“භවිස්සන්ති ඛො පනානන්ද, අනාගතමද්ධානං ගොත්‍රභූනො කාසාවකණ්ඨා දුස්සීලා පාපධම්මා, තෙසු දුස්සීලේසු සංඝං උද්දිස්ස දානං දස්සන්ති තදාපාහං ආනන්ද, සංඝගතං දක්ඛිණං අසඞ්ඛෙය්‍යං අප්පමෙය්‍යං වදාමි. නත්වෙවාහං ආනන්ද කෙනචි පරියායෙන සංඝගතාය දක්ඛිණාය පාටිපුග්ගලික දානං මහ්ඵලතරන්ති වදාමි”
යනුවෙන් ආනන්දය! අනාගත කාලයේ දී භික්ෂූහු ය යන නාමය පමණක් ඇත්තා වූ “කාසාවකණ්ඨ” නම් වූ දුශ්ශීල වූ ලාමක ස්වභාවය ඇත්තා වූ ශ්‍රමණ වේශධාරීහු ඇති වන්නාහ. ඒ දුශ්ශීලයන් කෙරෙහි සංඝයා උදෙසා දන් දෙන්නාහු ය. ආනන්දය! එකල්හි ද මම සංඝගත දක්ෂිණාවේ ආනිසංස අසංඛෙය්‍ය අප්‍රමෙය්‍ය වන බව පවසමි. ආනන්දය! කිසි ම ආකාරයකින් සංඝගත දක්ෂිණාවට වඩා පෞද්ගලික දානය මහත්ඵලතරය යි මම නො පවසමි යි තථාගතයන් වහන්සේ සාංඝික දානයේ ආනිසංසය වදාළ සේක.
සම්බුද්ධයන් වහන්සේ ජීවමාන කාලයේ පටන් ශාසනාන්තයෙහි ඇති වන කාසාව කණ්ඨකයන්ගේ කාලය දක්වා බුදුසස්නෙහි පැවිදි වන සියල්ලෝ ම සංඝරත්නයට අයත් වන්නාහ. එබැවින් සංඝරත්නයට අයත් පුද්ගල සමූහයා ඉතා බොහෝ වෙති. මෙපමණ ලක්ෂ ගණනෙක කෝටි ගණනෙකැයි ප්‍රමාණ නො කළ හැකිය. යටත් පිරිසෙයින් බත් සැන්දක් මුත් සංඝ රත්නයට දෙමිය කියා දුනහොත් ඒ දාන වස්තුව සම්පූර්ණ සංඝ රත්නයට ම හිමි වන බැවින් සංඝයාට දෙන තැනැතතේ ඉතා සුළු දෙයක් දුන්නේ වී නමුත් මහත් වූ පුද්ගල සමූහයකට දුන්නේ වේ. අන් අයුරකින් එපමණ මහත් පුද්ගල සමූහයකට පැමිණෙන ලෙස දීමක් නො කළ හැකි ය. පුද්ගලයන් බොහෝ දෙනකුන්ට දීමක් වන බැවින් සාංඝික දානය මහානිසංස වේ. දානය මහත් ඵල වීමට ප්‍රතිග්‍රාහකයන්ගේ ගුණ සම්පත්තිය ද කරුණක් වේ. සංඝ රත්නයට අයත් පුද්ගලයන් අතුරෙන් සාරිපුත්‍රාදි එක් රහතන් වහන්සේ කෙනකුගේ ගුණය ද ප්‍රමාණ කළ නොහෙන පමණට මහත් ය. එ බඳු ගුණවත් පුද්ගලයන් මහත් සංඛ්‍යාවක් ඇතුළත් වන්නා වූ සංඝ රත්නයේ ගුණස්කන්ධය ප්‍රමාණ කළ නොහේ. සංඝරත්නයේ ගුණ මහන්තත්වය නිසා ද සාංඝිකදානය බොහෝ අනුසස් ඇතියක් වන්නේ ය.