එතුමන්ට කරන දෝෂාරෝපන හා ඒවාට පිළිතුරු

ප්‍රශ්ණය : එතුමන් වහන්සේ තමාගේ මත අටුවාවන්ට එකතු කළා ද?

පිළිතුර: එතුමන් වහන්සේ තමන්ගේ අදහස් අටුවා මත ලෙස ඇතුලත් කළැයි යමෙක් කියතොත් ඒ කියන්නේ අටුවා හරිහැටි කියවා නොමැතිකම නිසාය. අටුවාවක ආචරිය මත කීපයක් දක්වන විට එයින් ගතයුත්තේ කුමක්ද යනාදී න්‍යායන් අටුවාවේම දක්වා ඇත. ඒ පිළිබඳ අපි ඉදිරියේදී දක්වමු. එම න්‍යායන් නොදන්නෝ අටුවාව පරිහරණය කරන අයුරු නොදැන අටුවාවන්ටත් අටුවා ඇදුරුවරුන්ටත් දොස් නගති. බුද්ධඝෝෂ ඇදුරුපාණන් වහන්සේ කිසිවිටෙක පුරාණ අටුවා මතය යට කොට තම මතය ඉස්මතු කිරීමට උත්සාහ නොගත් අතර පුරාණ අටුවා මත ද අතීතයේ වැඩසිටි ශ්‍රේෂ්ඨ සිංහල මහරහතන් වහන්සේලාගේ මත ද අතිශය ගරුත්වයෙන් පිළිගත් බව අටුවා පරිශීලනයේදී දත හැකිය. යම් මතයක් පිළිගැනීමට හෝ බැහැරකිරීමට උන්වහන්සේට ස්වාධීන බලයක් ලබා නොදුන් බවත් මහාවිහාරීය මහරහත් පරපුරේ අධීක්ෂණය යටතේ පුරාණ අටුවාවන්ගේ විනිශ්චයන් කිසිම වෙනසක් නොකර ඒ කරුණු පැහැදිලි කිරීම සඳහා අමතර කථා වස්තු හා වියරණ දක්වමින් සුදුසු පරිදි කරුණු සංග්‍රහ කරමින් පරිවර්තනයක් පමණක් කළ බව එතුමන් වහන්සේම විනය අටුවාදිය ආරම්භයේදීම දක්වා ඇත. එසේ අර්ථ වෙනස් කිරීමාදියක් උන් වහන්සේ සිදු කළේ යැයි යමෙක් කියන්නේ නම් එයින් පහර වදින්නේ උන් වහන්සේට වඩා ඒ ග්‍රන්ථ හිස් මුදුනින් පිළිගත් සිංහල භික්ෂූන් වහන්සේලාටයි. එකළ වැඩසිටි මහතෙරවරු යමෙක් කියන කියන සියල්ල පිළිගන්නා නූගතුන් හෝ අණුවණයින් යැයි නොසිතිය යුතුය. පටිසම්භිදාලාභී උතුමන් පහළවන යුගයේ මෙම අටුවා පරිවර්තනය සිදුවූ බව ද සිතිය යුතුය.

යම් විදියකින් එසේ වෙනස් මත අටුවාවන්ට එකතු කළා නම් එකළ හා ඉන් පසු කළ වැඩසිටි ශ්‍රේෂ්ඨ සිංහල මහතෙරුන් වහන්සේලා නිහඬ නොවන්නාහුමය. ඊට විරුද්ධව නිසැකවම කරුණු දක්වන්නාහුමය. නමුත් සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. එම පාළි අටුවා ග්‍රන්ථ පෙළ පොත් මෙන් පිළිගනිමින් ඒවා මුල් කරගෙන ඒවාට සම්භාවනා කිරීම් වශයෙන් විවිධ ටීකා, අනුටීකා, සන්න, ගැටපද ග්‍රන්ථ මහාරාශියක් ශ්‍රේෂ්ඨ සිංහල බුද්ධපුත්‍රයින් වහන්සේලා අතින් ලියැවිණි. එපමණක් නොව බුද්ධඝෝෂ මාහිමියන් වහන්සේට නොයෙක් අයුරින් තුති කරමින් ගරුත්වය දැක්වූහ, තමන්ගේ ආචාර්යත්වයෙහි ලා සැලකූහ. ඊට උදාහරණ කීපයක් අපි මෙසේ දක්වමු.