පාළි භාෂාව

“සම්මා සම්බුද්ධොපි තෙපිටකං බුද්ධවචනං තන්තිං ආරොපෙන්තො මාගධභාසාය එව ආරොපෙසි.[1] (සම්මා සම්බුදු රජාණන් වහන්සේ ද ත්‍රිපිටක බුද්ධ වචනය තන්තියට නගන සේක් මාගධ භාෂාවෙන් ම නැංවූ සේක) “සකාය නිරුත්තියාති එත්ථ සකානිරුත්ති නාම සම්මාසම්බුද්ධෙන වුත්තප්පකාරො මාගධිකො වොහාරො.”[2] (‘සකාය නිරුත්තියා’ යන මෙහි ‘සකානිරුත්ති-ස්වකීය නිරුක්තිය’ යනු සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ආකාර ඇති මාගධික ව්‍යවහාරයයි.)”

ඉහත දැක්වූ ඉපැරණි සාසනික ප්‍රකාශ අනුව දැන් පාළි භාෂාව ලෙස භාවිත වන පදයම පෙර “අරියභාසා, තන්තිභාසා, මාගධභාසා, මාගධිකවොහාර, ධම්මනිරුත්ති, සකානිරුත්ති, සභාවනිරුත්ති” යනාදී වචන වලින් කියැවෙන බව දත යුතුය. එබැවින් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ධර්මය දෙසූ භාෂාව වර්තමානයේ පාළි භාෂාව ලෙස හඳුන්වත්.

එය “පකට්ඨානං ආළීති පාළි, උත්‌තමානං වචනානං අනුක්‌කමොති අත්ථො. අථ වා අත්තත්ථපරත්ථාදිභෙදං අත්ථං පාලෙති රක්‌ඛතීති පාළි.” [3] යනාදී සාසනික නිරුක්ති අනුව ප්‍රකෘෂ්ට (ඉතා උසස්) වචනයන්ගේ පෙළ නුයි පාළි නමි, උතුම් වචනයන්ගේ අනුක්‍රමය යන අර්ථයි. නැතහොත් ආත්මාර්ථ-පරාර්ථ ආදී භේද ඇති අර්ථය පාලනය කරයි රකියිනුයි පාළි නමි යැයි පරියත්ති ශ්‍රී සද්ධර්මය පාළි නම් වේ යැයි අර්ථ ගත යුතුය. උපචාර වශයෙන් ඒ පරියත්ති සද්ධර්මය දෙසූ භාෂාව ද පාළි නම් වේ. එබැවින් පාළි ච සා භාසා චාති පාළි භාසා (පාළි වූයේත් ඕ ය භාෂාව වූයේත් ඕ යැයි පාළිභාෂා නමි) යැයි නිරුක්තිය ගත හැකිය.

  1. විභඞ්ග අටුවා

  2. විනය අටුවා

  3. විනයාලඞ්කාරටීකා