පාළි භාෂාවට මුළින්ම වියරණයක් නිපදවූයේ සිවු පිළිසිඹියා ෂඩ් අභිඤ්ඤා ලාභී වූ “එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං විභජන්තානං යදිදං මහාකච්චානො”යි භාග්‍යවතුන් වහන්සේ විසින් අග්‍රස්ථානයේ තැබුවා වූ මහා ශ්‍රාවක මහාකච්චායන මහරහතන් වහන්සේ විසිනි. මහාකච්චායන මහරහතන් වහන්සේ ගිහි කලදී ත්‍රිවේදයේ පාරප්‍රාප්තව චණ්ඩපජ්ජෝත රජුගේ පුරෝහිත තනතුර දැරීය. එබැවින් ගිහි කාලයේදීම සංස්කෘත වියරණාදී විෂයන් ඉහළින්ම ප්‍රගුණ කල බව ප්‍රකටය. මෙම මහාකච්චායන මහරහතන් වහන්සේ විසින්ම නෙත්තිප්පකරණ, මහානිරුත්ති, කච්චායනය යනාදී ග්‍රන්ථ නිපදවූ බව පුරාණ ග්‍රන්ථයන්හි ප්‍රකටව දක්වා ඇත. ඒ මෙසේය ;
1. ථෙරො.....අත්‌තනො පුබ්‌බපත්‌ථනාවසෙන කච්‌චායනප්‌පකරණං මහානිරුත්‌තිප්‌පකරණං නෙත්‌තිප්‌පකරණන්‌ති පකරණත්‌තයං සඞ්‌ඝමජ්‌ඣෙ බ්‍යාකාසි[1].
(කච්චායන මහතෙරුන් වහන්සේ...... තමාගේ පූර්ව ප්‍රාර්ථනා වශයෙන් කච්චායන ප්‍රකරණය, මහානිරුත්ති ප්‍රකරණය, නෙත්ති ප්‍රකරණය යන ප්‍රකරණ තුන සඟමැද වදාළ සේක)
2. නෙත්‌ති-නිරුත්‌ති-පෙටකොපදෙස-කච්‌චායනප්‌පකරණ-කාරකෙන ආයස්‌මතා මහාකච්‌චායනත්‌ථෙරෙන වා ...[2]
(නෙත්ති, නිරුක්ති, පෙටකොපදෙස, කච්චායනප්‍රකරණ කර්තෘ වූ මහාකච්චායන මහතෙරුන් විසින් හෝ කියන ලද්දක් ද...)
3. කච්චායනඤ්චාචරියං නමිත්වා..... [3]
(කච්චායන ආචාර්යන් වහන්සේට ද නමස්කාර කොට....)
4. තත්ථ කච්චායනඤ්චාති භගවතා සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං විභජන්තානං සාවකානං එතදග්ගෙ ඨපිතං මහාසාවකං නිරුත්තිලක්ඛණාචරියභූතං මහාකච්චායන-ථෙරඤ්ච, නමිත්වා නමස්සිත්වා[4]
(එහි කච්චායනඤ්ච යනු සංක්‍ෂිප්තව වදාළ කරුණක් විස්තර වශයෙන් අර්ථ බෙදා දක්වන ශ්‍රාවකයින් අතර අග්‍ර යැයි භාග්‍යවතුන් වහන්සේ විසින් අග්‍රස්ථානයේ තබන ලද මහාශ්‍රාවක වූ නිරුක්තිලක්‍ෂණාචාර්ය වූ මහාකච්චායන තෙරුන්ට ද නමිත්වා නමස්කාර කොට)
5. i කච්චායනඤ්ච මුනිවණ්ණිතබුද්ධිමස්ස.......
ii කත්තා නාම “එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං විභජන්තානං යදිදං මහාකච්චානො”ති භගවතා එතදග්ගෙ ඨපිතො ආයස්මා මහාකච්චානො. .......
iii ඉධ පන ඛීණාසවත්තා විගතඤෙය්‍යාවරණත්තා ..... ධීමතා මහාකච්චායනත්ථෙරෙන.....
iv තිලොකතිලකො භද්දන්තමහාකච්චායනො කම්මනි දුතියායමිත්‍යාහ.....[5]
(i බුදුරජුන් විසින් වර්ණනා කරන ලද බුද්ධිමත් වූ කච්චායන මහතෙරුන්ව ද .......
ii මෙම කච්චායන වියරණයේ කර්තෘ නම් “මහණෙනි සංක්‍ෂිප්තව වදාළ කරුණක් විස්තර වශයෙන් අර්ථ බෙදා දක්වන මාගේ ශ්‍රාවකයින් අතර මේ කච්චායන මහාස්ථවිර තෙමේ අග්‍ර වේ” යැයි අග්‍රස්ථානයේ තැබූ ආයුෂ්මත් මහාකච්චායන මහාස්ථවිරයින් වහන්සේයි.....
iii මෙහිදී ක්‍ෂීණාශ්‍රව බැවිනුත් පහකළ ඤෙය්‍යාවරණ ඇති බැවිනුත් මහාප්‍රාඥ මහකසයින් මහතෙරුන් විසින්.....
iv තිලොවට තිලකයක් වූ භදන්ත මහකසයින් මහරහතන් වහන්සේ “කම්මනි දුතියායං” යැයි වදාළ සේක.)
6. i ඨපිතං එතදග්ගම්හි එසො අග්ගොති තාදිනා, නත්වා තඤ්ච මහාථෙරං.......
ii තං ඤත්වා මහාකච්චායනො භගවන්තං යාචිත්වා හිමවන්තං ගන්ත්වා මනොසිලාතලෙ දක්ඛිණදිසාභාගං සීසං කත්වා පුරත්ථිමදිසාභිමුඛො හුත්වා “අත්ථො අක්ඛරසඤ්ඤාතො”ත්‍යාදිකං කච්චායනප්පකරණං විරචි...[6]
(i මෙතෙමේ අග්‍ර යැයි තාදී බුදුරජුන් විසින් අග්‍රස්ථානයේ තැබූ ඒ මහතෙරුන් වහන්සේට ද නමස්කාර කොට ......
ii එය දැන මහාකච්චායන මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යැද හිමාලයට ගොස් මනෝසිලා තලයෙහි දකුණු දෙසට හිස තබා නැගෙනහිර දිශාභිමුඛ වී “අත්ථො අක්ඛරසඤ්ඤාතො” යනාදී වූ කච්චායන ප්‍රකරණය රචනා කළ සේක.)
7. ආචරියං; නිරුක්තිලක්ෂණාචාර්ය වූ, කච්චායනඤ්ච; (ආගමාධිගම සම්පන්න) මහා කාත්‍යායන ස්ථවිරයන් ද, ...[7]
8. ආචරියං; නිරුක්තිලක්ෂණාචාර්ය වූ, කච්චායනඤ්ච; කාත්‍යායන මහා ස්ථවිරපාදයා ද, ....[8]
ඉහත ප්‍රකාශ අනුව කච්චායනවියරණය මහාශ්‍රාවක කච්චායන මහරහතන් වහන්සේගේම කෘතියක් බව පැරණි ග්‍රන්ථකාරක උතුමෝ දැක්වූ අයුරු ප්‍රකට වේ. මෙහිදී කච්චායන මහරහතන් වහන්සේ රචනා කලේ සූත්‍ර පමණක් බවත් වෘත්ති හා උදාහරණ පිළිවෙලින් සඞ්ඝනන්දි, බ්‍රහ්මපුත්ත යන මහතෙරවරුන් විසින් කළ බවත් දැක්වේ. මෙම වියරණය කලේ වෙනත් ඇදුරුවරයෙකු යැයි පැවසූ කිසිඳු පැරණි ග්‍රන්ථයක්ද නැත. තවද දැනට වඩා අතිශයින්ම සීලාදී ප්‍රතිපත්ති ගරුකරන යුගයකදී ලියැවුණු ඉහත ග්‍රන්ථ වල අසත්‍ය කරුණු හිතාමතා ඇතුලත් කිරීමක් ද කිසිසේත් නොවිය හැකිය. අසත්‍ය කරුණු ඇතුලත් විණි නම් මෙම ග්‍රන්ථ මෙසේ සම්භාවනාවට ද පාත්‍ර නොවනු ඇත. ඒ වෙනුවට එම කරුණු පෙන්වා නිග්‍රහ කරනු ඇත. කරුණු මෙසේ හෙයින් කච්චායන වියරණය කච්චායන මහරහතන් වහන්සේගේම කෘතියක්ය යන කීම පිළිගැනීමට සාධාරණ හේතු ඇති බව සැලකිය යුතුය.
නමුත් ඉහත දැක්වූ සාම්ප්‍රදායික මතය පිළිගැනීමට අකමැති ඇතැම්හු මෙම ග්‍රන්ථය පසුකාලීන බව දැක්වීමට පහත කරුණු දක්වති.
A. කච්චායන සූත්‍ර හා කාතන්ත්‍ර සූත්‍ර අතර සමතාවක් පැවතීම නිසා මෙම කච්චායනය කාතන්ත්‍ර වියරණය අනුගමනය කරමින් එයට පසු කලෙක නිපදවූවක් විය යුතුය.
B. “පරසමඤ්ඤා පයොගෙ” යන සූත්‍රයෙන් සුදුසු තැන්හිදී සංස්කෘත සංඥා යොදාගැනීමට දොර විවරකර තිබීම මහරහත් උතුමෙකුට නොගැලපෙන බව.
C. කච්චායනයේදී විභක්ති නාම වශයෙන් දැක්වූ “පඨමා, දුතියා” ආදී නාම අටුවා කරණයේදී නොගෙන “පච්චත්තවචන, උපයොගවචන” යනාදී වෙනත් විභක්තිනාම ක්‍රමයක් යොදාගැනීම.
D. කච්චායන මහරහතන් වහන්සේගේ ම තවත් වියරණ කෘතියක් යැයි බොහෝ දෙනා අවිවාදයෙන් පිළිගන්නා මහානිරුක්තියේ දැක්වූ ඇතැම් වචන කච්චායනයේදී දක්වා නොතිබීම නිසා ප්‍රතිසම්භිදා ලාභී උතුමෙකු අතින් මෙවැන්නක් විය නොහැකි බව.
E. කච්චායන ව්‍යාකරණ ග්‍රන්ථය කච්චායන මහරහතන් වහන්සේගේම නම් “එහි ඇතැම් වචනයන්ගේ පද සිද්ධි දක්වා නැත. ඇතැම් සූත්‍රයන්ගෙන් කරන වැලැක්ම ඇතැම් පද සාධනයේදී නොයෙදේ ” යනාදී ලෙස තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමි ආදී පැරණි ග්‍රන්ථ කතුවරු නොදක්වනු ඇත. යනුයි
F. “අනුපදිට්ඨානං වුත්තයොගතො, යදනුප්පන්නා නිපාතනා සිජ්ඣන්ති ” ආදී සූත්‍ර කච්චායනයේ යෙදීම ශාස්ත්‍රීය නොවන බවත් එය මහරහතන් වහන්සේ කෙනෙකුන්ට නොගැලපෙන බව.
ඉහත කරුණු එකිනෙකක් අපි මෙසේ විචාරයට ලක් කරමු.
A. ප්‍රශ්ණය : “කච්චායන සූත්‍ර හා කාතන්ත්‍ර සූත්‍ර අතර සමතාවක් පැවතීම නිසා මෙම කච්චායනය කාතන්ත්‍ර වියරණය අනුගමනය කරමින් එයට පසු කලෙක නිපදවූවක් විය යුතුයි නේද?
අපේ පිළිතුර : කාතන්ත්‍ර වියරණයේ සූත්‍ර සමග පමණක් නොව, ක්‍රි.පූ 4 වන සියවසේ දී පමණ රචිත යැයි සැලකෙන ඉතා ප්‍රසිද්ධ සකු වියරණ ග්‍රන්ථයක් වන පාණිනී වියරණයෙහි ඇතැම් සූත්‍ර සමග ද කච්චායනයේ ඇතැම් සූත්‍ර වල සමතාවක් පවතී. එයිනුදු කච්චායනය පාණිනිය ඇසුරු කලේයැයි නොකිය යුතුය. එසේ නම් මෙම සූත්‍ර සමතාවය කෙසේ සිදුවීදැයි විමසා බලමු.
බුද්ධකාලය වනවිටත් බ්‍රාහ්මණයින් සතුව ප්‍රකට වියරණයක් තිබූ බවත් ව්‍යාකරණඥයින් යැයි හැඳින්වූ වියරණ දන්නා පිරිසක් සිටි බවත් සූත්‍ර දේශනා බොහෝ ගණනක සඳහන් වේ. ඊට උදාහරණ කීපයක් මෙසේය;
i. අම්බට්ඨො නාම මාණවො..... වෙය්‍යාකරණො.... [9]
(අම්බට්ඨ මානවක තෙමේ වියරණ දන්නෙකි.)
ii. භවඤ්හි සොණදණ්ඩො ...... වෙය්‍යාකරණො..... [10]
(භවත් සෝණදණ්ඩ තෙමේ වියරණ දන්නෙකි.)
iii. භවඤ්හි කූටදන්තො ...... වෙය්‍යාකරණො..... [11]
(භවත් කූටදන්ත තෙමේ වියරණ දන්නෙකි.)
iv. බ්‍රහ්මායුබ්‍රාහ්මණො ...... වෙය්‍යාකරණො..... [12]
(බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙමේ වියරණ දන්නෙකි.)
එබැවින් බුද්ධකාලය වනවිටත් පැවති මෙම වියරණයන්හි බලපෑම අනිවාර්යයෙන්ම පාණිනී, කාතන්ත්‍ර වියරණයන්ටද බලපාන්නේය. එම පැරණි වියරණ රීති මත පිහිටා මෙම ග්‍රන්ථ සිදුකළ බැවිනි. කරුණු මෙසේ හෙයින් පාණිනී,කාතන්ත්‍ර යන ග්‍රන්ථ සමග කච්චායනයේ පවතින මෙම සාම්‍යය බුද්ධ කාලයට පෙර පැවති සකු වියරණ රීති සමගද තිබිය යුතුය. එනිසා කාතන්ත්‍ර සූත්‍ර හා කච්චායන සූත්‍ර සමවූ පමණින්ම කච්චායනය කාතන්ත්‍රය පූර්වාදර්ශ කොට නිපදවීය යැයි හෝ කච්චායනය කාතන්ත්‍රයට පසුව නිපදවීය යැයි හෝ නිගමනයකට නොයා යුතුය. එසේ කරන්නේ නම් එය නුවණින් විමසීමේ ලක්‍ෂණයක් නොවේ. මෙම කරුණු මත පිහිටා අපට මෙබඳු නිගමනයකට පැමිණිය හැකිය. එනම් කච්චායන වියරණය නිපදවීමේදී බුද්ධකාලයටත් පෙරාතුව පැවති ඇතැම් වියරණ රීති හා ව්‍යවහාරයන් බුද්ධ දේශනාවට ගැලපෙන අයුරින් හා ව්‍යවහාරයට පහසු අයුරිනුත්, ඒ වනවිටත් පැවති ව්‍යවහාරයන් (ජනපදනිරුක්ති) හා ගැලපෙන අයුරිනුත් යොදාගත් බව නිගමනය කළ හැකිය.
B. ප්‍රශ්ණය : කච්චායනය එම මහරහතන් වහන්සේගේ කෘතියක් නම් “පරසමඤ්ඤා පයොගෙ” යන සූත්‍රයෙන් සුදුසු තැන්හිදී සංස්කෘත සංඥා යොදාගැනීමට දොර විවරකර තිබීම මහරහත් උතුමෙකුට ගැලපේ ද?
අපේ පිළිතුර : වෙනත් භාෂාවක යෙදෙන වචන බුද්ධ දේශනාව පැහැදිලි කිරීමේදී ද සුදුසු පරිදි වෙනස් කොට යොදාගැනීම මහරහත් උතුමෙකුට නොගැලපේ යැයි කිසිසේත් නොකිය හැකිය. එසේ නොගැලපේ යැයි කියන්නේ නම් ඒ රහත් විෂය පිළිබඳ නොදැනීම නිසා කියන්නකි. භාග්‍යවතුන් වහන්සේ ද එකල බ්‍රාහ්මණ ආගමේ භාවිත වූ “ධ්‍යාන, කසිණ, අට්ඨසමාපත්ති, අභිඤ්ඤා” යනාදී වචන එලෙසම දේශනා කළ අයුරු ද සලකා බැලිය යුතුය. මීට අමතරව මහාභාරත, මනුස්මෘති, උත්තරජ්ඣාන ආදී වෙනත් ආගමික ග්‍රන්ථයන්හි ඇති ශ්ලෝක හා ධම්මපද ගාථාදිය අතර සමතා පැවතීම ද සැලකිය යුතුය. එකල පොදුවේ භාවිත වූ සුභාෂිත බැවින් මෙම සමතාවය වූ බවත් එම ග්‍රන්ථ පූර්වාදර්ශ කොටගෙන භාග්‍යවතුන් වහන්සේ දහම් නොදෙසූ බවත් සැලකිය යුතුය. මෙසේ එකල ව්‍යවහාරයේ පැවති උපමා, සුභාෂිතාදිය ධර්මකරුණු පැහැදිලි කිරීමේදී යොදාගැනීම බුදුරජුන්ගේ සර්වඥතාවයට මදිපුංචිකමක්ද නොවේ. තවද අරණවිභඞ්ග සූත්‍රාදී දේශනාවන්ගෙන් ‘ජනපදනිරුත්‌තිං නාභිනිවෙසෙය්‍ය සමඤ්‌ඤං නාතිධාවෙය්‍ය’ (මෙම ව්‍යවහාරයම සත්‍ය යැයි දැඩිව ගෙන ව්‍යවහාර නොකරන්නේය, ලෝකප්‍රඥප්තිය- පොදු ව්‍යවහාරය නොයික්ම වන්නේය) යනුවෙන් දෙසූ බැවින් එකල භාවිතයේ පැවති වියරණයට සම්බන්ධ වචන පාළි වියරණයේදී යොදාගැනීම කච්චායන මහතෙරුන්ගේ අර්හත්වයට මදිපුංචිකමක් නොවේ. මෙසේ එකල සකු වියරණයේ භාවිත වූ වචන එසේම හෝ මදක් වෙනස් කර හෝ යොදාගැනීමේ හේතු කීපයක් මෙසේ දැක්විය හැකිය.
i. පාළි හා සකු යන භාෂා දෙකෙහි භාෂා ප්‍රයෝග, වාක්‍ය රටා, වචන ආදියේ බොහෝ සෙයින් සමතාවක් තිබීම.
ii. අළුතින්ම වියරණ රීති හඳුන්වා දීමට වඩා පවතින රීතියක් සංස්කරණය කර යොදාගැනීම එය හදාරන්නන්ගේ පහසුව පිණිස වීම.
iii. අරණවිභඞ්ග සූත්‍රාදියේ දැක්වූ පරිදි ව්‍යවහාරය නොයික්මවීම පිණිස.
iv. ඒ වන විටත් සකු වියරණය ප්‍රචලිතව තිබූ බැවිනුත් එහි ප්‍රගුණතාව ඇති බොහෝ භික්‍ෂු පිරිසක් වැඩසිටි හෙයිනුත් එම සඤ්ඤාදිය භාවිතය හැම අතින්ම පහසුවක් වීම.
ඉහත කරුණු අනුව සකු වියරණයේ භාවිතවන සඤ්ඤාදිය පාළි වියරණයේදී යොදා ගැනීමට අනුදැනීම කිසිසේත්ම කච්චායන මහරහතන් වහන්සේට මදිපුංචිකමක් නොවන බවද නිගමනය කළ හැකිය.
C. ප්‍රශ්ණය : කච්චායනයේදී විභක්ති නාම වශයෙන් දැක්වූ “පඨමා, දුතියා” ආදී නාම අටුවා කරණයේදී නොගෙන “පච්චත්තවචන, උපයොගවචන” යනාදී වෙනත් විභක්තිනාම ක්‍රමයක් යොදාගත්තේ ඇයි?
i. මෙහිදී ඇතැමුන් නගන ප්‍රශ්ණයක් නම් “කච්චායන වියරණය කච්චායන මහරහතන් වහන්සේගේ නම් අටුවා රචනයේදී එහි සඳහන් විභක්ති නාම නොගෙන පච්චත්ත ආදී වෙනත් නම් යොදාගත්තේ ඇයි? කච්චායන වියරණය කච්චායන මහරහතන් වහන්සේගේ නම් අටුවාචාරීන් වහන්සේලා අනිවාර්යෙන්ම එහි සඳහන් විභක්ති නාම යොදාගන්නවා ඇත.” යන්නයි. ඊට අපි මෙසේ පිළිතුරු සපයමු.
මෙම ප්‍රශ්ණය නගන්නේ එම කරුණ පිළිබඳ හරිහැටි විමසීමක් නොකිරීම නිසාය. මෙම පච්චත්ත ආදී විභක්ති වචනද කච්චායන මහරහතන් වහන්සේගේම දේශනාවක් වූ මහානිරුක්ති නමැති වියරණ ග්‍රන්ථයේ සඳහන් සඤ්ඤා නාමයෝය. ඒ බව රූපසිද්ධි ටීකාදී ග්‍රන්ථයන්හි ඉතා පැහැදිලිව දක්වා ඇත. රූපසිද්ධි කාරක කාණ්ඩය අගදී මෙම පච්චත්ත ආදී විභක්ති නාම සඳහන් සංග්‍රහ ගාථාවක් දක්වන අතර රූපසිද්ධි ටීකාවේදී එම ගාථාව මහානිරුක්තියෙහි වදාළ බව දැක්වේ. ඒ මෙසේය
විභත්‌තියො පන පච්‌චත්‌තවචනාදිවසෙන අට්‌ඨවිධා භවන්‌ති. යථාහ
‘‘පච්‌චත්‌තමුපයොගඤ්‌ච, කරණං සම්‌පදානියං;
නිස්‌සක්‌කං සාමිවචනං, භුම්‌මාලපනමට්‌ඨම’’න්‌ති. [13]
යථාහ; මහානිරුත්තියං පච්චත්තන්ති ආදිනා විභත්තීනං සංගහගාථා වුත්තා.[14] (මහානිරුක්තියෙහි පච්චත්තං යනාදී වශයෙන් විභක්තීන්ගේ සංග්‍රහ ගාථාවක් මෙසේ වදාරණ ලද්දේය.)
පච්චත්තං, ප්‍රථමාවචනය; උපයොගඤ්ච, ද්විතීයාවචනය; කරණං, තෘතීයාවචනය; සම්පදානියං, සම්ප්‍රදානවචනය; නිස්සක්ක, අවධිභූත පඤ්චමී වචනය; සාමිවචනං, ෂෂ්ඨිවචනය; භුම්ම, සප්තමීවචනය; අට්ඨමං, අටවනු වූ; ආලපනං, ආමන්ත්‍රණයයි; ඒ විභක්තීහු අෂ්ටප්‍රකාර වෙති; යථාහ, මහානිරුක්ති ප්‍රකරණයෙහි කීයේමැයි.[15]
රූපසිද්ධි ටීකාව රචනා කලේද රූපසිද්ධිය රචනා කල චෝළිය බුද්ධප්පිය ඇදුරුපාණන් වහන්සේම බවද මෙහිදී දතයුතුය. කරුණු මෙසේ හෙයින් අටුවාකරණයේදීද අටුවාචාරීන් වහන්සේලා යොදාගෙන ඇත්තේ කච්චායන මහරහතන් වහන්සේ විසින් දැක්වූ විභක්ති නාමම බව දත යුතුය. මෙහිදී ඇතැමෙක් තවත් ප්‍රශ්ණයක් නගනු ඇත. එනම්
ii. මෙම ග්‍රන්ථ දෙකම කච්චායන මහරහතන් වහන්සේගේම නම් විභක්ති සඤ්ඤා දැක්වීමේදී ග්‍රන්ථ දෙකෙහි දෙවිදියකින් දැක්වූයේ ඇයි? යනු එසේ විමසන තවත් ප්‍රශ්ණයකි. ඊට අපි මෙසේ පිළිතුරු සපයමු.
කච්චායන මහරහතන් වහන්සේගේ දේශනා යැයි සැලකෙන මහානිරුක්තිය හා කච්චායන වියරණය යන ග්‍රන්ථ දෙකම මුල් කාලයේදී මුඛපාඨ වශයෙන් පැවතී පසුව ග්‍රන්ථාරූඪ වන්නට ඇති බව අපගේ අදහසයි. එහිදී මහානිරුක්තියෙහි විභක්ති නාම දැක්වීමේදී පච්චත්ත, උපයොග ආදී විභක්ති නාම සඤ්ඤා මෙන්ම පඨමා, දුතියාදී සඤ්ඤා ද යොදාගත් බවට සාධක ඇත. මහානිරුක්තියෙන් උපුටා මහාසද්දනීතියෙහි “වුත්‌තඤ්‌හි නිරුත්‌තිපිටකෙ නිපාතපදපරිච්‌ඡෙදෙ ‘‘තුං ඉති චතුත්‌ථියා’’ති. තත්‍රායමත්‌ථො ‘‘තුං ඉති එතදන්‌තො නිපාතො චතුත්‌ථියා අත්‌ථෙ වත්‌තතී’’ති.[16] (නිරුක්තිපිටකයෙහි නිපාත පද පරිච්ඡේදයෙහි ‘‘තුං ඉති චතුත්‌ථියා’’යැයි කියන ලද්දේය. “තුං යන මේ අන්තය ඇති නිපාතය චතුර්ථි අර්ථයෙහි වැටේ” යනු එහිලා මේ අර්ථයයි.) යැයි දක්වා ඇත. මෙහි “චතුත්ථියා” යැයි පෙනෙන බැවින් මහානිරුක්තියෙහි පඨමා, දුතියා ආදී සඤ්ඤා නාමද භාවිතා වූ බව තහවුරු වේ. පච්චත්ත, උපයොග ආදී සඤ්ඤා යොදාගත් බව ඉහත දැක්වීමු. මහාසද්දනීතියෙහි මහානිරුක්තියෙන් ගත් බොහෝ උදෘත දක්නා ලැබේ.
එබැවින් මහාසද්දනීතියෙහි දැක්වෙන “ඉදමෙත්‌ථ නිරුත්‌තිලක්‌ඛණං දට්‌ඨබ්‌බං – පච්‌චත්‌තවචනෙ පඨමා විභත්‌ති භවති, උපයොගවචනෙ දුතියා විභත්‌ති භවති, කරණවචනෙ තතියා විභත්‌ති භවති, සම්‌පදානවචනෙ චතුත්‌ථී විභත්‌ති භවති, නිස්‌සක්‌කවචනෙ පඤ්‌චමී විභත්‌ති භවති, සාමිවචනෙ ඡට්‌ඨී විභත්‌ති භවති, භුම්‌මවචනෙ සත්‌තමී විභත්‌ති භවති, ආමන්‌තනවචනෙ අට්‌ඨමී විභත්‌ති භවති. තත්‍රැද්‌දානං –
පච්‌චත්‌තමුපයොගඤ්‌ච, කරණං සම්‌පදානියං;
නිස්‌සක්‌කං සාමිවචනං, භුම්‌මමාලපනට්‌ඨමං.
තත්‍ර පච්‌චත්‌තවචනං නාම තිවිධලිඞ්‌ගවවත්‌ථානගතානං ඉත්‌ථිපුමනපුංසකානං පච්‌චත්‌තසභාවනිද්‌දෙසත්‌ථො. උපයොගවචනං නාම යො යං කරොති, තෙන තදුපයුත්‌තපරිදීපනත්‌ථො. කරණවචනං නාම තජ්‌ජාපකතනිබ්‌බත්‌තකපරිදීපනත්‌ථො. සම්‌පදානවචනං නාම තප්‌පදානපරිදීපනත්‌ථො. නිස්‌සක්‌කවචනං නාම තන්‌නිස්‌සටතදපගමපරිදීපනත්‌ථො. සාමිවචනං නාම තදිස්‌සරපරිදීපනත්‌ථො. භුම්‌මවචනං නාම තප්‌පතිට්‌ඨාපරිදීපනත්‌ථො. ආමන්‌තනවචනං නාම තදාමන්‌තනපරිදීපනත්‌ථො. එවං ඤත්‌වා පයොගානි අසම්‌මුය්‌හන්‌තෙන යොජෙතබ්‌බානි.[17]” යන පාඨය ද මහානිරුක්තිය අනුසාරයෙන් දැක්වූ බව පැහැදිලිය. මේ අනුව ද මහානිරුක්තියෙහි පඨමා, දුතියා ආදී සඤ්ඤා මෙන්ම පච්චත්ත, උපයොග යනාදී සඤ්ඤා ද භාවිත කළ බව පැහැදිලි වේ.
මහානිරුක්තිය හැඳින්වීම සඳහා “මහානිරුත්ති, නිරුත්ති, නිරුත්තිපිටක” යනාදී නම් කීපයක් භාවිතා වූ බව පෙනේ. ඒ බව
a) යස්‌මා ‘‘නිරුත්‌තිපිටකං නාම පභින්‌නපටිසම්‌භිදෙන මහාඛීණාසවෙන මහාකච්‌චායනෙන කත’’න්‌ති ලොකෙ පසිද්‌ධං, [18]
(නිරුක්තිපිටකය ප්‍රභින්න ප්‍රතිසම්භිදාවන්ගෙන් යුත් මහාක්‍ෂීණාශ්‍රව මහාකච්චායන මහරහතන් වහන්සේ විසින් කරන ලදැයි යම් හෙයකින් ලෝකයෙහි ප්‍රසිද්ධ ද .....)
b) අයමායස්‌මතා මහාකච්‌චානෙන පභින්‌නපටිසම්‌භිදෙන කතස්‌මා නිරුත්‌තිපිටකතො උද්‌ධරිතො පුරිසඉච්‌චෙතස්‌ස පකතිරූපස්‌ස නාමිකපදමාලානයො.[19]
(ප්‍රභින්න ප්‍රතිසම්භිදාවන්ගෙන් යුත් ආයුෂ්මත් මහාකච්චායන මහරහතන් වහන්සේ විසින් කරන ලද නිරුක්තිපිටකයෙන් උදෘතකළ පුරිස යන මේ ප්‍රකෘතිරූපයේ නාමපදමාලා න්‍යායයි.)
c) යදිපි (භොති) කඤ්ඤාති රූපමිදං න නිද්දිට්ඨං කච්චානෙන, තථාපි නිරුත්තියං නිද්දිට්ඨත්තා එත්ථාපි සඞ්ගහිතං.[20]
d) නිරුත්තියං නිද්දිට්ඨත්තා ; (ප්‍රභින්න ප්‍රතිසම්භිදාවෙන් යුත්ත වූ මහාශ්‍රාවක කසයින් මහතෙරුන් වහන්සේ විසින්) මහානිරුක්තියෙහි (“භොති සබ්බා”යි ඒකවචනයෙහි ආකාරාන්ත රූපය) නිර්දිෂ්ට බැවින් _ භො බ්‍රහ්මා යන පදයැ .......[21] යනාදී උදෘත වලින් ප්‍රකට වේ.
නමුත් කච්චායන වියරණය ග්‍රන්ථාරූඪ කිරීමේදී එවකට ප්‍රකටව භාවිතා වූ පඨමා, දුතියා ආදී විභක්ති සඤ්ඤා පමණක් යොදාගන්නට ඇත යනු අපගේ අදහසයි.
මෙහිදී ඇතැමෙක් තවත් ප්‍රශ්ණයක් නගනු ඇත. එනම්
iii. එවකට ප්‍රකටව භාවිතා වූයේ පඨමා, දුතියා ආදී විභක්ති නාම නම් අටුවා කරණයේදී එම නාම නොගෙන පච්චත්ත, උපයොග ආදී නාම යොදාගත්තේ ඇයි? යනුවෙනි. ඊට අපි මෙසේ පිළිතුරු සපයමු.
එම අටුවා පරිවර්තන යුගය වන විට අභයගිරික භික්‍ෂූහු සංස්කෘත භාෂාවෙන් ලියැවුණු මහායාන ත්‍රිපිටකයත්, වෛතුල්‍ය පිටකාදී වූ නොයෙක් විපරීත අදහස් සහිත ග්‍රන්ථත් පිළිගෙන හදාල බව ඉතිහාස ග්‍රන්ථයන්හි දැක්වේ. මේ අනුව ඔවුන්ගේ ග්‍රන්ථ ද සකු බසට නැඹුරුව රචනා වන්නට ඇත. එහිදී විභක්ති නාමාදිය ද සකු බසට නැඹුරුව ප්‍රථමා, දුතියා ආදී ලෙස යොදා ගන්නට ඇත.
අටුවා පරිවර්තනය කළ ඇදුරුපාණන් වහන්සේලාගේ හා මහාවිහාරීය සඞ්ඝරත්නයේ ප්‍රධාන අරමුණක් වූයේ වෙනත් වැරදි මත හා මිශ්‍ර නොවන ලෙස පිරිසිදු ථේරවාදී දහම ආරක්‍ෂා කිරීමයි. එබැවින් ථේරවාදී ධර්ම ග්‍රන්ථයන්ගේ ස්වාධීනත්වය ආරක්‍ෂා කරගැනීම සඳහා අභයගිරිකාදී අන්‍ය නිකායික භික්‍ෂූන් භාවිතා නොකරන විභක්ති සඤ්ඤාවන් වූ පච්චත්ත, උපයොග ආදී විභක්ති නාම යොදාගන්නට ඇතැයි නිගමනය කළ හැක.
D. ප්‍රශ්ණය : “කච්චායන මහරහතන් වහන්සේගේ ම තවත් වියරණ කෘතියක් යැයි බොහෝ දෙනා අවිවාදයෙන් පිළිගන්නා මහානිරුක්තියේ දැක්වූ ඇතැම් වචන කච්චායනයේදී දක්වා නැත. ඒ නිසා ප්‍රතිසම්භිදා ලාභී උතුමෙකු අතින් මෙවැන්නක් විය හැකි ද?
අපේ පිළිතුර : මෙම මතය බොහෝ දෙනා ඉදිරිපත් කරන්නේ මොග්ගල්ලාන පඤ්චිකාවේ හා පඤ්චිකාප්‍රදීපාදියේ දැක්වෙන
“යදිපි (භොති) කඤ්ඤාති රූපමිදං න නිද්දිට්ඨං කච්චානෙන, තථාපි නිරුත්තියං නිද්දිට්ඨත්තා එත්ථාපි සඞ්ගහිතං.[22]
නිරුත්තියං නිද්දිට්ඨත්තා ; (ප්‍රභින්න ප්‍රතිසම්භිදාවෙන් යුත්ත වූ මහාශ්‍රාවක කසයින් මහතෙරුන් වහන්සේ විසින්) මහානිරුක්තියෙහි (“භොති සබ්බා”යි ඒකවචනයෙහි ආකාරාන්ත රූපය) නිර්දිෂ්ට බැවින් _ භො බ්‍රහ්මා යන පදයැ ......”[23]
යනාදී පාඨ පදනම් කරගෙනය. නමුත් මෙවැනි අඩුවැඩි තැන් තිබූ පමණින්ම මෙම ග්‍රන්ථ දෙක වෙනස් කර්තෘ වරුන්ගේ යැයි පැවසීම යුක්තිසහගත නොවේ. මෙහිදී මෙම වෙනස ඇතිවීමට හේතු සෙවිය යුතුය. එකම කර්තෘවරයෙකු අරමුණු දෙකකින් රචිත ග්‍රන්ථ දෙකක මෙබඳු වෙනස්කම් ඇතිවිය හැකි බැවිනි. උදාහරණ ලෙස බුද්ධ දේශනාවෙන්ම කරුණු පෙන්විය හැක. චුල්ලවග්ග පාළියේදී අවන්දිය පුද්ගලයින් දක්වන තැනදී 10 දෙනෙකු ලෙසත්, පරිවාර පාළියේදී අවන්දිය පුද්ගලයින් 25 දෙනෙකු බවත් දැක්වේ. නමුත් මෙහිදී චුල්ලවග්ගයේදී ආපත්තිකර පුද්ගලයින් වශයෙනුත්, පරිවාරයේදී නුසුදුසු සියලු දෙනාගේ වශයෙනුත් දැක්වේ. මෙබඳු යුක්තීන් මෙම වියරණ ග්‍රන්ථ සම්බන්ධවද තිබිය හැකිය. උදාහරණයක් ලෙස මහානිරුක්තියේදී ස්ත්‍රීලිංග ආලපන ඒකවචනයේ මෙම ආකාරාන්ත රූපය එකල ව්‍යවහාරයේ පැවති බැවින් හෝ ග්‍රන්ථවලට ඇතුලත් නොවූ බුද්ධ දේශනාවන්හි පැවති නිසා හෝ මහානිරුක්තියට ඇතුලත් කලේයැයි ද දැනට භාවිත ත්‍රිපිටක ධර්මයේ අභාවිත බැවින් කච්චායන වියරණයේදී නොදැක්වූ බවද සැලකිය හැකිය.
තවද මහානිරුක්තියෙන් ගත් උදෘත සලකා බැලීමේදී පෙනීයන්නේ මහානිරුක්තිය යනු බහුලව භාවිතා වන පදයන්ට උදාහරණ සපයමින් සැකසුණු ග්‍රන්ථයක් බවයි. කච්චායනයේදී ඊට වඩා පද දක්වා ඇති බවද පෙනේ. ඒ බව පහත උදෘතයන්ගෙන් දත හැකිය.
a) නිරුත්‌තිපිටකාදීසු ‘‘රාජා’’ති බහුවචනං න ආගතං, චූළනිරුත්‌තියං පන ආගතං. කිඤ්‌චාපි නිරුත්‌තිපිටකාදීසු න ආගතං, තථාපි ‘‘නෙතාදිසා සඛා හොන්‌ති, ලබ්‌භා මෙ ජීවතො සඛා’’ති පාළියං බහුවචනෙකවචනවසෙන ‘‘සඛා’’ති පදස්‌ස දස්‌සනතො ‘‘රාජා’’ති බහුවචනං ඉච්‌ඡිතබ්‌බමෙව. තථා ‘‘බ්‍රහ්‌මා, අත්‌තා’’ ඉච්‌චාදීනිපි බහුවචනානි තග්‌ගතිකත්‌තා විනා කෙනචි රූපවිසෙසෙන. (සද්දනීති.)
b) යමකමහාථෙරෙන කතාය පන චූළනිරුත්‌තියං ‘‘භො පුරිස’’ඉති රස්‌සවසෙන ආලපනෙකවචනං වත්‌වා ‘‘භො පුරිසා’’ඉති දීඝවසෙන ආලපනබහුවචනං වුත්‌තං. කිඤ්‌චාපි තාදිසො නයො නිරුත්‌තිපිටකෙ නත්‌ථි, තථාපි බහූනමාලපනවිසයෙ ‘‘භො යක්‌ඛා’’ ඉති ආදීනං ආලපනබහුවචනානං ජාතකට්‌ඨකථාදීසු දිස්‌සනතො පසත්‌ථතරොව හොති විඤ්‌ඤූනං පමාණඤ්‌ච, තස්‌මා ඉමිනා යමකමහාථෙරමතෙනපි ‘‘පුරිසො පුරිසා පුරිස’’න්‌ති ආදීනි වත්‌වා ආමන්‌තනෙ ‘‘භො පුරිස, භො පුරිසා, භවන්‌තො පුරිසා’’ති නාමිකපදමාලා යොජෙතබ්‌බා. (සද්දනීති.)
c) නිරුත්‌තිපිටකෙ පච්‌චත්‌තාලපනට්‌ඨානෙ ‘‘මහන්‌තො, භවන්‌තො, චරන්‌තො’’තිආදීනං බහුවචනත්‌තමෙව කථිතං, න එකවචනත්‌තං. තථා හි තත්‌ථ ‘‘මහං භවං චරං තිට්‌ඨ’’න්‌ති ගාථං වත්‌වා ‘‘මහං තිට්‌ඨති, මහන්‌තො තිට්‌ඨන්‌තී’’ති ච, “භො මහා, භවන්‌තො මහන්‌තො’’ති ච, “භවං තිට්‌ඨති, භවන්‌තො තිට්‌ඨන්‌තී’’ති ච ආදි වුත්‌තං. (සද්දනීති.)
d) එත්‌ථ “කඤ්‌ඤා’’ති එකවචනබහුවචනවසෙන වුත්‌තං, නිරුත්‌තිපිටකෙ බහුවචනවසෙන වුත්‌තො නයො නත්‌ථි. තථා හි තත්‌ථ ‘‘සද්‌ධා තිට්‌ඨති, සද්‌ධායො තිට්‌ඨන්‌ති. සද්‌ධං පස්‌සති, සද්‌ධායො පස්‌සතී’’ති එත්‌තකමෙව වුත්‌තං, “සද්‌ධා’’ති බහුවචනං න ආගතං. කිඤ්‌චාපි නාගතං, තථාපි ‘‘බාහා පග්‌ගය්‌හ පක්‌කන්‌දුං, සිවිකඤ්‌ඤා සමාගතා. අහෙතු අප්‌පච්‌චයා පුරිසස්‌ස සඤ්‌ඤා උප්‌පජ්‌ජන්‌තිපි නිරුජ්‌ඣන්‌තිපී’’ති ආදිපාළිදස්‌සනතො බාහාකඤ්‌ඤා සඤ්‌ඤාසද්‌දාදීනං බහුවචනතා ගහෙතබ්‌බා. චූළනිරුත්‌තියං “භොති කඤ්‌ඤෙ, භොති කඤ්‌ඤා’’ති ද්‌වෙ එකවචනානි වත්‌වා ‘‘භොතියො කඤ්‌ඤායො’’ති එකං බහුවචනං වුත්‌තං. නිරුත්‌තිපිටකෙ පන ‘‘භොති සද්‌ධා’’ති එකවචනං වත්‌වා “භොතියො සද්‌ධායො’’ති එකං බහුවචනං වුත්‌තං. මයං පනෙත්‌ථ ‘‘එහි බාලෙ ඛමාපෙහි, කුසරාජං මහබ්‌බලං. ඵුස්‌සතී වරවණ්‌ණාභෙ. එහි ගොධෙ නිවත්‌තස්‌සූ’’ති ආදිපාළිදස්‌සනතො “භොති කඤ්‌ඤෙ, භොතියො කඤ්‌ඤා, කඤ්‌ඤායො’’ති එවංපකාරානියෙව ආලපනෙකවචනබහුවචනානි ඉච්‌ඡාම. එත්‌ථ ‘‘භොති කඤ්‌ඤෙ’’ති අයං නයො අම්‌මාදීසු මාතාදීසු ච න ලබ්‌භති. (සද්දනීති.)
මෙම කරුණු අනුව පෙනී යන්නේ මහානිරුක්තියේ නොදැක්වූ බොහෝ පදසැකසීම් කච්චායනයේ දක්වා ඇති බවයි. මහානිරුක්තිය අභාවිතව යාමට හේතුවද මෙහිදී විමසිය යුතුය. එහි වූ බොහෝ ප්‍රයෝග කච්චායනයේ ඇතුලත් වූ බැවිනුත් පසුව රචනා වූ මොග්ගල්ලාන , සද්දනීති ආදී වියරණ ග්‍රන්ථයන්හි සෙසු කරුණු ද දැක්වූ බැවිනුත් අභාවිත වන්නට ඇති බව අපගේ අදහසයි. එක් රටකදී විනාශ වුව ද සියලු බෞද්ධ රාජ්‍යයන්හිම මෙය විනාශ වීමටද කරුණු නොපෙනේ. ඉහත දැක්වූ කරුණු හැර මහාකච්චායන මහරහතන් වහන්සේගේ කෘතියකැයි අවිවාදයෙන් පිලිගන්නා මෙබඳු ශ්‍රේෂ්ට ග්‍රන්ථයක නාමය පමණක් ශේෂ වීමට වෙනත් කරුණු නොපෙනේ.
E. ප්‍රශ්ණය : කච්චායන වියරණය කච්චායන මහරහතන් වහන්සේගේම නම් “එහි (කච්චායනයෙහි) ඇතැම් වචනයන්ගේ පද සිද්ධි දක්වා නැත. එහි ඇතැම් සූත්‍රයන්ගෙන් කරන වැලැක්ම ඇතැම් පද සාධනයේදී නොයෙදේ ” යනාදී ලෙස පැරණි ග්‍රන්ථ කතුවරු නොදක්වනු ඇත. එසේ දක්වන්නේ ඇයි?
අපේ පිළිතුර : මෙම ප්‍රකාශය කරන්නේ කච්චායනයේදී ඇතැම් සූත්‍රයන්ගෙන් වැලැක්වූ පද කීපයක් ඉතා කලාතුරකින් දේශනා පාලියේදී හමුවන බැවින් එබඳු තැන් සද්දනීති, මොග්ගල්ලාන ආදී ග්‍රන්ථයන්හි දක්වා ඇති බැවිනි. මෙබඳු තැන් මොග්ගල්ලායනාදී ග්‍රන්ථයන්හි ද දක්නා ලැබේ. එබඳු තැන්හි එම වැලැක්වීම බහුල පැවැත්ම අනුව (බාහුල්ලවුත්ති) බව පඤ්චිකාප්‍රදීපාදියෙහි මෙසේ දක්වා ඇත.
- චූළනිරුත්තියෙහි ස්ත්රීලිඟු කියන තැනැ “චතුන්නං” කියා ද, නිරුක්තිපිටකයෙහි “චතුන්නං කඤ්ඤානං” කියා ද, සොණදණ්ඩසූත්රාදියෙහි “චතුන්නං පරිසානං පියො මනාපො” කියා ද ......ස්ත්රීලිඟුවෙහි “චතුන්නං” යන පදයැ සාක්ෂාත් ප්‍රයෝග කළ හෙයින් ස්ත්රීලිඟු විෂයෙහි නැතැයි ප්රත්යුදාහරණ කොටැ දැක්වීම භූයෝවෘත්ත්යාශ්රයෙනැයි දතයුතු. (මොග්ගල්ලාන පඤ්චිකාප්‍රදීප 88 පිටුව)
තවද මහානිරුක්තිය කච්චායන මහරහතන් වහන්සේගේම යැයි පවසන මොග්ගල්ලාන යෙහි හා සද්දනීතියෙහිද ඇතැම් තැනකදී මහානිරුක්තියේ නොදැක්වූ නමුත් ත්‍රිපිටකයේ දක්නා ලැබෙන පද පිලිබඳ දක්වයි. කරුණු මෙසේ හෙයින් සෑම වියරණ ග්‍රන්ථයකදීම රීති දැක්වීමේදී මෙම බහුල පැවැත්ම අනුව දැක්වීයැයි ගත් විට කිසි විරෝධයක් ඇති නොවේ.
F. ප්‍රශ්ණය : “ අනුපදිට්ඨානං වුත්තයොගතො, යදනුප්පන්නා නිපාතනා සිජ්ඣන්ති ” ආදී සූත්‍ර කච්චායනයේ යෙදීම ශාස්ත්‍රීය ද? එය මහරහතන් වහන්සේ කෙනෙකුන්ට ගැලපේ ද?
අපේ පිළිතුර : මෙසේ පවසන්නේ නම් ඒ කරුණු හරිහැටි විමසා නොබැලීම හේතුවෙනි. මහරහතන් වහන්සේ නමකගේ දේශනාවක් ඇසුරින් සැකසුණු ග්‍රන්ථයක වුවද එබඳු දෙයක් විය හැකිය. ඊට හේතුව වන්නේ අවබෝධ කළ සියල්ල දේශනා කිරීමත්, දේශනා කළ සියල්ල රචනා කිරීමත් ප්‍රායෝගික නොවීමයි. යම් ග්‍රන්ථයක සියල්ලෙන් සියල්ල ඇතුලත් නොවූ පමණින් එම ඇතුලත් නොවූ කරුණු එම දේශකයින් වහන්සේ නොදෙසුවේ යැයි හෝ උන් වහන්සේ එය අවබෝධ නොකලේ යැයි හෝ කිසිසේත්ම කිව නොහැකිය. සංයුත්තනිකායේ සීසපා සූත්‍රය ඊට සාධකයි. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ දක්වන්නේ තමන් වහන්සේ දේශනාකළ ධර්මය අතට ගත් ඇට්ටේරිය කොල කීපය තරම් අල්ප බවත් අවබෝධ කර නොදෙසූ ප්‍රමාණය ඇට්ටේරිය කැලයේ ගස්වල ඇති කොළ මෙන් බොහෝ බවත්ය. ඉහත දැක්වූ කච්චායන වියරණය පිළිබඳවද මෙසේ දතයුතුය. බුද්ධදේශනාවේ එන සියලු පද සැකසීමට සූත්‍ර රචනා කරන්නේ නම් ඒවා දහස් ගණනක් වනු ඇත. එවිට ද ඉගෙනීම, ධාරණය අපහසු වේ. එබැවින් බහුලව භාවිතාවන පද සැකසීම සඳහා අවශ්‍ය රීතීහු ධාරණයට හා හැදෑරීමට පහසු ප්‍රමාණයට සකස් කරනු ලදුව එම රීති වලින් සැකසීමට නොහැකි වූ ඉතා කලාතුරකින් දක්නා ලැබෙන පද සැකසීම සඳහා අනුපදිට්ඨානං..., යදනුප්පන්නා ..., යනාදී සූත්‍ර රචිත බව සැලකිය යුතුය.
පාළි භාෂාව පිළිබඳ නිගමනය
ඉහත කරුණු අනුව කච්චායනය පිලිබඳව ඇති සාම්ප්‍රදායික මතය තහවුරු වන අතර ඊට විරුද්ධව දක්වන මත ප්‍රතිෂ්ඨා විරහිත වේ. එබැවින් විශේෂයෙන්ම බුද්ධදේශනාවට සම්බන්ධ සාම්ප්‍රදායික මත ප්‍රතික්‍ෂේප කිරීමට පෙර බොහෝ කරුණු සිතා බැලිය යුතුය. ඊට හේතු කීපයක් අපි මෙසේ දක්වමු.
1. පැරණි උතුමෝ දැන දැන කිසිසේත්ම අසත්‍ය ප්‍රකාශ නොකරන ඉතා සිල්වත් උතුමෝ වීම හා එම පුරාණ මත ප්‍රතික්‍ෂේප කරන බොහෝ දෙනා එසේ සත්‍යවාදී නොවීම.
2. එම පැරණි ග්‍රන්ථ මේ තාක් කාලයක් ඉතා සිල්වත් වූ ද ප්‍රතිපත්ති ගරුක වූ ද පණ්ඩිත වූ ද පිරිසක් අතර සම්භාවනාවට මෙන්ම කරුණු විනිශ්චයේදී ප්‍රාමාණිකත්වයට පත්වීම.
3. මෙම වියරණය සම්බන්ධ කරුණේදී එම පැරණි උතුමන් වහන්සේලා කච්චායනය හා මහානිරුත්තිය යන ග්‍රන්ථ දෙකම හදාරා, ඒවා සියසින් දැක තිබෙන අතර එම පැරණි උතුමන්ගේ මත නොපිලිගන්නා නූතන උගත්තු මහානිරුක්තිය තබා එහි එක පිටුවකුදු දැක නැති බව.
4. රූපසිද්ධි, න්‍යාස ආදී පැරණි ග්‍රන්ථයන්හි දක්වන ඇතැම් රීති ඊට වෙනස් ලෙස විග්‍රහ කරන මොග්ගල්ලායනය හා එහි පරිවාර ග්‍රන්ථ කිසිවක හෝ “කච්චායනය කච්චායන මහරහතන් වහන්සේගේම” යැයි එම පැරණි ග්‍රන්ථයන්හි කළ සඳහන ප්‍රතික්‍ෂේප නොකරයි.
5. එම පැරණි උතුමන් වහන්සේලා තම අදහස් ඉදිරිපත් කලේ ත්‍රිපිටකපාළිය, එහි සියලු අට්ඨකථා, පාළිභාෂාව ඇතුලු බොහෝ භාෂාවන් ද තම ආචරිය පරපුරෙන් ලැබුණු න්‍යායන් අනුව ගුරුන් ඇසුරු කොට උගෙන බොහෝ දහස් ගණන් ශිෂ්‍යයින්ට උගන්වා ඉන් පසුවය. නමුත් එම මත ප්‍රතික්‍ෂේප කරන නූතන උගතුන් සතු වන්නේ ඉහත සුදුසුකම් වලින් මොනවාද? ඒ කොතරම් ප්‍රතිශතයක්ද? යැයි සිතා බලනු වටී.
6. එම පැරණි උතුමන් වහන්සේලා නිවන් අරමුණ පෙරදැරිව ඉගෙනීම, ඉගැන්වීම හා එම ග්‍රන්ථ රචනාදිය කළහ. එබැවින් කරන ඉගෙනීමාදිය හොඳින් කරුණු විමසාම සිදුකළහ. නමුත් ඇතැම් නූතන උගත්තු තම ඉගෙනීම උපාධියක් හෝ රැකියාවක් ඉලක්ක කරගෙන සිදුකරන බැවින් ඇතැම් විට අලුත් ග්‍රන්ථයක් නිපදවමුයි කියමින් හරිහැටි කරුණු තේරුම් නොගෙන පැරණි ග්‍රන්ථ විවේචනයට බැස ඒවායේ නැති වැරදි දක්වන්නට තැත්කරති.
කරුණු මෙසේ හෙයින් නූතනයින් කියනා සියලු දේ අවිචාරවත්ව පිළිගැනීමට ප්‍රථම හොඳින් සිතා බැලිය යුතුය. මේ පිළිබඳව මෙතරම් කරුණු දැක්වූයේ හේතු කීපයක් නිසාය. එනම්
1) පැරණි ග්‍රන්ථකාරක උතුමන්ගේ කීම් හෑල්ලුවට ලක්කිරීම නිසා ඒ උතුමන් හරහා අපට ලැබුණු ත්‍රිපිටක ධර්මය ගැන පවා සැක ඇතිවිය හැකි වේ.
2) ඒ මාහිමිවරුන්ගෙන් අප ලද පැවිදි උපසම්පදාවන් ගැනද සැක ඇති වේ.
3) මෙකල ප්‍රකට භාවනාක්‍රම සියල්ලම පාහේ අටුවා ටීකාදී ග්‍රන්ථයන්හි සඳහන් විවරණාදිය ගරු වශයෙන් පිලිගෙන ඇති නිසා එම භාවනාක්‍රම ගැන ද සැක ඇති වේ.
4) මෙසේ වැරදි දැක්වීමෙන් කිසිවෙකුගේ ශ්‍රද්ධාදී ගුණ නොවැඩෙන අතර ඒ වෙනුවට සැක සංකා බහුල වීම නිසා සාසනික ගුණ පිරීමට ද මන්දෝත්සාහී වේ.
5) මෙවැනි සාසනයට අහිතකර මතවාදයන්ට පිලිතුරු ලබාදීමට නම් මෙකල විශ්වවිද්‍යාල ආදී උසස් අධ්‍යාපනය ලබන පිරිස් අතර සැබෑ සාසන මාමක ප්‍රතිපත්තිකාමී පිරිසක් බිහිකිරීම සඳහා තර්කයට වඩා සත්‍යයට ගරුකරන අධ්‍යාපන ප්‍රතිපත්තියක් ද අත්‍යාවශ්‍යය යන කරුණු අවධාරණය කිරීමට අවශ්‍ය විය.
එබැවින් සාසනයේ පැවැත්මට අහිතකර මතවාද දුරුකර එය නගාසිටුවීමට අදහස් කරන්නේ නම් එබඳු අය කල යුත්තේ අපේ සම්ප්‍රදාය මුලින් ඉගෙන ඉන්පසු බාහිර මතවාද විමසා බැලීමයි. එසේ නොමැතිව මුලින් බාහිර මතවාද කරපින්නා ගෙන ඒ මත පිහිටා සාසනය දෙස බැලීම නොවේ. පැරණි ග්‍රන්ථ ආදියේ ඇතැයි ඇතැමුන් කියන නොගැලපෙන තැන් සෙවීම වෙනුවට එම ග්‍රන්ථ ගෞරවයෙන් හදාරන්නේ නම් එබඳු බොහෝ තැන් වැරදීම් නොව අපගේ වැරදි වැටහීම් බව වැටහෙනු ඇත. කරුණු මෙසේ හෙයින් සෑම සියලු දෙනාටම නිස්සරණ අධ්‍යාශයෙන් ධර්මය හදාරන්නට සිත් පහල වේවා යනු අපගේ මෛත්‍රී පූර්වාංගම ප්‍රාර්ථනයයි.
-
අපදාන අටුවා 2 කොටස 417 පිටුව ↑
-
විනයාලංකාර ටීකා ↑
-
රූපසිද්ධි ↑
-
රූපසිද්ධි ටීකා ↑
-
මුඛමත්තදීපනී කච්චායන ටීකා. ↑
-
කච්චායනවණ්ණනා ↑
-
රූපසිද්ධි සන්න ↑
-
සන්දෙහවිඝාතනී රූපසිද්ධි සන්න ↑
-
දී.නි. අම්බට්ඨ සු. ↑
-
දී.නි. සොණදණ්ඩ සු. ↑
-
දී.නි. කූටදන්ත සු. ↑
-
ම.නි. බ්‍රහ්මායු සු. ↑
-
රූපසිද්ධි 134 පිටුව ↑
-
රූපසිද්ධි ටීකා 395 පිටුව ↑
-
රූපසිද්ධි පුරාණ සන්න 200 පිටුව ↑
-
සද්දනීති 278 පිටුව 4-6 පෙළ ↑
-
සද්දනීති ↑
-
සද්දනීති ↑
-
සද්දනීති ↑
-
මොග්ගල්ලාන පඤ්චිකා 87 පිට, 2-62 සුතුර ↑
-
මොග්ගල්ලාන පඤ්චිකාප්‍රදීප 82 පිටුව ↑
-
මොග්ගල්ලාන පඤ්චිකා 87 පිට, 2-62 සුතුර ↑
-
මොග්ගල්ලාන පඤ්චිකාප්‍රදීප 82 පිටුව ↑