සත්ත්වයකුගේ ජීවිතය පැවතිය යුතු තරම් කල් පවත්නට නො දී යම්කිසි උපක්‍රමයකින් අතරක දී විනාශ කිරීම ප්‍රාණාතිපාත නම් වේ. ප්‍රාණඝාතය යනු එයට ම නමෙකි. ප්‍රාණාතිපාත කර්මය අංග පසක් ඇත්තේ ය.
“පාණෝ හවෙ පාණසඤ්ඤි - වධකචිත්ත මුපක්කමෝ
තේන ජීවිතනාසෝ ච - අංගා පඤ්ච වධස්සිමේ”
(1) පණ ඇති සතකු වීම ය. (2) පණ ඇති සතකු බව දැනීම ය (3) මරණු කැමති සිත ය (4) මරන්නට උපක්‍රම කිරීම ය (5) ඒ උපක්‍රමය නිසා මරණය සිදු වීමය යන මොහු ප්‍රාණඝාත කර්මයාගේ අංගයෝ ය. මේ පඤ්චාංගය සම්පූර්ණ නො වී, කෙනකු නිසා සත්ත්වයකුගේ මරණය සිදු වුව ද ඔහුට ප්‍රාණාතිපාත කර්මය සිදු නො වේ. යන එන කල්හි පයට පෑගී කුඩා සත්තු මැරෙති. ගොවිකම් කරන කල්හි ද බොහෝ සත්තු මැරෙති. මරනු කැමැත්තක් නැති නිසා ඒ මරණවලින් යාම් ඊම් කරන්නන්ට හා ගොවියන්ට ප්‍රාණාතිපාත අකුශලය නො වේ. සත්ත්වයෝ මැරෙත්වා යි සිතා පොළොව කෙටීම ගිනි තැබීම ආදිය කළ හොත් එසේ කළ තැනැත්තාට මල සතුන්ගේ ගණනින් ප්‍රාණාතිපාත කර්ම සිදු වේ.
යම්කිසි සත්ත්වයකු මරන අදහසින් වෙඩි තැබූ කල්හි ඒ සතාට නො වැදී බලාපොරොත්තු නො වූ අන් සතකුට වැදී මළේ ද, එයින් වෙඩි තැබූ තැනැත්තාට ප්‍රාණඝාත කර්මය නො වේ. ඒ සත්ත්වයා මරනු කැමැත්තක් නැති බැවිනි. මරනු පිණිස තැබූ වෙඩිල්ල වැදී සත්ත්වයා නො මළේ නම්, එයින් ද ප්‍රාණඝාත කර්මය සිදු නොවේ. වෙඩි වැදුණු සත්ත්වයා අවුරුදු ගණනකින් වුව ද, ඒ වෙඩි පහර නිසා ඒකාන්තයෙන් මැරෙන්නේ නම්, වෙඩි තැබූ තැනැත්තාට වෙඩි තැබූ කෙණෙහි ම, සත්ත්වයා මැරෙන්නට කලින් ම ප්‍රාණඝාත කර්මය සිදු වේ. මැරීමේ අදහසක් නැතිව රිදවනු පිණිස ගසන ලද පහරකින් සත්ත්වයකු එකෙණෙහි ම මිය ගියේ ද, පහර ගැසූවහුට ප්‍රාණඝාත කර්මය නො වේ. මරණ අදහස නැති බැවිනි. සුවපත් කරන අදහසින් කරන ශල්‍යකර්මාදි ක්‍රියාවකින් මිය ගියේ ද ප්‍රාණඝාත කර්මය නො වේ.