එතුමන් ගැන අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ දැක්වූ අදහස

බුද්ධඝෝෂ ආචාරීන් වහන්සේ ත්‍රිපිටකධාරීව අට්ඨකථාධාරීව ඉන්න වෙලාවේ සතර බණවරට අට්ඨකථාවක් ලියුවලු. ඊලඟට අභිධර්මයේ අත්ථසාලිනියටත් අට්ඨකථාවක් ලියුවලු, ඒ කියන්නේ උන් වහන්සේගේ අවබෝධයෙන්, කලින් තිබුණු අට්ඨකථා අනුව. ඊට පස්සෙ රේවත කියන ආචාර්යන් වහන්සේ කීවලු ඕක ඔහොම කරලා බැහැ, අපේ දඹදිව අට්ඨකථා සියල්ල අසම්පූර්ණයි, ලංකාවෙ තියෙනවා. ඒක ගැන කියනකොට කියනවා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද අට්ඨකථාව සංගායනා තුනේදීම සංගීති වුනා. ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ ඒක ගෙනල්ලා ඉගැන්නුවා. ඒක හෙළ අටුවා වශයෙන් දැන් තියනවා. ඒක පාළි භාෂාවට හරවලා ලියාගෙන එන්න කීවා. .....

ඒ ස්වාමින් වහන්සේලා මහාවිහාරයට වෙලා සංඝයාගේ අවසර පරිද්දෙන් ඉස්සෙල්ලාම හෙළ බස සම්පූර්ණයෙන්ම පුහුණු කළා. හෙළබස පුහුණු කරගෙන සංඝසභාවෙන් අවසර ඉල්ලුවා අපේ ආචාර්යන් වහන්සේගේ අවසරය පරිද්දෙන් අපි ආවෙ මේ වැඩයටයි. අපිට අවසර දෙනව නම් හෙළ අටුවා පාළිභාෂාවට පරිවර්තනය කරන්න පුළුවනි කියලා. පස්සෙ සංඝසභාවත් ප්‍රධාන නායක ස්වාමින් වහන්සේත් කියලා තියෙනවා, “එසේ නම් ඔබේ දැනුම අපි පරීක්‍ෂා කරන්න ඕනෙ” කියලා. ඒ සඳහා මුළු ත්‍රිපිටකයම සම්බන්ධ කොට පරිකථාවක් ලියන්න දුන්නා ගාථා දෙකක්. “සීලෙ පතිට්ඨාය” කියන එකත් ඊට මුළින් තියෙන “අන්තොජටා බහිජටා” කියන දේවපුත්ත සංයුක්තයේ තියෙන ගාථා. ඒක තමයි විශුද්ධිමාර්ගය හැටියට උන්වහන්සේ ලීවෙ, සම්පූර්ණයෙන්ම සීල - සමාධි- ප්‍රඥාව සම්පූර්ණ විවරණය කරමින් මුළු ත්‍රිපිටක අට්ඨකථාවටම තියෙන අර්ථ සාරාංශය එකතු කළා. ඉතිං උන්වහන්සේගේ දක්‍ෂතාව සුදුසුතාව පෙන්වන්න දේවතාවො තමයි ඒක අතුරුදන් කළේ. ආයෙමත් ලීවා. ආයෙමත් අතුරුදන් වුනා. තුන්වෙනි එක ලියලා ඉවර වෙන කොට (පොත්) තුනම එක ලඟ තිබුනා. පස්සෙ එ්ක සංඝයාට ඉදිරිපත් කළා. කියවලා බැලුවම (පොත්) තුනේම එක අකුරකවත් වෙනසක් නෑ. ඒකෙන් ඒ ස්වාමින් වහන්සේගේ තියෙන සතිය ධාරණ ශක්තිය හොඳින් තේරුම් ගත්තා. ඊලඟට ව්‍යාකරණ කුශලතා පුදුමයි. .....

උන්වහන්සේ දිග විස්තරයක් කෙටියෙන් කියනවා. බොහොම ලස්සනට පද සම්බන්ධතාව ඇති කරනවා. ඒක නිසා ඒක කියෙවුවයින් පස්සෙ සංඝ සභාව කීවලු “මේ බුද්ධ සාසනය පවත්වාගෙන යන්න මෛත්‍රී බෝසතුන් වහන්සේ වෙන්න ඇති මේ බුද්ධඝෝෂ ආචාර්යන් වහන්සේ විදියට ආවෙ” කියලා. සමහර විට මෙහෙම එකක් තියෙනවා, වෙන කෙනෙක් එක අකුරක් ලියන විට උන් වහන්සේට වචන අටක් ලියන්න පුළුවන්. ඒ තරම් චිත්ත සන්තතිය වේගයෙන් ක්‍රියා කරනවා, ජවන් වීථි, කිසි අකුරක් වරදින්නේ නැතිව. ඉතිං ඒ නිසා තමයි මුළු විනය පිටකයට (අටුවා) ලියුවා. අභිධර්ම පිටකයට (අටුවා) ලීවා. සඟි පහෙන් සඟි හතරකටම උන් වහන්සේ අටුවා ලීවා. ඛුද්දක නිකායේ පොත් පහළවෙන් වැඩි හරියකට උන් වහන්සේ අටුවා ලීවා. .....

පරිවර්තනයේදී හැම අට්ඨකථාවකම මුළිනුයි අගිනුයි ප්‍රතිඥාවක් දෙනව, “බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද, ආචාර්ය පරම්පරාවෙන් ගෙන එන ලද, ලංකාවේ හෙළ බසින් භාවිතා කරන ලද අට්ඨකථා මහාවිහාරවාසී සංඝයාගේ අනුමැතිය පරිද්දෙන් ඒ වාචනා මාර්ගය ඉක්මවා නොගොස් මේක මම පරිවර්තනය කළා” කියල බොහොම ලස්සනට ඒ ප්‍රතිඥාව දීල තමයි උන් වහන්සේ පරිවර්තනය කරන්නේ. අතිරේක දෙයක් ලියන්නේ නෑ, ලියනව නම් ඒක සටහන් කරනව. ඒ කාලෙ තිබුනනේ අභයගිරි නිකායෙ ජේතවන නිකායෙ යම් යම් අදහස්, ඒවා සමහර තැනක උන් වහන්සේ කෙටියෙන් සටහන් කරනවා, “අඤ්ඤෙ වදන්ති, කෙචි වදන්ති, අපරෙ වදන්ති” අන්න ඒ වගේ වචන වලින්. යම් කාරණයකට තමන්ගේ අදහසක් දක්වනව නම් “අයං අම්හාකං ඛන්ති” (මේ අපේ කැමැත්තයි) කියල කියනවා.[1]

ඉහත ප්‍රකාශ අනුව පෙනී යන්නේ පාළි අටුවා රචනයෙන් පසු යුගයේ සිටි ග්‍රන්ථ රචනා කළ සිංහල උතුමන් වහන්සේලා සෑම සියලු දෙනාම පාහේ එම පාළි අටුවා අතිශය සම්භාවනාවට ලක් කළා පමණක් නොව බුද්ධඝෝෂ ආචාර්යන් වහන්සේව ආචාර්යත්වයෙහි ලා සැලකූ බවයි. කරුණු මෙසේ හෙයින් යමෙක් බුද්ධඝෝෂ ආචාර්යන් වහන්සේට දෝෂාරෝපනය කරන්නේ නම් හෙතෙම පැරණි සිංහල ඇදුරුවරුන්ට පහර ගසන්නේ වෙයි. මෙම ග්‍රන්ථ රචනා නිසා අප රටටත් සිංහල පැරණි උතුමන්ටත් ලැබුණු කීර්තිය වැනසීමට කටයුතු කරන්නේ වෙයි. බුද්ධසාසනයත් සිංහළ සංස්කෘතියත් වැනසීමට මාන බලන අහිතයින්ට අනුබල දෙන්නේ වෙයි. අපගේ උරුමයන් හෑල්ලුවට ලක් කරන්නේ වෙයි. එබැවින් යමක් ප්‍රකාශ කිරීමට පෙර සිය දහස් වරක් සිතා බලා ප්‍රකාශ කරත්වා යැයි අපි කරුණාවෙන් ඉල්ලා සිටිමු.

බුද්ධඝෝෂ ආචාර්යන් වහන්සේ මහාවිහාරීය සම්ප්‍රදායටත් පුරාණ සිංහළ ඇදුරුවරුන්ටත් ගරුකළ අයුරු තේරුම් ගැනීමට පහත කරුණු ද කියවා බලත්වා.

  1. අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපානන් වහන්සේ විසින් 2010.6.12 දින නාඋයන

    ආරණ්‍යයේදී පැවැත්වූ සාකච්ඡාවක් ඇසුරින්