I ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රමයේ භාවිත කරන භාවනා ක්‍රම

ප්‍රතිපත්ති ගරුක නිවන් පෙරදැරි කරගත් භික්‍ෂූන් වහන්සේලා බිහිකිරීමේ අරමුණින් ආරම්භ කළ ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව දැනටත් එම අරමුණ මනාව ඉටු කරමින් සිටී. එය පිහිටුවීම පිණිස අපරිමිත කැපකිරීම් සිදුකළ එහි සමුත්පාදක වූ අතිපූජනීය කඩවැද්දුවේ ශ්‍රී ජිනවංස මාහිමිපාණන් වහහන්සේ යනු මෑත කාලයේ පිරිහී යමින් තිබුණු ප්‍රතිපත්ති, ප්‍රතිවේධ සාසනයන් නගාසිටුවීමටත් ඊට සරිලන ලෙස පරියත්ති සාසනය නගාසිටුවීමටත් පහළ වූ බුද්ධාංකුරයාණන් වහන්සේ නමකි. මෙම යෝගාශ්‍රමීය භික්‍ෂූන්ගේ භාවනා මාර්ගය පිළිවෙලකට සිදුකරවීම පිණිස අතිපූජනීය මාතර සිරි ඤාණාරාම මාහිමියන් වහන්සේ ගෙන ඇති සදුත්සාහය අපරිමිතය. එය තේරුම් ගැනීමට එතුමන් වහන්සේ විසින් රචිත ග්‍රන්ථ ඉතා සැලකිල්ලෙන් කියැවිය යුතුය. පිරිසිදු භාවනා මාර්ගයන් එළිපෙහෙලි කරගැනීමට එතුමන් වහන්සේ ගත් උත්සාහය “විදර්ශනා පරපුර” ග්‍රන්ථය පමණක් කියැවීමෙන් වුවද දත හැකිය. මේ උතුමන් වහන්සේලා දෙනමගේ ඇසුරේ හැදීවැඩුණු අතිපූජනීය නාඋයනේ අරියධම්ම අනුනායක මාහිමිපාණන් වහන්සේ යනු මෑතකාලීන බුදුසසුනේ පුන්සඳක් මෙන් බැබළුණු ත්‍රිපිටකධාරී වූ ත්‍රිවිධ සාසනයම නගාසිටුවීමට තම දිවියම යෙදවූ නියතවිවරණ ලාභී යැයි සලකන බුද්ධාංකුරයාණන් වහන්සේ නමකි. මේ උතුමන් වහන්සේලාගේ ග්‍රන්ථ කියැවීමෙන් යෝගාශ්‍රමීය භික්‍ෂූන් වහන්සේලාගේ භාවනා ක්‍රමය කුමක්දැයි මනාව හඳුනාගත හැකිය.

මෙහිදී යෝගාශ්‍රමීය භික්‍ෂූන් වහන්සේලාට යැවූ භාවනා උපදෙස් පත්‍රිකාවන්ගේ එකතුවක් වන “කර්මස්ථාන ප්‍රදීපය” ග්‍රන්ථයෙන් ද අතිපූජනීය මාතර මාහිමියන් වහන්සේ විසින් රචිත “සප්ත විශුද්ධි සහ විදර්ශනා ඥාන, ආනාපානසති භාවනාව, සත් අනුපස්සනා” ආදී ග්‍රන්ථයන්ගෙන් ද අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ විසින් රචිත “සමසතලිස් කර්මස්ථාන භාවනා, තෙරුවන් ගුණ භාවනා, විපස්සනා භාවනාව, සතිපට්ඨාන භාවනාව, විශේෂ අභිධර්ම භාවනාව” ආදී වූ බොහෝ ග්‍රන්ථයන්ගෙන් ද යෝගාශ්‍රමීය භික්‍ෂූන් භාවිත කරන භාවනා ක්‍රම ප්‍රකට වේ. ප්‍රධාන වශයෙන් එහිදී භාවිතයට ගෙන ඇති මූලාශ්‍ර මෙසේ දැක්විය හැකිය.

මේ බව එම ග්‍රන්ථයන්හි එන උදෘත කීපයකින් මෙසේ දක්වමු.

I. විදර්ශනා භාවනාව පිළිබඳ අත්දැකීම් ද පිටක ග්‍රන්ථාගත සාරවත් දේශනා ද අතිපූජනීය පණ්ඩිත මාතර සිරි ඤාණාරාමාභිධාන මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේගේ දේශනා හා සදුපදේශයන් ද සංකලනය කිරීමෙන් මෙම විදර්ශනා භාවනා ග්‍රන්ථය සකස් වී ඇත. පෙළ - අටුවා - ටීකා ග්‍රන්ථයන්හි පැතිරී - විසිරී තිබෙන විදර්ශනා ක්‍රම සහ සාධක කරුණු රාශියක් මිණිරුවන් වැලක් සේ මෙහි එක්තැන් කොට ගොතා ඇති නිපැයුම් අතිශයින්ම ප්‍රශංසනීයය.[1]

II. විසුද්ධිමග්ගයෙහි ඇතුළත් වන්නා වූ ශමථ කර්මස්ථාන සතළිසම බුද්ධදේශනාවෙහි සඳහන් වී ඇත්තේය. එහෙත් ත්‍රිපිටකයෙහි මෙම කමටහන් පිළිබඳ විස්තර අඩංගු වන්නේ සුළු වශයෙනි. විශුද්ධිමාර්ගය මේ කමටහන් සියල්ල සංග්‍රහ කොට පුළුල් ලෙසින් විවරණය කරයි. ඉඳින් විශුද්ධිමාර්ගය නොවී නම්, මේ කමටහන් තොරතුරු අද වන විට අභාවයට පත් වන්නට හොඳටම ඉඩ තිබුණි. එහි විදර්ශනා කර්මස්ථාන විස්තරය ගැන ද කීමට ඇත්තේ මෙයමැයි........

.... එහෙත් විසුද්ධිමග්ගයෙහි අඩංගු වන්නේ ලක්දිව මහාවිහාරීය සම්ප්‍රදාය බව නම් පැහැදිලිය. පැරණි හෙළ අටුවාවන් හි වූ භාවනා තොරතුරු බොහොමයක් මෙම ග්‍රන්ථයට ද එක් වන්නට ඇත. ඉඳින් එදා විද්‍යමාන වූ මහාවිහාර භාවනා සම්ප්‍රදායට පටහැනි වූ යමක් විශුද්ධි මාර්ගයෙහි ඇතුළත් වූයේ නම් එය සම්භාවනීය ග්‍රන්ථයක් ලෙසින් මහාවිහාරය විසින් පිළිගනු ලබන්නේ නැත. මේ අනුව, එහි එන කර්මස්ථාන විභාගයන් වෙනත් ඉන්දීය දර්ශනයෙකින් කෙලින්ම උපුටාගත් දෑ නොව සමකාලීන මහාවිහාරීය බෞද්ධ සම්ප්‍රදායයෙන් ගත් දෑ වශයෙන් සැලකීම යුක්ති යුක්ත වන්නේය.....

කෙසේ හෝ අද අපගේ යුතුකම වියයුත්තේ මෙතෙක් කලක්, මෙතරම් දුරට හෝ මේ කර්මස්ථාන විභාගය නොනැසී රැකදීම ගැන විසුද්ධිමග්ගයට හා බුද්ධඝෝෂ ආචාර්යන් වහන්සේට පින් දෙමින්, විශුද්ධි මාර්ගයෙන් අපට යම් වැඩක් ගතහැකි වන්නේ නම් එය සලසා ගැනීමය. අපට රුචි නොවන යමක් එහි වන්නේ නම් අපි උපේක්‍ෂක වන්නෙමු. එය වෙනත් කෙනෙකුට ප්‍රයෝජනවත් වියහැකි හෙයිනි.

ධ්‍යාන නොලබා විදර්ශනාව කළ නොහැකි යැයි ඇතැමෙකු පවසද්දී සමථය මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කොට විදර්ශනාවම කළ යුතුයයි තවත් අයෙක් කියති. මේ මත දෙකම ධර්මය හා භාවනා මාර්ගය පුළුල්ව නොදත්කම නිසා හටගත් දෘෂ්ටීහුය. තම පුද්ගලික රුචිය අනුව ප්‍රත්‍යක්‍ෂාවබෝධයකින් තොරව පොතපතට හා තර්කයට වහල් වීමත්, එක්තරා සීමිත ප්‍රත්‍යක්‍ෂයක් ලැබුවත් එයම පමණක් ප්‍රමාණ කොට ගෙන පොදු නිගමනවලට එළඹීමට තැත් කිරීමත් යන කරුණු මුල් කොට ගෙන මෙබඳු අන්තගාමී දෘෂ්ටීන් හටගන්නා බව පෙනෙයි.

සාර්ථකව භාවනාව ගෙනයාම පිණිස පරියත්ති ඤාණය හෙවත් සුතමය ඤාණය එක්තරා ප්‍රමාණයකින් අවශ්‍ය වන්නේය. පටිපත්තියට තුඩුදෙන පරියත්තිය යනුවෙන් අප මුලදීම අවධාරණය කළේ මෙම කාරණයයි..... ගුරු ඇසුරෙහිම හිඳ කමටහන් වඩන යෝගාවචරයෙකු හට තම සුතමය ඤාණය පිළිබඳව එතරම් කරදර වීමට සිදු නොවන්නේය. අවශ්‍ය අවස්ථා වලදී අදාල වන්නා වූ දහම් දැනුම කර්මස්ථානාචාර්යතුමන් වෙතින් ලැබෙන බැවිනි. (කර්මස්ථානාචාර්යවරයෙකුට ධර්මය පිළිබඳ හසළ දැනුමක් තිබිය යුතු වෙයි).

පළපුරුදු සම්භාව්‍ය කර්මස්ථානාචාර්යන් වහන්සේලා කීප නමකගේ කමටහන් උපදෙස් මෙම පත්‍රිකාවන්හි අඩංගු වී ඇත්තේය. ඊට අමතරව විශුද්ධිමාර්ගය, පෙළ, අටුවා, ටීකා සහ නූතන භාවනා පොත්පත් කීපයක් ද මෙහිලා ඇසුරු කරන ලද්දේය.[2]

මෙසේ ඉහත දැක්වුණු උදෘතත් ඉහත නම් සඳහන් කළ උතුමන්ගේ භාවනා ග්‍රන්ථයන්ට උදෘත ලබාගත් ග්‍රන්ථ සමූහයත් සළකා බලන විට ත්‍රිපිටක පෙළ, අටුවා, ටීකා හා විසුද්ධිමග්ග ආදී ග්‍රන්ථ සමූහයක් මූලිකත්වයේ තබාගෙන යෝගාශ්‍රමීය භාවනා මාර්ගය සැකසී ඇති බව ප්‍රකට වේ. දැනට මහාසී, ඵාඖ(ක්), ගොඑන්කා ආදී තවත් භාවනා ක්‍රම කීපයක් යෝගාශ්‍රමීය භික්‍ෂූන් පුරුදු-පුහුණු කරන අතර ඒ සෑම ක්‍රමයක්මත් ත්‍රිපිටක පෙළ, අටුවා, ටීකා හා විසුද්ධිමග්ග ආදී ග්‍රන්ථ මත පදනම් වී තිබීම ද විශේෂයකි.

  1. සත් අනුපස්සනා ග්‍රන්ථයේ සංඥාපනය (අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමි)

  2. කර්මස්ථාන ප්‍රදීපය (හඳුන්වාලීම) vi-x පිටු