II මහාසී භාවනා ක්‍රමය

මෙනමින් හඳුන්වන භාවනා ක්‍රමය බුරුම රටෙහිදී ප්‍රචලිත වී මෙරටට ලැබුණු භාවනා ක්‍රමයකි. මෙම ක්‍රමය දැක්වෙන ග්‍රන්ථය රචනා කළ මහතෙරුන්ගේ නමින් “මහාසී භාවනා ක්‍රමය” යැයි මෙය හැඳින්වුව ද එතුමන් වහන්සේ මෙය තමාගේ ක්‍රමයක් යැයි කිසිසේත් නොදක්වන සේක. මෙය ශුද්ධවිපස්සනා වශයෙන් දක්වන ක්‍රමයකි. සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන “යථා යථා වා පනස්‌ස කායො පණිහිතො හොති, තථා තථා නං පජානාති.” (යම් යම් අයුරකින් කය පිහිටුවන ලද ද ඒ ඒ අයුරින් මනාව දැනගනී) යන පාඨය අනුව ප්‍රකට කාය චලනයක් වන උදරයේ පිම්බීම හා හැකිලීමට අවධානය යොමු කොට භාවනා වැඩීම මෙම ක්‍රමයේ ආරම්භයයි. මෙම භාවනා ග්‍රන්ථය රචනාකළ මහාසී මහ තෙරුන් වහන්සේ යනු බුරුමයේ පැවති හයවන සංගායනාවේදී ප්‍රශ්ණපුච්ඡක (ප්‍රශ්ණ විචාරන්නා) යන ප්‍රධානම තනතුරක් දැරූ අටුවා - ටීකා සහිතව ත්‍රිපිටකයම හොඳින් ප්‍රගුණ කළ උතුමෙකි. තවද මෙම ග්‍රන්ථය රචනා කිරීමේදී උදෘතපාඨ බුද්ධදේශනාවෙන් දක්වමින් රචනාකර ඇත. මෙම ක්‍රමය ගැන ඇති වැරදි මත වලට පිළිතුරු රේරුකානේ චන්දවිමල මහනා හිමියන්ගේ සතිපට්ඨාන විවේචනය හා තවත් කෘති යන ග්‍රන්ථයේ දැක්වෙන බැවින් විස්තර කැමැත්තෝ එය කියවා බලත්වා.