වටිනාකම මඳ වස්තුවක් සොරකම් කිරීම අල්ප සාවද්‍ය වේ. වටිනා කම වැඩි වස්තුවක් ගැනීමෙන් මහා සාවද්‍ය වේ. කුඩා දෙයක් ගැනීම අල්ප සාවද්‍ය වේ. මහත් දෙයක් ගැනීම මහා සාවද්‍ය වේ. වස්තුව සම වන කල්හි හිමියාගේ සැටියට අල්ප සාවද්‍ය මහා සාවද්‍ය භාවය කිය යුතුය. ගුණහීනයන්ගේ වස්තුව ගැනීම අල්පසාවද්‍ය වේ. ගුණවතුන්ගේ වස්තුව ගැනීම මහා සාවද්‍ය වේ. දුශ්ශීලයකුගේ දෙයක් ගැනුමට වඩා පන්සිල් රකිනා කෙනකුගේ දෙය ගැනීමේ පාපය මහත් වේ. ඊට වඩා උසස් ශීලයක් ඇත්තකුගේ දේ ගැනීම ඊට වඩා මහත් පාපයක් වේ. ගිහියකුගේ දෙයක් ගැනීමේ පාපයට වඩා සාමණේර නමකගේ දෙයක් ගැනීමේ පාපය මහත් වේ. උපසම්පන්න කෙනකුගේ දෙයක් ගැනීමේ පාපය එයට වඩා මහත් වේ. සංඝ සන්තක දෙයක් ගැනීම එයට වඩා මහත් වේ. මෙසේ එකිනෙකට පාපය මහත් වන සැටි දත යුතුය. වස්තුව ය, හිමියාගේ ගුණය ය යන දෙක ම සම වූ කල්හි ප්‍රයෝගයාගේ හා ක්ලේශයන්ගේ වශයෙන් කුඩා මහත් බව කියනු ලැබේ. ඒවා මෘදු වූ කල්හි පාපය ද මඳ වේ. ක්‍රෑර වූ කල්හි මහත් වේ.