ලක්දිවට වැඩමකිරීමට පෙර අවදිය

බුද්ධඝෝෂ මාහිමිපාණන් වහන්සේගේ උත්පත්තිය ආදී කරුණු මහාවංශ, සාසනවංශ ආදී ග්‍රන්ථයන්හි දැක්වේ. එම කරුණු වල සාරාංශයක් අපි මෙසේ දක්වමු.

බුද්ධඝෝෂ මාහිමිපාණන් වහන්සේ ඉන්දියාවේ බ්‍රාහ්මණ පවුලක උත්පත්තිය ලැබූ බවත් කුඩා අවදියේදීම ත්‍රිවේදයේ පරතෙරට පැමිණි බවත් කුඩා කාලයේ පටන්ම විශේෂ බුද්ධිප්‍රභාවක් පෙන්නුම් කල බවත් එම පුවත දක්වන සෑම ඉතිහාස ග්‍රන්ථයකම පාහේ දක්වා ඇත. එකල දඹදිව වැඩසිටි අභිඤ්ඤාලාභී රහතන් වහන්සේලාගේ හා සක් දෙව් රජතුමාගේ ඉල්ලීම පරිදි දිව්‍ය ලෝකයෙන් චුතව මෙලොව උප්පත්තිය ලැබූ බව බුරුම සාසනවංශය ආදී ග්‍රන්ථයන්හි දක්වා ඇත. රේවත නම් තෙරුන් වහන්සේ එතුමන්ගේ උපාධ්‍යායන් වහන්සේ බව මහාවංශයේ දැක්වෙන අතර බුරුම සාසනවංශාදියේ නමක් නොදක්වා අභිඤ්ඤාලාභී රහතන් වහන්සේ නමක් බව පමණක් දක්වා ඇත. දඹදිවදීම ඉතා කෙටි කලකින් ත්‍රිපිටකට කටපාඩම් කළ බවත් ඉන් පසු උපාධ්‍යායන් වහන්සේගේ ඉල්ලීම පරිදි අටුවා පරිවර්තනයට ලක්දිවට වැඩම කල බව මහාවංශයේ දැක්වෙන අතර මහාසංඝරත්නයේ ඉල්ලීම පරිදි වැඩම කල බව ඇතැම් ග්‍රන්ථයන්හි දැක්වේ. ඒ අනුව උපාධ්‍යායන් වහන්සේ ප්‍රධාන මහාසංඝරත්නයේ ඉල්ලීම පරිදි වැඩම කල බව සිතිය හැකිය.

එසේ වැඩම කරන අතරතුර බුද්ධවංශ අටුවාව පාළියට පරිවර්තනය කළ බුද්ධදත්ත ඇදුරුපාණන් වහන්සේව අතරමගදී මුණගැසුන බවත් දෙදෙනාගේ සාකච්ඡාවෙන් පසු බුද්ධඝෝෂ මාහිමිපාණන් වහන්සේගේ ප්‍රඥාප්‍රභාව හැඳිනගෙන පරමදිලිඳු තැනැත්තෙකුට රතනාකරයක් ලැබුනාක් මෙන් බුද්ධදත්ත ඇදුරුපාණන් වහන්සේ සතුටු වූ බවත් අප රටට මහත් කීර්තියක් එක් කළා වූ ද සාරිපුත්ත සංඝරාජයන් වහන්සේගේ ශිෂ්‍ය වූ විනයවිනිශ්චය ටීකාව රචනාකළා වූ වාචිස්සර ඇදුරුපාණන් වහන්සේ දක්වන සේක. මෙසේ බුද්ධඝෝෂ ඇදුරුපාණන් වහන්සේ දෙස්විදෙස් පඬිවරුන්ගේ කීර්තියට ලක් වූ අයුරු පැහැදිලිය.