III ඵා ඖ භාවනා ක්‍රමය

මෙම භාවනා ක්‍රමය ද බුරුමරටේ ප්‍රචලිත වී අප රටට ලැබුණු වටිනා භාවනා ක්‍රමයකි. සමථ පූර්වාංගම විපස්සනා භාවනා ක්‍රමයක් වන මෙය විශේෂයෙන්ම විශුද්ධිමාර්ගය අනුව යමින් ත්‍රිපිටකයෙහි දැක්වූ භාවනා ක්‍රම ඉස්මතුකර දක්වයි. මෙම ක්‍රමය ලොවපුරා ව්‍යාප්ත කළ අතිපූජනීය ආචිණ්ණ (ඵාඖ සෙයාඩෝ) මාහිමිපාණන් වහන්සේ “මේ අළුත් භාවනා ක්‍රමයක් නොවෙයි. ඔයගොල්ලන්ගේ විශුද්ධිමාර්ගයේ දැක්වුණු භාවනා ක්‍රමයයි” යනුවෙන් ඉතා නිහතමානීව දක්වන බව කියැවේ. තවද මෙතුමන් වහන්සේ මහාසී සෙයාඩෝ නමින් හඳුන්වන මාහිමියන් ඇතුලු බොහෝ භාවනා ගුරුවරුන් ඇසුරු කර ඇති අතර වසර විස්සක් පමණ පරියත්තිය හැදෑරීමෙන් පසු ධම්මාචරිය නමින් හඳුන්වන විභාගයෙන් ද සමත්ව ඉන් පසු වසර විස්සකට වැඩි කාලයක් භාවනාව ප්‍රගුණ කොට ඉන්පසු අන්‍යයන්ට භාවනාව කියාදීමට ඇරඹූ බව එතුමන් වහන්සේම දක්වන සේක. මෙකළ පැවිදි වී ඉතා නොබෝ කලකින් හරිහැටි පරියත්ති දැනීමක් ද නැතිව හරි ගුරු ඇසුරක් ද නැතිව අන්‍යයන්ට භාවනාදිය කියාදීමට උත්සාහවත් වන්නවුනට මෙම ප්‍රකාශය හොඳ පාඩමක් වනු ඇත.

අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ මෙම භාවනා ක්‍රමය පිළිබඳවත් ඵා ඖක් සෙයාඩෝ මාහිමිපාණන් වහන්සේ පිළිබඳවත් හඳුන්වා දෙන්නේ මෙසේය,

1. ඈත අතීතයෙහි ශ්‍රී ලංකාද්වීපයෙහි භාවිතා වූ ශමථ-විදර්ශනා භාවනා ක්‍රම විශුද්ධි මාර්ගය වැනි ග්‍රන්ථවල සඳහන් වී ඇතත්, ප්‍රායෝගික වශයෙන් එහි යෙදී අත්දැකීම් ලත් කර්මස්ථානාචාර්යයන් වහන්සේලා සුලභව නොමැති බව නොරහසකි.

බුරුම රට ඓරාවරි ජනපදයෙහි හිිංතාට නම් උප නගරයෙහි, ලෙ-චෞං ගම් පියසෙහි ජනිතව ළමා වයසෙහි සසුන්ගතව යෙ-ජී නිකායෙහි ගරු උපසම්පදා ලාභීව ධම්මාචරිය විභාගය සමත් වී රැන්ගුන් නුවර පර්යාප්ති තක්ෂිලාවෙහි ඉංග්‍රීසි භාෂා සහිත පර්යාප්ති ධර්මය සම්පූර්ණ ලෙස පස් වසරක් තිස්සේ හදාරා ඉක්බිතිව විසි වසරක් පමණ මුළුල්ලේ කෘතහස්ත විශාරද ආචාර්යයන් වහන්සේලා වෙත නැවතී ශමථ-විදර්ශනාවෙහි පරතෙරටම ප්‍රගුණ කොටගත් අතිපූජ්‍ය ආචිණ්ණ සෙයාඩෝ හෙවත් ඵා-ඖක් සෙයාඩෝ නාහිමිපාණන් වහන්සේ අද ඓතිහාසික විශුද්ධි මාර්ගයෙහි එන භාවනා ක්‍රමය අතිවිශිෂ්ඨ ලෙස සිය-දහස් ගණන් ගිහි-පැවිදි යෝගීන්හට පුහුණු කරමින් වැඩ සිටිනසේක. උත්කෘෂ්ට ලෙස ශික‍්ෂා ගරුත්වයෙහි පිහිටි ආදර්ශවත් ඒ මාහිමියෝ දිවා රාත්‍රී අප්‍රමාදව ශාසනාභිවෘද්ධියෙහි යෙදී සිටින සේක් ජීවිත පරිත්‍යාගයෙනි......

අතිපූජනීය මහා කර්මස්ථානාචාර්ය ආචිණ්ණ සෙයාඩෝ මාහිමියන් වහන්සේ ශ්‍රී ලංකාව ගැන දක්වනුයේ අසීමිත ගෞරවයකි. මෙම ශමථ විදර්ශනා භාවනා මාර්ගය සකල බෞද්ධ ලෝකයට බෙදා හැරීමට සුදුසු එකම බෞද්ධ රට ශ්‍රී ලංකාද්වීපය යයි අවධාරණයෙන් පවසන සේක් කෘතඥතා පූර්වක ගෞරවයෙනි.

එසේ හෙයින් මෙම භාවනා මාර්ගය ශ්‍රී ලංකා ද්වීපවාසීන්හට පුහුණු කරවනු පිණිසත් ස්වකීය පශ්චිම කාලය විවේකීව ගත කරණු පිණිසත් ශ්‍රී ලංකාවට යථා කාලයේදී වැඩම කරවීමට අපේක‍්ෂා කරන පූජනීය ආචිණ්ණාභිධාන ඵා-ඖක් සෙයාඩෝ මාහිමියන් වහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් ශතවර්ෂාධික කාලයක් දීර්ඝායු ශ්‍රී අත්වේවා![1]

2. ඈත අතීතයේදී ධ්‍යාන අභිඥා මාර්ගඵල අධිගම ලාභීන්ගේ ජයභූමිය වූ සිරිලක්දිව තුළ නැවතත් ප්‍රතිපත්ති ප්‍රතිවේධ ශාසනයට පුනරාලෝකය උදාපත් වීමේ ඒකායන මාර්ගය විවෘත වී ඇත. සිරිලක්දිවෙන් ස්වර්ණභූමි නම් වූ බුරුම රටට ගෙන යන ලද පරියත්ති පටිපත්ති පටිවේධ ශාසනය එරට දිදුළමින් බැබළෙමින් දැනටත් පවතී.

බුරුම රට මෝලමියෙන් - මූඩෝන් නගර දෙකට අතරෙහි රමණීය වනපෙතක පිහිටා තිබෙන ඵා-ඖක් චිත්තලපබ්බත භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධානාචාර්යය අග්ගමහා කම්මට්ඨානාචරිය අතිපූජනීය ආචිණ්ණ- ඵා - ඖක් සයාඩෝ මාහිමියන් වහන්සේගේ ආචාර්යත්වයෙන් උගැන්වෙන සමථ - විදර්ශනා භාවනා මාර්ගය වනාහි සිරිලක්දිව ඉහත දී අධිගම ලාභීන් පහළ කළ නිර්වාණ ගාමිනී ඒකායන මාර්ගයයි සඳහන් කිරීම සුදුසු වේ.

පාලි - අට්ඨකථා - ටීකා සහිත ත්‍රිපිටක පර්යාප්තියෙහි පරතෙර පැමිණියා වූ, ශික්‍ෂා ගරුත්වයෙහි මුදුනට පත් වූ, සමථ භාවනා විදර්ශනා භාවනාවෙහි කෙළවරට පත් වූ, දස දහස් ගණන් ගිහි පැවිදි යෝගීන් හට භාවනා මාර්ගය පුහුණු කරවූ, ධ්‍යාන අභිඥා මාර්ගඵල ලාභීන් පහළ කරවූ අතිපූජනීය ආචිණ්ණ සයාඩෝ මාහිමියන් වහන්සේ අතින් බුරුම බසින් සම්පාදිත කාණ්ඩ හතකින් (7) යුක්ත වූ භාවනා ග්‍රන්ථාවලිය නිබ්බාන ගාමිනී පටිපදා නමින් හැඳින්වේ.[2]

3. සමථ විදර්ශනා භාවනා මාර්ගයෙහි මුදුනට පත්වී, දේශීය විදේශීය ගිහි පැවිදි විශාල පිරිසකට සමථ විදර්ශනා භාවනා මාර්ගය පුහුණු කරවන, ත්‍රිපිටක ධර්මයෙහි තෙර පැමිණි, අග්ගමහා කම්මට්ඨානාචරිය සම්මාන ලද, බුරුම රට ඵා-ඖක් චිත්තලපබ්බත භාවනා මධ්‍යස්ථානාධීශ්වර අතිපූජනීය ඵා - ඖක් සෙයාඩෝ ඌ. ආචිණ්ණ මාහිමියන් වහන්සේ අතින් බුරුම බසින් සම්පාදිත “නිබ්බාන ගාමිනී පටිපදා” ග්‍රන්ථ සත අතුරෙන් සත්වැනි කාණ්ඩය සිංහළ බසින් “මොක්පුර රන්දොර 7” - නමින් භාවනාභිලාෂීන් අතට පත්වීමේ භාග්‍යය උදාපත් වී ඇත.

ඈත අතීතයෙහි සේම ධ්‍යාන අභිඥා මාර්ගඵල ලාභීන් සුලභව බුදුසසුන බැබලේවා, ලොවපුරා පැතිරෙන මිසදිටු ගණඅඳුර විධමනය වේවා! ශ්‍රී ලංකාද්වීපය කසාවතින් නිරතුරු වේවා! සිල් සුවඳින් ගුණ සුවඳින් සදහම් සුවඳින් නිවන් අමා සුවඳින් ඒක සුගන්ධිත වේවා! ජීවමාන සර්වඥයන් වහන්සේගේ සමයේ සේම ලොවට රටට ජනතාවට සෙතක් ශාන්තියක් ආරක්‍ෂාවක් ආශිර්වාදයක් උදාපත් වේවා! [3]

හැඳින්වීමේ පහසුව පිණිස මෙම භාවනා ක්‍රමයන් ඒ ඒ නම් වලින් හැඳින්වුව ද එම ක්‍රම ප්‍රචාරය කළ මාහිමිවරු කිසිවිටෙක ඒවා තමන්ගේ ක්‍රම ලෙස නොදක්වන අතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවැරදි භාවනා මාර්ග ඉස්මතු කර ඒවා ප්‍රායෝගිකව පුහුණු කරවීම ඒ මාහිමිවරුන්ගේ එකම අභිලාශයයි. එබැවින් බොහෝ දෙනෙක් දැනටත් ඉතා උසස් ලෙස ප්‍රතිඵල ලබන මෙම භාවනා ක්‍රමය ද තම ජීවිතයට එක්කර ගෙන නිවන් මග හෙළිකර ගනිත්වා යනු අපගේ කාරුණික ආරාධනයයි.

  1. මොක්පුර රන්දොර 1 කොටස පෙරවදන (අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමි)

  2. මොක්පුර රන්දොර 6 කොටස, පෙරවදන (අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමි)

  3. මොක්පුර රන්දොර 7 කොටස, පෙරවදන (අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමි)