුටුකොට පින් කිරීමෙහි උත්සාහවත් කොට, හුනස්නෙන් නැගිට වැඩි සේක.