දානය වෘත්තනිඃශ්‍රිත දානය ය, විවෘත්ත නිඃශ්‍රිත දානය ය, උභය නිඃශ්‍රිත දානය ය යි, තුන් ආකාර වේ. මනුෂ්‍ය දිව්‍ය සම්පත් ලබනු සඳහා දෙන දානය වෘත්ත නිඃශ්‍රිත දානය ය. සතර මාර්ග සතර ඵල නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර සම්පත් ලබනු පිණිස දෙන දානය විවෘත්ත නිඃශ්‍රිත දානය ය. ලෞකික ලෝකෝත්තර සම්පත් ලබනු පිණිස දෙන දානය විවෘත්ත නිඃශ්‍රිත දානය ය. ලෞකික ලෝකෝත්තර සම්පත් දෙවර්ගය ම පතා දෙන දානය උභය නිඃශ්‍රිත දානය ය. කොපමණ මහත් දානයක් වුව ද ලෞකික සම්පත් පතා දුන හොත් ඒ හේතුවෙන් ලෞකික සම්පත් ම මිස ලෝකෝත්තර සම්පත් නො ලැබෙන්නේ ය. “සචෙ වට්ට සම්පත්තිං පත්ථෙත්වා වට්ට නිස්සිත වසෙන මිච්ඡා ඨපිතං හොති, වට්ට මෙව ආහරිතුං සක්කොති, නො විවට්ටං” යන අටුවා පාඨයෙන් ඒ බව දැක්විණ. “ඉදං මේ දානං ආසවක්ඛ්‍යාවහං හොතුති එවං විවට්ටං පත්ථෙන්තෙන විවට්ට වසෙන සම්මා ඨපිතං අරහත්තම්පි පච්චෙකබොධි ඤාණම්පි සබ්බඤ්ඤුත ඤාණම්පි දාතුං සක්කොති එව” යන අටුවා පාඨයෙන් දැක්වෙන පරිදි, මාගේ මේ දානය ආශ්‍රවක්ෂය සංඛ්‍යාත අර්හත්වය ගෙන දෙන්නෙක් වේ වා” යි විවෘත්තය පතන්නහු විසින් විවෘත්ත නිඃශ්‍රිත කොට මනා කොට තබන ලද්දේ එයින් අර්හත්වය ද ප්‍රත්‍යෙක බෝධිඥානය ද සර්වතාඥානය ද යන සියල්ල ම ලබා දෙන බව දත යුතුය. අර්හත්වය හෝ නිවන පතා දෙන්නවුන්ට නො පැතුයේ ද, ඒ කුශලයෙන් නිවනට පැමිණෙන තුරු දිව්‍ය මනුෂ්‍ය සම්පත් ද ලබා දෙන්නේ ය. දාන පාරමිතාව වනුයේ ද විවෘත්ත නිඃශ්‍රිත දානය ය. වෘත්ත නිඃශ්‍රිත දානය දාන පාරමිතාවට ඇතුළත් නොවේ. මෙකල දන් දෙන බොහෝ දෙනා දන් දී දිව්‍යමනුෂ්‍ය සම්පත් ලබා අන්තිමේ දී නිර්වාණ සම්පත්තිය ලැබේවා යි පතති. එසේ පතන්නවුනට නිවන් ලැබීමට බොහෝ කල් ගත වේ. එබැවින් දන් දී අනෙකක් නො පතා අර්හත්වය හෝ නිවන ලැබේවා යි පැතීම ම යහපති. පෙර පසේ බුදුවරයකුට එක දා උක් පැණි දන් දුන් සහෝදරයන් දෙදෙනාගෙන් නිවන් පමණක් පැතූ තැනැත්තා විපස්සී බුදුන් වහන්සේ ගේ සස්නෙහි දී නිවනට පැමිණියේ ය. භවභෝග සම්පත් ද සමඟ නිවන් සම්පත් පැතූ සහෝදරයාට නිවනට පැමිණිය හැකි වූයේ ඊට කල්ප අනූ එකකට පසු අප බුදුන්ගේ සස්නෙහිදී ය. විස්තර දම්පියාටුවාවේ ජෝතිය සිටාණන්ගේ කථාව බලා දත යුතුය.