අබ්‍රහ්ම චර්‍ය්‍යාව ය යි කියනු ලබන කාමසුඛාස්වාදය වනාහි ඒ සුඛය පිළිබඳ වූ ලෝභය හා එහි ආදීනව පක්‍ෂය වසන්නා වූ මෝහයත් නිසා සත්ත්වයන් විසින් උතුම් කොට සලකන නමුත් තථාගතයන් වහන්සේගේ දර්ශනයේ සැටියට නම් එය නිස්සාර වූ බොහෝ දුක්වලට හේතු වන්නා වූ දෙයකි. ඒ කාම සුඛය ස්වප්නයක් බඳු බව ද, ණයට ගත් දෙයක් බඳු බව ද, මස් නැති ඇට කැබෙල්ලක් බඳු බව ද, සර්ප හිසක් බඳු බව ද, තණ සුලක් බඳු බව ද, මස් කපන කොටයක් බඳු බව ද, මස් කපන පිහියක් බඳු බව ද, බුදුන් වහන්සේ වදාළ සේක.
“අබ්‍රහ්මචරියං පරිවජ්ජයෙය්‍ය
අංගාර කාසුං ජලිතංව විඤ්ඤූ”
යනුවෙන් දිලිසෙන ගිනි අඟුරු වළක් මෙන් නුවණැත්තේ අබ්‍රහ්මචර්‍ය්‍යාව හරනේ ය යි වදාළ සේක.
අබ්‍රහ්මචර්‍ය්‍යාවෙන් වැළකී සිටීමේ අනුසස් බොහෝ ය. අබ්‍රහ්මචර්‍ය්‍යාව නිසා විඳින්නට වන දහස් ගණන් දුක් කරදරවලින් මිදෙන බව ද, නිරෝගී වන බව ද, වහා ජරාවට නො පැමිණෙන බව ද, දීර්ඝ කාලයක් ජීවත් විය හැකි බව ද, සිහි නුවණ වැඩීම ද, තේජස වැඩීම ද, ඉන්ද්‍රිය ශක්තිය හා කාය ශක්තිය ද, වර්ණය කල් පවත්නා බව ද, මරණින් මතු ස්වර්ගගාමී විය හැකි බව ද, බ්‍රහ්මචර්‍ය්‍යාවේ ආනිසංසයෝ ය. මෙසේ බොහෝ අනුසස් ඇති බැවින් ගිහියන් විසින් ද රැකිය හැකි නම් බ්‍රහ්මචර්‍ය්‍යාව රක්නට වටනේ ය. එය රැකිය හැකියවුන් විසින් නිත්‍යශීලය වශයෙන් බ්‍රහ්මචර්‍ය්‍ය පඤ්චශීලය රක්ෂා කළ යුතු ය. බ්‍රහ්මචර්‍ය්‍ය ශීලය සමාදන් වන්නහු විසින් සාමාන්‍ය පඤ්චශීලයේ තුන් වන සික පදය හැර එය වෙනුවට “අබ්‍රහ්මචරියා වෙරමණී සික්ඛාපදං සමාදියාමි” යන්න යොදා ගෙන සමාදන් විය යුතුය.