එතුමන් වහන්සේගේ හැකියාව ගැන නූතන ග්‍රන්ථ කර්‍තෘවරුන්ගේ අදහස්

∆ අටුවා පොත් වලින් අඩකටත් වඩා සපයා ඇත්තේ බුද්ධඝොස හිමියන් විසින් බව මේ ලේඛනයෙන් (අටුවා රචනාකල ඇදුරුවරුන්ගේ නාමලේඛනයෙන්) පෙනී යයි. එතුමා බෞද්ධ අට්ඨකථාචාරීන් අතුරෙන් ශ්‍රේෂ්ඨතමයා යයි අවිවාදයෙන් පිළිගත හැකිය. ඒ හේතුවෙන් ම ඔහුගේ ජීවන චරිතය වටා ගෙතුණු ජනප්‍රවාද රාශියක් ද වේ. එතුමා මෙලොව පහළ වූයේ බුදුන්ගේ පර්යාප්ති ශාසනය දීර්ඝ කාලයක් නිර්මලව පවත්වාගෙන යාම සඳහා පාලි අටුවා ලිවීම පිණිසය යන ජනප්‍රවාදයක් අද පවා මෙරට පවතී.[1]

∆ ත්‍රිපිටකය සඳහා අර්ථකථන සම්පාදනයට යෝග්‍ය තත්වයට පත්වීමට අපරිමිත ශාස්ත්‍රීය මෙහෙවරක් මැනවින් ඉටුකළ යුතුය. එනම්, අර්ථකථාචාර්යවරයකු බවට පත්වීම ඉතා දුෂ්කර කර්තව්‍යයකි. ත්‍රිපිටකයෙහි එක් ග්‍රන්ථයක් සඳහා අටුවා සැපයීම, එකී කෘතිය පිළිබඳ පමණක් ලද පරිචයෙන් නො කළ හැක්කකි. ඒ සඳහා සමස්ත ත්‍රිපිටකයම සාවධානව, විවේක බුද්ධියෙන් අවිනිර්මුක්තව අධ්‍යයනයට ලක් කළ යුතුය. එහි විවිධ ස්ථානයන්හි විද්‍යමාන වන සියුම් අරුත් සිය නැණින් පිළිවිදිය යුතුය. එමතු නොව ත්‍රිපිටකයට පරිබාහිරව නොයෙක් භාෂාන්තර, සමයාන්තර විශේෂඥතාව ද අට්ඨකථාකරුවා අත්‍යවශ්‍යයෙන් ස්වීකරණය කොටගත යුතුය. අට්ඨකථාකරණය එක් අතෙකින් කාව්‍ය නිර්මාණීකරණයට සම වෙයි. කවියා සතුව ෂෝඩශ ඥානයක් වියයුතු යැයි පෙරදිග මතයයි. ඒ ඥානය අටුවාචාරීන් වහන්සේ කෙරෙහි ද වූ බවට පාලි අට්ඨකථා සඤ්චයම පැහැදිලි නිදර්ශන සපයයි. පාලි අට්ඨකථා සම්පාදනය මගින් අටුවාචාරීන් වහන්සේ වෙතින් සිදු වූ කාර්යභාරය හඳුනා ගැනීමට එහිම දක්නට ලැබෙන අසම්භින්නපද, අභින්නකපද යන ප්‍රයෝගයන් (ත්‍රිපිටකයේ එක් තැනක පමණක් යෙදෙන ප්‍රයෝග) පිළිබඳ අවධානය යොමු කිරීම ම ප්‍රමාණවත්ය. මන්ද යත් එයින් උන්වහන්සේ කෙරෙහි වූ ත්‍රිපිටකාගත ධර්ම ඥානයෙහි සුවිශාරදත්වය ප්‍රකට වන හෙයිනි. අසම්භින්නපද යන්නෙහි අර්ථය ත්‍රිපිටකයෙහි එකම ස්ථානයක පමණක් දක්නට ලැබෙන වචනය යන්නයි. ඉතා පෘථුල සාහිත්‍යයක් වන පාලි ත්‍රිපිටකයෙහි එකම සූත්‍රය විවිධ තන්හි ද එකම භාෂා ප්‍රයෝග, පද බොහෝ තන්හි ද විස්තෘතව ඇත. මේ අතුරින් එක් ස්ථානයක පමණක් යෙදෙන විශේෂ අදහසක් හෝ යෙදුමක් වෙන් කොට ගැනීම සුදුෂ්කර කාර්යභාරයකි. නිදසුනක් ලෙස........ සංයුක්ත නිකායෙහිම පැණෙන සම්මසන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ නිවැරදි මෙනෙහි කිරීම පිළිබඳ අනඳ හිමියන් අමතා කරුණු පැහැදිලි කරති. එහි දී බුදුරදුන් අනඳ හිමියන් අමතන්නේ බහු වචනයෙනි. (තෙනහානන්ද සුනාථ). මෙසේ බුදුරදුන් එක් පුද්ගලයකු බහු වචනයෙන් ආමන්ත්‍රණය කළ එකම අවස්ථාව මෙය පමණක් යැයි බුද්ධඝෝස පාදයෝ අවධාරණය කරති. (ඉදං තෙපිටකෙ බුද්ධවචනෙ අභින්නකං පදං. අඤ්ඤත්ථ හි එවං වුත්තං නාම නත්ථි). මෙයින් පැහැදිලි වන්නේ අර්ථකථාචාර්යවරුන් පාලි ත්‍රිපිටකය පිළිබඳ සුවිශාරදත්වයකින් යුක්තව අට්ඨකථාකරණය ඉතා වගකීමෙන් හා විවේක බුද්ධියෙන් සිදුකරන ලද්දක් බවයි. ඉහත දැක්වූ අයුරින් සිංහනාද පැවැත්වීමට පුද්ගලයකු විසින් පරිපූර්ණ කළ යුතු ශාස්ත්‍රීය කාර්යභාරය අප්‍රමේය එකක් විය යුතුය.[2]

∆ අදාළ අධ්‍යයන ක්ෂේත්‍රයෙහි වූ පරිචය සම්බන්ධයෙන් විමසන විට අර්ථකථාචාර්යවරුන්ගේ කාර්යභාරය අප්‍රමේය වූවක් බව පැහැදිලි වේ. ....... ත්‍රිපිටකයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් නිර්භීත ලෙස අත්තනො මතියක් විද්වත් ලෝකය හමුවේ ගෙනහැර පෑමේ ශක්‍යතාව අර්ථකථාචාර්යවරුන් විසින් ස්වීකරණය කොට ගන්නා ලද්දේ ද බුද්ධ ධර්මය සම්බන්ධයෙන් වූ සුවිචක්ෂණ ප්‍රතිභාණයෙහි ප්‍රතිඵලයක් වශයෙනි.[3]

අටුවා හා එම ඇදුරුවරුන් පිළිබඳ හරිහැටි කරුණු නොදැනීම නිසා බොහෝ වැරදි විවේචන සිදුකිරීම වෙන කවදාටත් වඩා මෙකළ දක්නට ලැබේ. බොහෝ දෙනා එසේ කරන්නේ ඒවා කියැවීම තබා ඒවා දකින්නේවත් නැතිවය. එයින් බොහෝ දෙනා පිරිසිදු ධර්ම මාර්ගයෙන් ඉවත්වීමට හේතු වන බැවින් අපි මෙසේ කරුණු දැක්වීමු. නුවණැත්තන්ට මෙතෙක් ප්‍රමාණවත් වේ යැයි සිතමු. විස්තර දැනගනු කැමැත්තෝ අටුවා - ටීකා - පැරණි වංශකථා හා ඒ ඇසුරින් ලියැවුණු විශ්වාසනීය ග්‍රන්ථ කියවා බලත්වා යනු අපගේ ආරාධනයයි.

  1. පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය (2013) (ආචාර්ය ඊ.ඩබ්.අදිකාරම්) 3වන පිටුව

  2. ථෙරවාදී අර්ථකථන සිද්ධාන්ත (කථිකාචාර්ය අරුණ කේ. ගමගේ) 46-48 පිටු

  3. ථෙරවාදී අර්ථකථන සිද්ධාන්ත (කථිකාචාර්ය අරුණ කේ. ගමගේ) 290-291 පිටු