ලක්දිවදී සිදුකළ සාසන මෙහෙවර

මෙරටට සපැමිණි එතුමෝ මහාවිහාරවාසී මහාසංඝරත්නය වෙතින් පිරිසිදු ථේරවාදය අටුවා සහිතව හදාරා අටුවා පරිවර්තනයට අවසර ඉල්ලූ අවස්ථාවේදී එතුමන්ගේ හැකියාව විමසීමට සංයුක්ත නිකායේ සඳහන් “අන්තො ජටා” ආදී ගාථා දෙක ලබාදුන් අතර ඒවා විස්තර කරමින් මුළු ත්‍රිපිටකයේම හා එහි අර්ථ සම්පිණ්ඩනය කරමින් අනුපිළිවෙලින් නිවන් මග දක්වමින් අමෘත ආකරයක් බඳු “විශුද්ධිමාර්ගය” රචනා කළ සේක. පිරිසිදු ථේරවාදී බුදුසසුන චිරකාලයක් පැවැත්වීමට සමත් කටයුත්තක් කරන ලදැයි කියන්නාක් මෙන් මහපොළොව කම්පාවෙමින් සාධුකාර දුන් බව මහාවංශාදී ඉතිහාස ග්‍රන්ථයන්හි දැක්වේ. මෙතුමන්ගේ අසහාය පාණ්ඩිත්වය දුටු මහාවිහාරවාසී මහසඟරුවන “මේ නම් නිසැකවම මෛත්‍රී බෝසතාණන් වහන්සේයි” යනුවෙන් තුති පුදා තම දිවි දෙවෙනි කොට සුරැකි අටුවා ග්‍රන්ථ පරිවර්තනය සඳහා බුදුගොස් හිමියන්ට ලබා දුන් සේක. බුද්ධඝෝෂ ඇදුරුපාණන් වහන්සේ සියලු අභිධර්මපිටක අටුවා ද විනයපිටක අටුවා ද සූත්‍ර පිටකයේ මුල් නිකාය හතරේ සියලු අටුවා ද ඛුද්දක නිකායේ සූත්‍රනිපාතාදී ග්‍රන්ථ කිහිපයක අටුවා ද පාළි භාෂාවට නගමින් මහත් සාසන අනුග්‍රහයක් සිදුකළ සේක. ඉන් පසු එතුමෝ ආපසු දඹදිවට වැඩම කළ බව දැක්වේ. එතුමෝ මෙම අටුවා පරිවර්තනයෙන් ලක්දිව දඹදිව පමණක් නොව මුළු පෘථුවි තලය පුරාම සිංහල අටුවාවන්ගේ වටිනාකම ප්‍රකට කරවා පුරාණ සිංහල මහරහතන් වහන්සේලාගේ ශ්‍රී නාමයන් ලොව පුරා ප්‍රකට කරවා සිංහල දීපයේ තේජස ලොවට කියා පෑ සේක. දැනටත් ඇතැම් තායි භික්ෂූන් වහන්සේලා ලක්දිව දෙසට හිස දමා ගරුකොට සැතපෙන බව ද බුරුමජාතික භික්ෂූන් වහන්සේලා මෙම ලක්දිව ඉපදීමට පතන බව ද අසන්නට ලැබේ. මෙම ගරුත්වය අපට ලැබුනේ බුද්ධඝෝෂ ඇදුරුපාණන් වහන්සේ විසින් අටුවා පාළියට පරිවර්තනය කළ නිසා බව සැලකිය යුතුය.