බුද්ධඝෝෂ ඇදුරුපාණන් වහන්සේ තම අදහස් අටුවාවන්හි දක්වන තැන්හි ඉතා පැහැදිලිව එය “මෙය අපගේ අදහසයි” යනුවෙන් දැක්වූ සේක. ඊට උදාහරණ කීපයක් අපි මෙසේ දක්වමු.
1. සචෙ පන එකාහද්‌වීහාදිවසෙන යාව දසාහානාගතාය වස්‌සූපනායිකාය අන්‌තොවස්‌සෙ වා ලද්‌ධා චෙව නිට්‌ඨිතා ච, කදා අධිට්‌ඨාතබ්‌බාති එතං අට්‌ඨකථාසු න විචාරිතං. ලද්‌ධදිවසතො පට්‌ඨාය අන්‌තොදසාහෙ නිට්‌ඨිතා පන තස්‌මිංයෙව අන්‌තොදසාහෙ අධිට්‌ඨාතබ්‌බා. දසාහාතික්‌කමෙ නිට්‌ඨිතා තදහෙව අධිට්‌ඨාතබ්‌බා. දසාහෙ අප්‌පහොන්‌තෙ චීවරකාලං නාතික්‌කමෙතබ්‌බාති අයං නො අත්‌තනොමති. කස්‌මා?……… තස්‌මා යථාවුත්‌තමෙව ගහෙතබ්‌බං, අඤ්‌ඤං වා අචලං කාරණං ලභිත්‌වා ඡඩ්‌ඩෙතබ්‌බං.
(ඉඳින් ......කෙදිනක අදිටන් කළ යුතු ද යන මෙය අටුවාවන්හි විචාරණය නොකරන ලදි. ........ චීවරකාලය නොයික්ම විය යුතුය යන මෙය අපගේ අදහසයි. .. කවර හෙයින්ද යත්..... එබැවින් කියූ පරිදි අරුත් ගතයුතුය. නැතහොත් අන්‍ය වූ අචල කාරණාවක් ලැබ අපගේ මතය හැරදැමිය යුතුය.) [1]
2. පහරිත්‌වා නිග්‌ගතෙ අට්‌ඨකථාසු දොසො න දස්‌සිතො. මයං පන යං ඨානං පහටං, තතො සයංපතිතමෙව හොතීති තක්‌කයාම.
(යම් ආහාරයක් නිස්සග්ගිය ක්‍රමයට පිළිගැන්වීමේදී යමක වැදී බැහැරගිය කල්හි එහි දෝෂයක් අටුවාවන්හි නොදක්වන ලදි. අපි වනාහි එය යමක හැපුණේ ද එතැනින් තෙමේම වැටුනේ වේ යැයි තර්ක කරමු.)[2]
3. තස්‌මා යො යො පටිග්‌ගණ්‌හාති, තස්‌ස තස්‌ස තප්‌පච්‌චයා
ආපත්‌තියෙවාති අයමෙත්‌ථ අම්‌හාකං ඛන්‌ති.
(එබැවින් යම් යම් භික්‍ෂුවක් පිළිගනී ද ඒ ඒ භික්‍ෂුවට ඒ හේතුවෙන් ආපත්ති වේ යනු මෙහිලා අපගේ අදහසයි.)[3]
4. අථ ඛො සබ්‌බඅට්‌ඨකථාසු වුත්‌තත්‌තා අට්‌ඨකථාචරියාව එත්‌ථ පමාණං, න අඤ්‌ඤා විචාරණා. පුබ්‌බෙපි ච ආවොචුම්‌හ – ‘‘බුද්‌ධෙන ධම්‌මො විනයො ච වුත්‌තො, යො තස්‌ස පුත්‌තෙහි තථෙව ඤාතො’’තිආදි. අට්‌ඨකථාචරියා හි බුද්‌ධස්‌ස අධිප්‌පායං ජානන්‌ති.
(තවද සියලු අටුවාවන්හි කියූ බැවින් අටුවාචාරීන් වහන්සේලාම මෙහිලා ප්‍රමාණය. අන්‍ය විචාරණයක් ප්‍රාමාණික නොවේ. ග්‍රන්ථාරම්භයේදීම අපි “බුදුරජාණන් වහන්සේ විසින් යම් ධර්මයක් විනයක් වදාරණ ලද්දේද, එය උන්වහන්සේගේ පුත්‍ර වූ අටුවාචාරීන් වහන්සේලා විසින් එයාකාරයෙන්ම දැනගන්නා ලද්දේය” යනාදී වශයෙන් කීවෙමු. අටුවාචාරීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ අදහස දන්නා සේක.) [4]
5. සබ්‌බඅට්‌ඨකථාසු පන වුත්‌තත්‌තා න සක්‌කා පටිසෙධෙතුං. ගවෙසිතබ්‌බා එත්‌ථ යුත්‌ති. අට්‌ඨකථාචරියානං වා සද්‌ධාය ගන්‌තබ්‌බන්‌ති.
(සියලු අටුවාවන්හි කියූ බැවින් ප්‍රතික්‍ෂේප කිරීමට නොහැකිය. මෙහි යුක්තිය සෙවිය යුතුය. තවද අටුවාචාරීන් වහන්සේලාට ශ්‍රද්ධාවෙන් හෝ යායුතුය. (කියූ පරිදි අරුත් ගත යුතුය.) ) [5]
6. සචෙ පන නියමිතොකාසතො අඤ්‌ඤත්‍ර මාරෙති, ආණාපකො මුච්‌චතීති අයං නයො මහාඅට්‌ඨකථායං සුට්‌ඨු දළ්‌හං කත්‌වා වුත්‌තො. තස්‌මා එත්‌ථ න අනාදරියං කාතබ්‌බන්‌ති.
(ඉඳින් නියමිත අවකාශයෙන් අන් තැනකදී මරයි ද අණකරු ඇවතින් මිදේ යන මෙම න්‍යාය මහාට්ඨකථාවෙහි මනාව දැඩි කොට කියන ලදි. එබැවින් මෙහි අනාදරියක් නොකළ යුතුය.)[6]
බුදුගොස් මාහිමිපාණෝ තම අදහස් දැක්වූ අයුරින් හා වෙනත් සුදුසු කරුණක් ලදහොත් එතුමන්ගේ අදහස අත්හරින ලෙස දැක්වීමෙන් එතුමන් තුළ පැවති ධර්ම ගරුත්වය හා නිහතමානිත්වය ප්‍රකට වේ. තවද අටුවාව හා එම සිංහල ඇදුරුවරු කෙරෙහි දැක්වූ ගරුත්වය iv – vi යන උදෘතයන්ගෙන් ප්‍රකට වේ. ඉහත උදෘත සියල්ලම විනය අටුවාවෙනි. සෙසු අටුවාවන්ගෙන් ද මෙබඳු තැන් රාශියක් දැකගත හැකිය. එක් උදාහරණයක් මෙසේ දක්වමු.
7. ඉමෙ පන තයොපි ථෙරා පණ්‌ඩිතා, ‘තිණ්‌ණම්‌පි වාදෙ කාරණං දිස්‌සතී’ති තිණ්‌ණම්‌පි වාදං තන්‌තිං කත්‌වා ඨපයිංසු.
(තිපිටකචූළනාගත්ථෙර, තිපිටක මහාධම්මරක්ඛිත ථෙර, තිපිටකචූළාභයත්ථෙර යන මේ තෙරුන් වහන්සේලා තිදෙනාම මහානුවණැති උතුමෝය. තිදෙනාගේම වාදයෙහි කාරණයක් ඇතැයි තිදෙනාගේම වාදය තන්තිය (පෙළ මෙන්) කොට තැබූහ.)[7]
මෙහිදී “උභතොභාගවිමුත්ත” යන පදය පිළිබඳ ඉහත නම් සඳහන් ඇදුරුපාණන් වහන්සේලා තිදෙනාගේ අදහස් තුනක් දක්වා ඒ කිසිවක් ප්‍රතික්‍ෂේප නොකොට ඒ උතුමන් කෙරෙහි ඉතා ගරුත්වයෙන් කරුණු දක්වා ඇත.
බුදුගොස් හිමියන්ගේ කාර්යය හා ස්වාභාවය තේරුම් ගැනීමට නුවණැත්තෙකුට ඉහත කරුණු ස්වල්පය වුවත් සෑහෙන බැවින් ඒ පිළිබඳ කරුණු දැක්වීම මෙතෙකින් අවසන් කරමු. තවත් කරුණු දැනගනු කැමත්තෝ එතුමන්ගේ ග්‍රන්ථ පරිශීලනය කරත්වා යනු අපගේ ආරාධනයයි.
ප්‍රශ්ණය : එතුමන් වහන්සේ සිංහල අටුවා ගිණිබත් කළා ද?
පිළිතුර: මෙය ද හරිහැටි කරුණු විමසා බැලීමකින් තොරව හුදෙක් බුදුගොස් ඇදුරුපාණන්ගේ හා පුරාණ සිංහළ ඇදුරුවරුන්ගේ ගුණ මැකීමටත් පිරිසිදු බුද්ධ දේශනාවන් විකෘති කොට බුද්ධසාසනය පිරිහෙළවීමට ඉඩ ලබාගැනීමටත් සිදුකරන ඉතාමත් අසත්‍ය වූ ප්‍රකාශයකි. මෙම මතය පැතිරීමේ හේතු හා එහි සත්‍ය අසත්‍ය බව දැන් අපි විමසා බලමු.
මෙම වැරදි මතය හටගැනීමේ එකම හේතුව වන්නේ “බුද්ධඝොසුප්පත්ති” නම් වූ මෑත කාලයේ ලියැවුණු ග්‍රන්ථයක මෙවැනි අසත්‍ය සටහනක් තිබීමයි. එය කටකතා මත පදනම් වූ ග්‍රන්ථයක් මිස ඉතිහාසාදී සාක්‍ෂි මත පදනම් වූවක් නොවන බව ඒ ගැන පරීක්‍ෂණ කළ උගතුන්ගේ ද අදහසයි. මෙම ග්‍රන්ථයට පසු කලෙකදී සියම් රටෙහි දී ලියැවුණු “ජිනකාලමාලි” නම් ග්‍රන්ථයේ ද මෙම “බුද්ධඝොසුප්පත්ති” ග්‍රන්ථයේ ඇති ඇතැම් කරුණු වැරදි බව දක්වා ඇත. එම “බුද්ධඝොසුප්පත්ති” නම් ග්‍රන්ථය හරිහැටි කියවූ කිසිම කෙනෙකු එහි අඩංගු කරුණු සියල්ල නිවැරදි යැයි විශ්වාස නොකරනු ඇත. සිංහළ භික්‍ෂූන් වහන්සේලාගේ කීර්තියට හානි වන ආකාරයේ කරුණු රාශියක් එහි අඩංගු වේ. දැනගැනීම පිණිස එසේ දැක්වූ අසත්‍ය අදහස් කීපයක් මෙසේ දක්වමු.
1. විශුද්ධිමාර්ගය පොත් තුනක් එකම දිනකදී ලියූ බව හා සියලු අටුවා මාස තුනකින් ලියූ බව
මෙය අතිශ්‍යෝක්තියෙන් කියූවක් මිස සත්‍ය නොවන බව බුදුගොස් ඇදුරුපාණන් වහන්සේගේම ප්‍රකාශයන්ගෙන් තහවුරු වේ. “උපද්‌දවාකුලෙ ලොකෙ, නිරුපද්‌දවතො අයං; එකසංවච්‌ඡරෙනෙව, යථා නිට්‌ඨං උපාගතා. (උපද්‍රවයන්ගෙන් ආකුල වූ ලෝකයෙහි උපද්‍රවයන්ගෙන් තොරව මෙය (විනය අටුවාව) යම් සේ එක් වර්ෂයකින්ම නිමාවට ගියේද,)” යැයි විනය අටුවාව ලිවීමට පමණක් අවුරුද්දක් ගතවූ බව විනය අටුවාව අග දක්වා ඇත.
2. උන් වහන්සේ පිණ්ඩපාතයේ වඩින අතර ගස්යට වැටී තිබුණු තල් කොළ අහුලා ගෙනැවිත් අටුවා ලියූ බව
මෙය ද අසත්‍ය ප්‍රකාශයකි. ගස්යට වැටී තිබෙන තල් කොළ වල ලිවීමට නොහැකිය. ලක්දිව සිටි භික්‍ෂූන් වහන්සේලාගෙන් එතුමන්ට අනුග්‍රහයක් නොලැබුණු බව ප්‍රකට කිරීමට මෙන් දක්වා ඇති මෙම කරුණ වැරදිය. එතුමන්ට මෙරට භික්‍ෂූන් වහන්සේලා බොහෝ අනුග්‍රහ කළ බවට බොහෝ සාක්‍ෂි තිබේ. එබැවින් මෙවැනි වැරදි කරුණු නොපිළිගත යුතුය.
3. බුදුගොස් මාහිමියෝ ලක්දිව සංඝරාජ හිමියන්ව මුණගැසුණු බව
මෙම කාලය වනවිට ලක්දිව සංඝරාජ තනතුරක් පැවතියේ නැත. එය ආරම්භ වන්නේ පොළොන්නරු යුගයේ මහපැරකුම් රජුගේ කාලයේදීය. එබැවින් මෙය ද සත්‍ය නොවන ප්‍රකාශයකි.
4. තමාට අටුවා පරිවර්තනය කරන්නට නොලැබුණු බවත් එබැවින් ජිනාලංකාර, ධාතුවංස, බොධිවංස යනග්‍රන්ථ පමණක් ලියාගෙන පැමිණි බවත් බුද්ධදත්ත ආචාර්යන් වහන්සේ පැවසුවේ යැයි දැක්වේ.
නමුත් මෙය වැරදිය. බුද්ධදත්ත ආචාර්යන් වහන්සේ බුද්ධවංස අටුවාව කළ බවත් විනයවිනිච්ඡය, උත්තරවිනිච්ඡය ආදී ග්‍රන්ථ කළ බවත් පැහැදිළිව දක්වා ඇත. තව ද ධාතුවංස, බොධිවංස යන පාළි ග්‍රන්ථ වල කතුවරයා බුද්ධදත්ත ඇදුරුපාණෝ නොවේ. බොධිවංසය උපතිස්ස නම් මාහිමියන් විසින් ද දාඨාවංසය ධර්මකීර්ති මාහිමියන් විසින් ද කළ බව දැක්වේ.
5. බුදුගොස් මාහිමියෝ ලක්දිව සංඝරාජ හිමියන් බැහැදැක උන් වහන්සේ ශිෂ්‍යයන්ට උගන්වන විට පිටුපසින් වාඩි වී සිටි බවත් එක් දිනක් සංඝරාජ හිමි උගන්වන අතර අභිධර්ම පදයක තේරුම නොදැන ශිෂ්‍යයින් පිටත් කර කාමරයකට වී සිතමින් සිටින අතර බුදුගොස් මාහිමි ඒ පදයේ අර්ථය සංඝරාජ හිමිගේ හේත්තු වන ලෑල්ලේ ලියා තැබූ බවත් පසුව එය බුදුගොස් හිමියන් ලියූ බව දැන ශිෂ්‍යයන්ව බුදුගොස් හිමියන්ට භාරදුන් බවත් මෙම “බුද්ධඝොසුප්පත්ති” ග්‍රන්ථයේ දැක්වේ.
නමුත් මෙම කිසිඳු පුවතක් කිසිම පිළිගතහැකි ඉතිහාස ග්‍රන්ථයක දක්වා නොමැත. ඒ වෙනුවට බුද්ධඝෝෂ මාහිමිපාණන් වහන්සේ සිංහළ භික්‍ෂූන් වෙතින් අටුවා උගත් බවත් සිංහළ ඇදුරු වරුන්ව ගුරුතැන්හි ලා සැලකූ බවත් මහාවංශාදී පැරණි වංශකතා වලින් මෙන්ම බුදුගොස් හිමියන්ගේම ග්‍රන්ථ වලින් කියැවේ. විනය අටුවා නිගමන ගාථා වලදී “බුද්ධමිත්ත” නම් තෙරුන් වෙතින් සිංහල අටුවා උගත් බව
“මහාඅට්‌ඨකථඤ්‌චෙව, මහාපච්‌චරිමෙව ච;
කුරුන්‌දිඤ්‌චාති තිස්‌සොපි, සීහළට්‌ඨකථා ඉමා.
බුද්‌ධමිත්‌තොති නාමෙන, විස්‌සුතස්‌ස යසස්‌සිනො;
විනයඤ්‌ඤුස්‌ස ධීරස්‌ස, සුත්‌වා ථෙරස්‌ස සන්‌තිකෙ”
(මහාඅට්ඨකථාව, මහාපච්චරිය හා කුරුන්දි අටුවාව යන සිංහල අටුවා තුනම බුද්ධමිත්ත යන නමින් ප්‍රසිද්ධ වූ කීර්තිමත් වූ විනයධර මහාප්‍රාඥ තෙරුන් වහන්සේගේ සමීපයේ අසා...)
යැයි පැහැදිලිව දක්වා තිබේ. එසේ තිබියදීත් පුරාණ සිංහල ඇදුරුවරුන්ට ද අගෞරව වන අයුරින් අසත්‍ය කරුණු රාශියක් මෙම “බුද්ධඝොසුප්පත්ති” ග්‍රන්ථයේ ඇතුලත්ව ඇත.
කරුණු මෙසේ හෙයින් එම ග්‍රන්ථයේ දැක්වූ බොහෝ කරුණු වැරදි බව මෙසේ නිගමනය කළ හැක. එබැවින් එම “බුද්ධඝොසුප්පත්ති” ග්‍රන්ථයේ පමණක් සඳහන් වන සිංහල අටුවා ගිණිතැබීමේ සිදුවීම ද ඉහත සිදුවීම් සේම අසත්‍යයක් බව මෙසේ නිගමනය කරමු.
මෙම කරුණ හා සම්බන්ධ ජනප්‍රවාදයක් ද පවතී. ඒ මෙසේය: මෙරට මහනුවර ප්‍රදේශයේ උපන් දරුවෙක් කුඩා කලදීම පාන්දර නැගිට පරියංකයෙන් හිඳීමටත් කටපාඩමින් පිරිත් කීමටත් පටන් ගත්තේය. මේ බව දැනගත් ස්වාමින් වහන්සේ නමක් පැමිණ මේ දරුවා සමග සාකච්ඡා කළ අතර එහිදී මෙම දරුවා, තමා පෙර ජීවිතයක බුද්ධඝෝෂ මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වූ බවත් නමින් “අමිතඝොස” වූ බවත් අටුවා පරිවර්තන කාර්යයේදීද උපකාර කළ බවත් පැවසීය. මේ අවස්ථාවේදී “බුද්ධඝෝෂ මාහිමියෝ සිංහල අටුවා ගිණි තැබුවේ යැයි කියන කථාව ඇත්තද?” යැයි විමසා ඇති අතර ඊට පිළිතුරු ලෙස “අපි කවදාවත් ඒ වගේ දෙයක් නම් කරන්නේ නෑ. නමුත් අටුවා පරිවර්තනයට භාවිතා කළ කටුසටහන් ලියූ කොළ නම් ඉවත් කළා” යැයි කීවේය. මෙම සිදුවීම එසේම නම් එසේ කටුසටහන් කොළ ඉවත් කිරීමේ සිදුවීම සිංහල අටුවා ගිණි තැබීමක් ලෙස බුද්ධඝොසුප්පත්ති පොතට ඇතුලත් වීමට හොඳටම අවකාශ තිබේ.
තවද තමාට උපකාරක වූ තමා අතිශයින් ගරු කළ ග්‍රන්ථ විනාශ කිරීමක් වැනි අකටයුත්තක් කිසිසේත්ම බුද්ධඝෝෂ මාහිමියන් වැනි ධර්මවිනයධර ශ්‍රද්ධාබුද්ධි සම්පන්න උතුමෙක් සිහිනෙකින්වත් සිදු නොකරන බව එතුමන්ගේ කෘති විමසිලිමත්ව කියවන්නෙකුට නිතැතින්ම හැඟේ. පාරිභෝගික චෛත්‍ය නම් වන බෝධීන් වහන්සේලා විනාශ කිරීමේ ආදීනව දක්වන එතුමන් වහන්සේ “භාරියං කම්‌මං හොති ආනන්‌තරියසදිසං” (එය ඉතා බැරෑරුම් වූ ආනන්තරිය කර්මයක් හා සමාන වූ කර්මයක් බව) මජ්ඣිමනිකායේ බහුධාතුකසූත්‍ර අටුවාවේ දක්වා ඇත. මෙසේ කරුණු දක්වන එතුමන් වහන්සේ ග්‍රන්ථ විනාශ කිරීමක් වැනි දෙයක් කිසිසේත් නොකරන බව නම් හොඳටම විශ්වාසය. ඒ බවට තවත් සාධක අපි මෙසේ දක්වමු.
1. බුදුගොස් මාහිමියන්ට පසුකාලීන ග්‍රන්ථ වල සිංහල අටුවා ගැන සඳහන් වීම හා ඉන් පසු බොහෝ කලක් යනතුරු සිංහල අටුවා පැවති බව
බුදුගොස් මාහිමියන්ගේ ග්‍රන්ථ රචනාවට බොහෝ කාලයකට පසුව රචනා වූ ග්‍රන්ථ වලට ද සිංහල අටුවාවන්ගෙන් කරුණු උපුටාගැනීමෙන් පෙනී යන්නේ එයින් බොහෝ කාලයක් යන තුරු සිංහල අටුවා ශේෂව තිබුණු බවයි. ඊට උදාහරණ කීපයක් මෙසේ දක්වමු.
- තෙන වුත්තං සීහළට්ඨකථායං ‘‘මනුස්සමංසෙ වා කෙසෙ වා නඛෙ වා අට්ඨිම්හි වා ලොහිතෙ වා ථුල්ලච්චයමෙවා’’ති වුත්තං.
(මිනිස් මසෙහි හෝ කෙස්වල හෝ නියෙහි හෝ ඇටවල හෝ ලෙයෙහි හෝ ථුලැසිම වේයැයි එබැවින් සිංහල අටුවාවෙහි කියන ලදී.)[8]
සුවිසුද්‌ධසමාචාරො, විසුද්‌ධනයමණ්‌ඩිතං;
විසුද්‌ධිමග්‌ගං ලොකස්‌ස, යදච්‌චන්‌තවිසුද්‌ධියා.
අභාසි කරුණාවෙග-සමුස්‌සාහිතමානසො;
මහෙසි විපුලොදාත-විසුද්‌ධිමතිපාටවො.
තස්‌ස අත්‌ථං පකාසෙතුං, කථාමග්‌ගං පුරාතනං;
නිස්‌සාය යා සමාරද්‌ධා, අත්‌ථසංවණ්‌ණනා මයා.
(සුවිසුද්ධසමාචාර ඇත්තා වූ විපුල-සුවිශුද්ධඤාණයකින් හා ප්‍රඥාපාටවයකින් යුක්ත වූ ..... කරුණාවෙන් මනාව උත්සාහවත්වූ සිතක් ඇති මහාර්ශීන් වහන්සේ යම් ... නිවන් මගක් වදාළ සේක් ද එහි අරුත් ප්‍රකාශකිරීම සඳහා පුරාතන අටුවාකතා මාර්ගය ඇසුරු කොට මවිසින් යම් අර්ථ වර්ණනාවක් මනාව ඇරඹී ද..) [9]
- ‘‘සො කිරා’’තිආදි පොරාණට්ඨකථාය ආගතනයො. (‘‘සො කිර” යනාදිය පුරාණ අටුවාවේ පැමිණි ක්‍රමයයි.)[10]
- (ක්‍රි.ව.) 10 වැනි සියවස දක්වා හෙළටුවා පැවති බව පස්වන කාශ්‍යප මහරජුන් විසින් රචිත ධම්පියා අටුවා ගැටපදයෙන් ඉඳුරා ම ඔප්පු වේ. ධම්පියා අටුවා ගැටපදයෙහි මහටුවා යි 5, 80 (පිටු) යන තන්හි ද, හෙළටුවා නැතහොත් හෙළුඅටුවා යි 7, 8, 51, 79, 103, 105, 112 (පිටු) යන තන්හි ද සඳහන් වේ. .............. දොරකවුළු ඇයි පැනෙන තාක් දැව වසා රන්කසුකම් කෙළේ යෙති මහ අටුවායෙහි 121 (පිටුව), ලකුණ්ටකො වදානි කිරස්සනැමි යන හෙළටුවායි 148 (පිටුව)[11]
ධම්පියා අටුවා ගැටපද ආදී ග්‍රන්ථ කියැවීමෙන් මේ පිළිබඳ තවත් කරුණු දැනගත හැකිය. මෙතරම් කරුණු දක්වන්නට යෙදුණේ “බුදුගොස් මාහිමියෝ සිංහල අටුවා ගිණිතැබුවේය” යන කීම බොරුවක් බවත් එතුමන්ගේ කාලයට අවුරුදු 500 කට පමණ පසුවත් සිංහල අටුවා තිබූ බවත් ඔප්පු කිරීමටය. ඒ සඳහා මෙතෙක් දැක්වූ කරුණු ප්‍රමාණවත් යැයි සිතමු.
2. මහාවිහාරීය සිංහල භික්‍ෂූන් වහන්සේලා සිය ජීවිතය මෙන් ගෞරවයෙන් සුරැකි අටුවා එසේ වෙනත් කෙනෙකුන්ට විනාශකිරීමට දීමට ඉඩ දීමට තරම් උන් වහන්සේලා අනුවණ පිරිසක් යැයි නොසිතිය යුතුය. සාසන ප්‍රතිපත්ති අකුරටම පිළිපදින මහාප්‍රාඥ උතුමන් වැඩසිටි යුගයක් වන එකල කිසි ලෙසකින් එවැනි විනාශයකට ඉඩ නොදෙන බව ද සැලකිය යුතුය.
3. තවද බුදුගොස් මාහිමියෝ එසේ කළේ නම් පසුකාලීන සිංහළ භික්‍ෂූහු කිසිසේත් උන් වහන්සේව අගය නොකරනු ඇත. ඒ වෙනුවට සාසන නාශකයෙකු ලෙස සලකා ගර්හා කරනු ඇත. නමුත් සිදුවූයේ අනිකකි. බුදුගොස් මාහිමියන් වහන්සේට “අනුබුදු” යන ගෞරව නාමයෙන් බුහුමන් කළා පමණක් නොව එතුමන්ගේ ග්‍රන්ථ පෙළ මෙන් පිළිගත් බව ග්‍රන්ථයන්හි දැක්වේ. තවද “පරමවිසුද්ධසද්ධාබුද්ධිවිරියපතිමණ්ඩිතෙන” යනාදී ගුණනාම යොදාගෙන උන් වහන්සේට ගෞරව දැක්වූහ. එබැවින් සැවොම ඉහත කරුණු ද විමසා බලත්වා යනු අපගේ ආරාධනයයි.
ප්‍රශ්ණය : ප්‍රතිපත්තිකාමී උතුමන් වැඩසිටි යුගයක් වූ එකළ වෙනත් කෙනෙක් මෙම ග්‍රන්ථ නොලියා බුදුගොස් හිමියන්ටම භාරකලේ ඇයි?
පිළිතුර: යමක් කිරීම සඳහා සුදුසුම කෙනාට පැවරීම සාසන ක්‍රමයයි. ඒ බව මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ කතාප්‍රවෘත්තියෙන් ද ප්‍රකට වේ. ඒ අයුරින්ම මෙම අටුවා පරිවර්තනය සඳහා ද ඉතාම සුදුස්සා බුදුගොස් හිමියන් වූ බව සැලකිය යුතුය. එනිසාම “බුදුගොස් මාහිමි මෙලොව පහළ වූයේ අටුවා පරිවර්තනය කොට සාසනය නගාසිටුවීමටයි” යැයි ද “එකළ වැඩසිටි රහතන් වහන්සේලාගේ හා සක්දෙවිඳුගේ ආරාධනයෙන් සාසනය නගාසිටුවීමට උපන් සේක” යැයි ද ග්‍රන්ථ අතරත් මහජනයා අතරත් දැනුත් කියැවේ, ලියැවේ. එබැවින් මෙම කටයුත්තට ඉතාම සුදුස්සා වූ බැවින් එම කාර්යය එතුමාට පැවරූ බව සැලකිය යුතුය.
ප්‍රශ්ණය : එම ග්‍රන්ථරචනය සඳහා උන් වහන්සේට විශේෂ හැකියාවක් වීද?
පිළිතුර: ග්‍රන්ථරචනයට උන් වහන්සේ සතුව විශේෂ කුසලතාවක් පැවති බවත් එබැවින්ම වෙනත් කිසිඳු ග්‍රන්ථ කතුවරයෙකුට ලබා නොදුන් ආකාරයේ ගෞරවයක් ලබා දෙමින් “පරමවිසුද්ධසද්ධාබුද්ධිවිරියපතිමණ්ඩිතෙන” යනාදී වශයෙන් ගුණනාම රාශියක් එතුමන් වහන්සේගේ සෑම ග්‍රන්ථයක් අගම යොදා ගරුත්වය දැක්වූ බවත් සැලකිය යුතුය. දැනගැනීම පිණිස එම පාඨයේ පරිවර්තනය මෙසේ දක්වමු. (මෙය ගෞරව නාම මහාවිහාරීය මහතෙරවරුන්ගේ අනුමැතියෙන් බුද්ධමිත්ත නම් තෙරුන් වහන්සේ ලියූ බව විසුද්ධිමාර්ග සන්න ආදියේ දැක්වෙන කරුණු වලින් ප්‍රකට වේ.)
∆ පරමවිසුද්‌ධසද්‌ධාබුද්‌ධිවීරියපටිමණ්‌ඩිතෙන; අත්‍යන්තයෙන් පිරිසිදු ශ්‍රද්ධා බුද්ධි වීර්යයෙන් යුක්ත වූවහු විසින්, සීලාචාරජ්‌ජවමද්‌දවාදිගුණසමුදයසමුදිතෙන; ශීලය ආචාරය ඍජුබව මෘදුබව යනාදී ගුණරාශියෙන් පොහොසත් වූවහු විසින්, සකසමයසමයන්‌තරගහනජ්‌ඣොගාහණසමත්‌ථෙන; ස්වසමය පරසමය දැනගැනීමෙහි හා කීමෙහි සමර්ථ වූවහු විසින්, පඤ්‌ඤාවෙය්‍යත්‌තියසමන්‌නාගතෙන; ප්‍රඥාපාටවයෙන් යුක්ත වූවහු විසින්, තිපිටකපරියත්‌තිප්‌පභෙදෙ සාට්‌ඨකථෙ සත්‌ථුසාසනෙ අප්‌පටිහතඤ්‌ඤාණප්‌පභාවෙන; ත්‍රිපිටක පර්යාප්ති ප්‍රභේද ඇති අටුවා සහිත ශාස්තෲ සාසනයෙහි පසුනොබසිනා ප්‍රඥාප්‍රභාව ඇත්තහු විසින්, මහාවෙය්‍යාකරණෙන; මහාව්‍යාකරණඥ වූවහු විසින්, කරණසම්‌පත්‌තිජනිත - සුඛවිනිග්‌ගත - මධුරොදාර - වචනලාවණ්‌ණ -යුත්‌තෙන; කරණසම්පත්තියෙන් උපදවන ලද සුවසේ නික්මෙන මිහිරි උදාර සිත්කලු වචනයන්ගෙන් යුක්ත වූවහු විසින්, යුත්‌තමුත්‌තවාදිනා; යුතු අයුතු බව හා පවත්නා තැනට සුදුසු වදන් ඇත්තහු විසින්, වාදිවරෙන; වාදීන් අතර උතුම් වූවහු විසින්, මහාකවිනා; මහා කවි වූවහු විසින්, පභින්‌නපටිසම්‌භිදා - පරිවාරෙ ඡළභිඤ්‌ඤාදිපභෙද - ගුණපටිමණ්‌ඩිතෙ උත්‌තරිමනුස්‌සධම්‌මෙ සුප්‌පතිට්‌ඨිතබුද්‌ධීනං ථෙරවංසප්‌පදීපානං ථෙරානං මහාවිහාරවාසීනං වංසාලඞ්‌කාරභූතෙන; ප්‍රභේදගත ප්‍රතිසම්භිදා ඥාණ පිරිවර කොට ඇති ෂඩ් අභිඤ්ඤාදී ගුණයන්ගෙන් අලංකාරවත් වූ උතුරු මිනිස් දහම්හි ප්‍රතිවේධ වශයෙන් මනාව පිහිටි බුද්ධි ඇති ථේරවාදී ආචාර්ය පරම්පරාවට ප්‍රදීප බඳු වූ මහාවිහාරවාසී අටුවාකාරාදී තෙරුන් වහන්සේලාගේ පරම්පරාවට ආභරණයක් බඳු වූවහු විසින්, විපුලවිසුද්‌ධබුද්‌ධිනා; මහත් පිරිසිදු බුද්ධි ඇත්තහු විසින්, බුද්‌ධඝොසොති ගරූහි ගහිතනාමධෙය්‍යෙන ථෙරෙන; (අප විසින් නම් කිව නොහැකි ගුරු බැවින්) එතුමන්ගේ ගුරුවරුන් විසින් “බුද්ධඝොස” යැයි කියන ලද නම් ඇති තෙරුන් විසින්, කතා අයං සමන්‌තපාසාදිකා නාම විනයසංවණ්‌ණනා; කරන ලද්දා වූ මේ සමන්තපාසාදිකා නම් වූ විනය සංවර්ණනාවයි.