ලෝකයා විසින් අවිද්‍යාව නිසා සත්ත්ව පුද්ගල ආත්මාදි වශයෙන් සලකා ඇලුම් කරන මේ පඤ්චස්කන්ධය වනාහි මන්දාස්වාදයක් ඇති මහා දුඃඛස්කන්ධයෙකි. මහා ආදීනව රාශියකි. නො දිරා පවත්වා ගැනීම සඳහා ආහාර - පාන බෙහෙත් ආදියෙන් කෙසේ පෝෂණය කළත් පඤ්චස්කන්ධය නො නැවතීම දිර දිරා යන්නේ ය. එයින් ලේ මස් අඩු වී නහර ඉල්පී, සම රැලි ගැසී, දුර්වර්ණ වී, කුදු ගැසී, කෙස් රැවුළු පැසී, දත් වැටී, විරූපත්වයට පැමිණෙන්නේ ය. සිහි නුවණ හීන වන්නේ ය. ඇස් නො පෙනී යන්නේ ය. කන් නො ඇසී යන්නේ ය. ගඳ දැනීම, රස දැනීම හීන වන්නේ ය. දුබල වී ශරීරය වෙවුලන්නට පටන් ගන්නේ ය. ඇස්වලින් කබ කඳුළු ගලන්නට පටන් ගන්නේ ය. ශරීරයෙන් දුගඳ හමන්නට පටන් ගන්නේ ය.
ක්‍රමයෙන් දිරා ගොස් ඒ කාලය පැමිණි පසු කලින් මැණිකය, රන්කඳය, සුරංගනාවය කියා ඒ ඒ අය වැළඳ ගත් සිප ගත්, ඒ ශරීරයට ළංවන්නට වත් කවුරුවත් කැමති නො වන්නාහ. දක්නටවත් කැමති නො වන්නාහ. කලින් තමාත්, අන්‍යයනුත් ඇලුම් කර ගෙන සිටි රූප කය එබඳු තත්ත්වයකට පැමිණීම නම් මහ දුකෙකි. මේ ජරා දුක ඇති වීමේ හේතුව කුමක් ද? එය ඇති කරන සතුරා කවරෙක් ද? සංස්කාරයන්ගෙන් අන්‍ය වූ ජරාව ඇති කරන හේතුවක් නැත. එය ඇති කරන අන් සතුරෙක් ද නැත. දිරීම සංස්කාරයන්ගේ ස්වභාවයෙකි. සංස්කාරයක් ඇති වුවහොත් එය නො දිරා නො නවත්නේ ය. ජරාව ඇති වීමේ හේතුවත්, ජරාව ඇති කරන සතුරාත්, මේ පඤ්චස්කන්ධය ම ය. දිරන්නේත් පඤ්චස්කන්ධය ම ය. දිරන බැවිනුත්, දිරීම ඇති කර දෙන සතුරා වන බැවිනුත්, පඤ්චස්කන්ධය ඇලුම් කළ යුත්තක් නො ව බිය විය යුත්තකි.
මේ ශරීරය අනේකප්‍රකාර රෝගයන් ගේ උත්පත්ති ස්ථානයකි. කොතෙක් පරෙස්සම් කළත් කෙසේ පරෙස්සම් වුවත්, රෝගයෙන් නො මිදිය හැකි ය. මේ ශරීරයෙහි වෙර ඇති මිනිසුන් දෙදෙනකු විසින් කඹයක් පටලවා තද කරන කලෙක මෙන් ද, මිටියකින් ගසක කලෙක - හුලකින් අණින කලෙක මෙන් ද දරුණු වේදනා ඇති වන ශීර්ෂ රෝගයෝ හට ගනිති. හුලක් ගසා කරකවන කලෙක මෙන් මහත් වේදනා ඇති කරන කර්ණ රෝගයෝ ද, දන්ත රෝගයෝ ද හට ගැනෙති. මිරිස් කුඩු ලූ කලෙක, වීදුරු කැඩු ලූ කලෙක මෙන් වේදනා ඇති වන නේත්‍ර රෝගයෝ හට ගැනෙති. කුණු පොල් ගෙඩියකින් වෑස්සෙන කුණු දිය සෙයින් දුගඳ සොටු, ලේ සැරව ගලන නාශිකා රෝගයෝ ද හට ගැනෙති. පිහියාවලින් කපන කලෙක මෙන් ද, හුල්වලින් අනින කලෙක මෙන් ද, ගින්නෙන් දවන කලෙක මෙන් ද, වේදනා ඇති කරන රෝගයෝ පපුවේ, බඩේ හට ගනිති.
ශාරීරික සප්තධාතූන් කෙමෙන් ක්ෂය වී යාම ඇති, බොහෝ කල් දුක් විඳ දිවි කෙළවර කරන්නට සිදුවන ක්ෂය රෝගය ය. කන් නාස් ඇඟිලි - අත්වලින් පටන් ගෙන ක්‍රමයෙන් ශරීරය දිරා කුණු වී කැඩි කැඩී යාම ඇති, බොහෝ කල් දුක් විඳින්නට සිදු වන ලාදුරු රෝගය ය, එසේ ම බොහෝ කල් දුක් විඳින්නට සිදු වන වණ, කුෂ්ට, පිළිකා රෝගය ය, කයින් අඩක් පණ නැතිව බොහෝ කල් දුක් විඳින්නට වන පක්ෂාගාත රෝගය ය, සිහිසන් නැති වී තැන තැන වැටෙන අපස්මාර රෝගය ය යනාදි බොහෝ රෝගයෝ ද මේ ශරීරයෙහි හට ගැනෙති. ලෝකයෙහි රෝග හේතු සැටියට සලකන කරුණු ඇත ද, ජලයෙහි ලෑමෙන් කළුගල මැටිකැටය සේ දිය නො වන්නාක් මෙන්, රෝග හට ගන්නා ස්වභාවයක් ශරීරයෙහි නැති නම් රෝග හේතූන් සැටියට සලකන දේවල් නිසා ශරීරයෙහි රෝගයෝ නො හට ගන්නාහ. රෝග හටගන්නේ ශරීරයෙහි ඇති රෝග හට ගන්නා ස්වභාවය නිසා ය. එබැවින් සත්‍ය වූ රෝග හේතුවත් රූපස්කන්ධය ම මිය අනිකක් නො වන බවත්, රෝග උපදවන සතුරාත් රූපස්කන්ධය ම මිස අනිකකු නො වන බවත් කිය යුතු ය.
රෝගයැ යි කියනුයේ ද රූපස්කන්ධ සංඛ්‍යාත මේ ශරීරයට අයත් ඇතැම් රූපයන්ට ම ය. ව්‍යාධි දුඃඛයේ සත්‍ය හේතුවත් රූපස්කන්ධ සංඛ්‍යාත ශරීරය ම ය. රෝග දුඃඛය ගෙන දෙන සතුරාත් මේ ශරීරය ම ය. ශරීරය ම රෝගය වන බැවිනුත්, රෝග හේතුව වන බැවිනුත්, රෝග කාරක සතුරා වන බැවිනුත්, රූපස්කන්ධ සංඛ්‍යාත මේ ශරීරය ඇලුම් කළ යුත්තක් නො වන බිය විය යුත්තකි.
උපන් සංස්කාරයෝ දිරීමට පැමිණීමෙන් ම නවත්තාහු නො වෙති. දිරූ පසු ඒවා බිඳී යති. බිඳී යාමය යි කියනුයේ නැති වීම ය. සත්ත්වයාට ජීවිතාන්තය දක්වා ම නැවතීමක් නැතිව දිනපතා ආහාරපානාදියෙන් නැවත නැවත ශරීරය පෝෂණය කරන්නට සිදු වී ඇත්තේ, ආහාරපානාදියෙන් ඇතිවුණු රූප දිර දිරා බිඳී යන බැවිනි. සැපය ඇති කර ගැනීමට, ප්‍රීතිය ඇති කර ගැනීමට, නැවත නැවත මහන්සි වෙමින් වියදම් කරමින් ක්‍රියා කරන්නට සිදු වී ඇත්තේ ද ලබා ගත් සුවය ලබා ගත් ප්‍රීතිය සැණෙකින් ජරාපත් වී බිඳී යන බැවිනි. වෙහෙසී වියදම් කොට ඇති කර ගන්න රූප බිඳි බිඳී යාමත්, සැප බිඳි බිඳී යාමත්, ප්‍රීති බිඳි බිඳී යාමත් රූප බිඳි බිඳී යාමත්, සැප බිඳි බිඳී යාමත්, ප්‍රීති බිඳි බිඳී යාමත්, මහා දුඃඛයකි. එසේ සංස්කාරයන් ගේ බිඳි බිඳී යාම ඇති බැවින් සත්ත්වයාට එක් භවයක හැම කල්හි ජීවත් වන්නට ද නො ලැබෙන්නේ ය. ජීවත් වීම සඳහා නොයෙක් ආකාරයෙන් උත්සාහ කරද්දීම ඒ සියල්ල නිෂ්ඵල වී සත්ත්වයාට මරණයට පැමිණෙන්නට ද සිදු වන්නේ ය. ජීවිතයට නො දෙවෙනි කොට ඇලුම් කරන ධන ධාන්‍ය-පුත්‍ර-භාර්‍ය්‍යාදි ප්‍රිය වස්තූන්ගෙන් හා ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන් වන්නට ද සිදු වන්නේ ය. ප්‍රිය විප්‍රයෝගය ද සත්ත්වයාට මහා දුඃඛයෙකි. පඤ්චස්කන්ධය දිරන-බිදෙන-මැරෙන එකක් වී තිබීමෙන් දුකින් මිදීම පිණිසත්, සැප ලැබීම පිණිසත්, සත්ත්වයාටහට නොයෙක් විට නොයෙක් පව් කම් ද කරන්නට සිදු වේ. ඒවායින් සත්ත්වයාට මරණින් මතු අපාගත වන්නට සිදු වේ. එය සියල්ලට ම මහත් වූ දුක ය. මරණයේ හේතු සැටියට සලකන නොයෙක් කරුණු ඇතත් පඤ්චස්කන්ධයෙහි මැරෙන ස්වභාවය නැති නම් කිසි ම හේතුවකට, කිසි ම සතුරකුට මරණය සිදු කළ නො හැකි ය. මැරෙන ස්වභාවය පඤ්චස්කන්ධයෙහි ඇති බැවින් කිසිවකුට කවර බලයකින් වත් මරණයෙන් නො මිදිය හැකි ය. සත්ත්වයන්ට මරණ දුක්ඛය ඇති වීමේ සත්‍ය වූ හේතුව අනිකක් නොව පඤ්චස්කන්ධය ම ය. මරණ දුඃඛය ඇති කර දෙන සතුරාත් අනිකකු නොව පඤ්චස්කන්ධය ම ය. මැරෙන්නේත් පඤ්චස්කන්ධය ම ය.
නිතර වෙනස් වන දිරන - ගෙවෙන - බිදෙන - මැරෙන මේ පඤ්චස්කන්ධය මහා දුඃඛයක් වන බැවින් සියල්ලෝ ම දුකින් මිදීමත් සැපයත් බලාපොරොත්තු වෙති. දුකින් මිදීමටත්, සැපය ලැබීමටත්, මං සොයති. උත්සාහ කරති. දුකින් මිදීමට හා සැපය ලැබීමට සාමාන්‍ය ලෝකයා විසින් ගෙන තිබෙන මගක් ද ඇත්තේ ය. බුදුන් වහන්සේ විසින් ගන්නා ලද මගක් ද ඇත්තේ ය. ඒ දෙ මගින් ලෝකයා විසින් ගෙන තිබෙන මග නම් වෙනස් වන - දිරන - ගෙවෙන - බිදෙන මැරෙන - ස්වභාවය ඇති පඤ්චස්කන්ධයට පිළියම් කිරීම හා එසේ නො වනු පිණිස පඤ්චස්කන්ධය ආරක්ෂා කිරීම ය. නො දිරන - නො බිදෙන - නො මැරෙන පඤ්චස්කන්ධයන් හෝ ලබා ගැනීම ය. බුදුරජාණන් වහන්සේ ගත් මාර්ගය දිරන - බිදෙන - මැරෙන - ස්වභාවය ඇති පඤ්චස්කන්ධයෙන් මිදී සංස්කාර රහිත වූ නිවන ලබා ගැනීම ය.
පඤ්චස්කන්ධය නො දිරන, නො ගෙවෙන ගිලන් නො වන, නො බිදෙන, නො මැරෙන, ස්වභාවයට පැමිණවීම සිදු නො කළ හැකි වැඩකි. අතීතයෙහි කිසිවකුට කිසිම බලයකින් එය නො කළ හැකි විය. අනාගතයේ දී ද කිසිවකුට කිසිම බලයකින් එය නො කළ හැකි වන්නේ ය. ඒ සඳහා කරන උත්සාහයක් වේ නම් එය සම්පූර්ණයෙන් ම නිරර්ථක වන්නේ ය. සියල්ල දත් බුදුරජාණන් වහන්සේ ඒ බව දැන, පොදු ජනයා ගෙන සිටින ඒ මාර්ග හළ සේක. පඤ්චස්කන්ධයෙන් මිදී නිවනට පැමිණ දුකින් මිදීමේ නො වරදින මග තථාගතයන් වහන්සේ ගත් සේක. දුකින් මිදෙනු කැමති පින්වතුන් විසින් තථාගතයන් වහන්සේගේ මාර්ගය ගෙන නිස්සාර වූ පඤ්චස්කන්ධය නිත්‍ය-ශුභ-සුඛ ස්වභාවයට පැමිණවීමට වෙහෙසීම් වශයෙන් නිශ්ඵල ව්‍යායාමයක් නො කොට පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛස්කන්ධයෙන් මිදී, පරමසුඛ ස්වභාවය වූ නිවනට පැමිණීම සඳහා තමන්ගේ සම්පූර්ණ උත්සාහය යෙදිය යුතු ය.
පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුක්ඛයෙන් මිදී අපාය දුඃඛයෙන් මිදී නිවන් සැපය ලැබීය සඳහා බුදුන් වහන්සේ විසින් ලෝකයාට දක්වා ඇති මාර්ගය බෝධිපාක්ෂික ධර්ම වැඩීම ය. අතීතයෙහි යමෙක් නිවන් දුටුවාහු නම් ඒ හැම දෙනම නිවන් දුටුවේ බෝධිපාක්ෂික ධර්ම මාර්ගයෙන් ම ය. අනාගතයෙහි නිවන් දක්නවුන් එය සිදු කර ගන්නේත් ඒ මාර්ගයෙන් ම ය. එය හැර නිවනට තවත් මගක් නැත්තේ ය. එබැවින් නිවන් දකිනු කැමැත්තෝ බෝධිපාක්ෂික ධර්ම මැනවින් උගෙන තම තමන්ගේ සන්තානවල ඒ ධර්ම වර්ධනය කෙරෙත්වා!!
මේ බුද්ධජයන්ති කාලයේ ධර්මය සෙවීමට - නිවන් සෙවීමට නැමුණු සිත් ඇතියවුන්ගේ සංඛ්‍යාව තරමක් ඉහළ නැග තිබේ. නිවන් සොයන්නා වූ ඒ පින්වතුන්ට බෝධිපාක්ෂික ධර්ම පිළිබඳ පිරිසිදු දැනුමක් පහසුවෙන් ඇති කර ගැනීමට ක්‍රමයක් සැලසීම් වශයෙන් අප විසින් බෝධිපාක්ෂික ධර්ම විස්තරය නමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදි. සිංහල කියවිය හැකි කවරකුට වුවත් මේ පොත කියවීමෙන් වැඩි ආයාශයක් නැතිව බෝධිපාක්ෂික ධර්ම සත්තිස පිළිබඳව නිවැරදි දැනුමක් ඇති කර ගත හැකි ය.
කියවන්නා වෙහෙසට පත් කරවන, කාරණය තවත් අවුල්කරන, පද විග්‍රහ - ධාතුප්‍රත්‍ය විභාග - පද සිද්ධි ආදිය මේ පොතට ඇතුළත් කර නැත. මෙහි බෝධි පාක්ෂික ධර්ම සත්තිස වෙන වෙනම ලිහිල් සිංහල බසින් හඳුන්වා, ඒවායේ විශේෂ විභාගත්, ඒවා වැඩිය යුතු ආකාරයත්, ඒ ඒ ධර්මය වැඩීමෙන් වන ප්‍රයෝජනයත් විස්තර කර ඇත.
ධර්‍මය ලෙව්හි බැබලේවා!
මීට, රේරුකානේ චන්දවිමල ස්ථවිර
2499 (1955) මැයි 30 වෙනි දින පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේදී ය.