පාළි භාෂාව පිලිබඳ ඇති මතවාද

star_outline

ඉපැරණි ග්‍රන්ථයන්හි දැක්වෙන “බුදු රජානන් වහන්සේ දහම් දෙසුවේ පාළි භාෂාවෙනි” යනාදී මෙම අදහස් පිළිගැනීමට අකමැති වූ ද බෞද්ධයින්ගේ ශ්‍රද්ධාදී ගුණ උපායෙන් පිරිහෙලනු කැමති වූ ද ඇතැම් බටහිර උගත්තු “බුදු රජාණන් වහන්සේ මගධරට වැසියෙකු නොව කෝසල වැසියෙකි. එබැවින් එතුමන් ධර්මය දෙසූ භාෂාව කෝසල රටේ භාෂාව විය යුතුය.” යනාදී විවිධ මත පලකරති. ඒ පිලිබඳ අපගේ අදහස මෙසේ දක්වමු.

තිස්සදත්ත මහරහතන් වහන්සේ ආදී ශ්‍රාවක උතුමන් වහන්සේලා පවා ප්‍රකෘතියෙන් ම (ප්‍රතිසම්භිදාවන් භාවිතා නොකොට) භාෂා 18 ක් පමණ භාවිතා කරමින් දහම් දෙසූ බව ග්‍රන්ථාගත කරුණු වලින් කියැවේ.[1] තවද සතුන්ගේ භාෂා පවා ඇතැමුන් දැන සිටි බව ග්‍රන්ථයන්හි දැක්වේ. එසේ නම් මුලු මහත් විශ්වයටම පහළ වූ අද්විතීය ප්‍රඥාවන්ත උතුමන් වහන්සේ වන භාග්‍යවතුන් වහන්සේ දැන සිටියේ තම මවු බස පමණක් දැයි නුවණැත්තෝ සිතා බලත්වා. “භාග්‍යවතුන් වහන්සේ දැන සිටියේ තම මවු බස වූ කෝසල භාෂාව පමණකැ”යි දැක්වීමට මෙන් බුද්ධවිෂය පිලිබඳ නොදැන ඇතැමුන් පලකරන අමූලික වූද හුදු මතිමාත්‍ර පමණක් වූද සාසනික මතයන්ට පටහැනි වූද මත වලින් කවර ප්‍රයෝජනයක් ද? චතුපටිසම්භිදා ෂඩ් අභිඤ්ඤාදී ගුණ වලින් පෝෂිත ක්‍ෂීණාශ්‍රව උතුමන් වහන්සේලා විසින් මහත් ඉහලින් පිලිගන්නා ලද ග්‍රන්ථ වල “භාග්‍යවතුන් වහන්සේ මගධ බසින් දහම් දෙසූ සේක” යන කරුණ සනාථ කිරීමට ඕනෑ තරම් සාක්‍ෂි තිබියදී මෙවැනි අමූලික වූ මතිමාත්‍ර වලින් ප්‍රයෝජනයක් නොවේමය. තවද දතයුත්තක් ඇත. එනම් භාග්‍යවතුන් වහන්සේ මගධ බසින් දහම් දෙසන විට අසා සිටින සියලු දෙනාටම තමතමාගේ භාෂාවෙන් වැටහේ.

ඒ බව “එකො එව භගවතො ධම්‌මදෙසනාඝොසො, එකස්‌මිං ඛණෙ පවත්‌තමානො නානාභාසානං සත්‌තානං අත්‌තනො අත්‌තනො භාසාවසෙන අපුබ්‌බං අචරිමං ගහණූපගො හොති. අචින්‌තෙය්‍යො හි බුද්‌ධානං බුද්‌ධානුභාවොති සබ්‌බසත්‌තානං සකසකභාසානුරූපතො සොතපථං ආගච්‌ඡතීති වෙදිතබ්‌බං.[2]

(එකක් වූ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනා හඬ, එක වේලාවක පවත්නේ නොයෙක් භාෂා දන්නා සත්වයන්ට තම තමන්ගේ භාෂා වශයෙන් ගතහැකි - ඇසියහැකි වේ. බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධානුභාවය අචින්තනීය වේනුයි සියලු සත්වයන්ට තමතමන්ගේ භාෂාවන්ට අනුරූපව ශ්‍රෝතපථයට පැමිණේ යැයි දතයුතුය.) යැයි උදාන හා ඉතිවුත්තක අටුවාවන්හි දැක්වේ. එබැවින් පාළි භාෂාව යනු භාග්‍යවතුන් වහන්සේ විසින් දහම් දෙසීමට භාවිතා කළ මගධ දේශයේ බස බව මෙසේ සකාරණව තහවුරු කර දක්වමු.

  1. විභංගඅටුවා 272 පිටුව (හේවාවිතාරණ මුද්‍රණ)

  2. උදාන අටුවා, ඉතිවුත්තක අටුවා