හැඳින්වීම.

“මනුස‍්සලාභං ලද‍්ධාන සද‍්ධම‍්මෙ සුප‍්පවෙදිතෙ

යෙ ඛණං නාධිගච‍්ඡන‍්ති අතිනාමෙන‍්ති තෙ ඛණං”

(අංගුත්තරනිකාය අක්ඛණ සූත්‍රය)

ඉහත බුදුවදනේ සඳහන් පරිදි අතිදුර්ලභ බුද්ධෝත්පාද කාලයක්, උතුම් මිනිසත්බවක් හා පිරිසිදු ශ්‍රී සද්ධර්මය පවතින කාලයක් එමෙන්ම නිවැරදි ප්‍රතිපත්තියේ යෙදෙන හා ඉන් ප්‍රතිඵල ලබන සත්පුරුෂයන් සිටින කාලයක් යන මේ අති දුර්ලභ කරුණු ඒකරාශී වූ ඉතාම වටිනා අවස්ථාවක් අපට ලැබී ඇත. මෙම පරම දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සෑම දෙනාටම අවස්ථාව නො ලැබෙන්නේය. ඒ අවස්ථාව ලැබෙන්නේ ශ්‍රද්ධා - ප්‍රඥාදී යහ ගුණයන්ගෙන් යුතු නුවණැති උතුමන්ට පමණි.

ඇතැම්හු මෙතරම් ලාභයක් ලැබී තිබියදීත් භාවනා ක්‍රමයන්ගේ ඇති වැරදි සොයමින් ද ධර්ම ග්‍රන්ථයන්ගේ වැරදි අඩුපාඩු සොයමින් හා ඒවා නුසුදුසු පරිදි විවේචනය කරමින් ද අන්‍යයන්ටද තමාගේ වැරදි මත දක්වමින් අනුන්ගේ නිවන් මාර්ගයටද බාධා කරමින් බොහෝ අකුසල් සිදුකර ගෙන දුගතිගාමී වෙත්. මෙසේ පිරිසිදු බුද්ධ දේශනාවන් විකෘති කිරීම, ඒ නිවැරදි දහම් ග්‍රන්ථ ගැන අන්‍යයන් අපැහැදවීම හා එම ධර්මග්‍රන්ථ මත පදනම් වූ භාවනාක්‍රම අනිසි ලෙස විවේචනය කිරීම මේ යුගයේ බහුල බැවින් නුවණැතියන්ගේ දැනගැනීම පිණිස මෙම කරුණු දැක්වීම සිදු කරන්නෙමු.

බුදුරජාණන් වහන්සේ කෙනෙකුන්ට වුවද සියලු දෙනාවම නිවැරදි කළ නොහැකි බව අපි දනිමු. මහාරජක්ඛ, මුදින්ද්‍රිය, දුවාකාර, දුවිඤ්ඤාපය ආදී නුගුණ වලින් යුත් අය ද ලෝකයේ සිටින බව භාග්‍යවතුන් වහන්සේ දැන වදාළ සේක. එබැවින් අපගේ මෙම උත්සාහය ද සෑම දෙනාටම කරුණු අවබෝධ කරවීමට නොව, ප්‍රධානවම මෙය අවස්ථාවක් කරගනිමින් අපගේ නිවන් ගමනට හේතු සපුරා ගැනීමත්, නුවණැති පිරිසට කරුණු දැන නිවැරදි වීමට අවස්ථාවක් ලබාදීමත්, අපට හැකි අයුරින් සාසනයට දිරිදීමත් පිණිසය. මෙහි බොහෝ සෙයින් පැරණි ග්‍රන්ථයන්ගෙන් හා ශ්‍රේෂ්ඨ උතුමන්ගේ ප්‍රකාශයන්ගෙන් උදෘත දැක්වීමු. සුදුසු පරිදි අපගේ අදහස් ද දැක්වීමු. අපට ඇතිවූ බොහෝ විනය ගැටළු නිරාකරණය කරගැනීමට අතිශයින් උපකාර වූ “විමතිවිනෝදනී” ටීකාවේ නාමයෙන් කොටසකුත් ගෙන “විමති - සැක සිඳදමන්නා වූ ග්‍රන්ථ මාලාව” යන අර්ථයෙන් මෙම ග්‍රන්ථ මාලාවට “විමතිවිච්ඡේදනී” යැයි නම යෙදීමු.

පුරාණයේ වැඩසිටි ශ්‍රේෂ්ට උතුමන් වහන්සේලා බැමිණිතියා සාය වැනි අති දුෂ්කර අවදි වලදී වැටකේ යුෂ, මී පොතු, මානෙල් දඬු ආදිය වළඳමින්, ක්‍ෂීණාශ්‍රව බැවින් තමාට දහමින් ලැබිය යුතු තවත් දේ නැතත් භාණ්ඩාගාරික පරියත්ති වශයෙන් මේ දහම සුරැකි සේක. ඒ ක්‍ෂීණාශ්‍රව උතුමන් විසින් මේ නිවැරදි දහමත් එහි නිවැරදි අර්ථයත් රැකගැනීමට ගත් වෙහෙස සිහි කරමින්, ඒ උතුමන් අනුව යමින්, නිවැරදි ශ්‍රී සද්ධර්මය, එහි නිවැරදි අර්ථ හා නිවැරදි භාවනා මාර්ග හඳුනාගනිමින් සීල-සමාධි-ප්‍රඥා ගුණධර්ම සපුරා ඉක්මණින්ම නිවන් අවබෝධය පිණිස සියලුම සත්වයින්ට අපගේ මෙම කුඩා ව්‍යායාමයද හේතු උපනිශ්‍රය වේවා යනු අපගේ මෛත්‍රී සහගත ප්‍රාර්ථනාවයි.

මෙබඳු කාර්යයක් සිදු කිරීමට අවශ්‍ය පසුබිම සකසමින් අපට පිරිසිදු පැවිදි උපසම්පදාවක් ලබාදීමට කටයුතු කළ පුරාණ ඇදුරු පරම්පරාවටමත්, විශේෂයෙන්ම මෑතකාලයේ වැටීගෙන යමින් තිබූ ප්‍රතිපත්ති සාසනය බැබළවීම පිණිස ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව පිහිටුවීමට මූළිකව කටයුතු කළ අතිපූජනීය මාතර ශ්‍රී ඤාණාරාම මාහිමිපාණන් වහන්සේ හා අතිපූජනීය කඩවැද්දුවේ ජිනවංස මාහිමිපාණන් වහන්සේ අතුලු ඊට උපකාරක සියලු උතුමන්ටත්, අපගේ උපාධ්‍යායෝත්තම පරම පූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ හා සියලු කර්මාචාර්ය උතුමන්ටත්, බුරුම රටේදී අපට කර්මස්ථාන ලබාදෙන මෑත කාලයේ මුළු ලොව පුරාම පිරිසිදු භාවනා මාර්ගය ප්‍රතිපත්ති මාර්ගය ප්‍රචලිත කිරීමට කටයුතු කරන අග්ගමහාකම්මට්ඨානාචාර්ය අතිපූජනීය ආචිණ්ණ (ඵා ඖක් සෙයාඩෝ) මාහිමිපාණන් වහන්සේටත්, නාඋයන ආරණ්‍යයේ අපගේ නිශ්‍රයාචාර්යෝත්තමයන් වහන්සේ වන අල්පේච්ඡ සන්තුෂ්ටි ගුණයන්ගෙන් යුතුව ශිෂ්‍ය පිරිසට ආදර්ශ සපයන අතිපූජනීය මීගොඩ ස්වාමින් වහන්සේ, අපගේ කර්මස්ථානාචාර්යෝත්තමයන් වහන්සේ වන කරුණා මෛත්‍රී ගුණයන්ගෙන් සුපෝෂිත වූ ලක්දිව මෑතකාලීන ප්‍රතිපත්ති සාසනය බැබළවීමට මහාශක්තියක් ලබාදෙන අතිපූජනීය අඟුල්ගමුවේ ස්වාමින් වහන්සේ ඇතුලු සියලු ආචාර්ය උතුමන්ටත්, මූලික ධර්මවිනය ඤාණය, පාළි භාෂා ඤාණය හා අටුවා ටීකා පරිශීලනය කළයුතු අයුරු කියාදෙමින් අපේ පැවිදි දිවියේ අත්තිවාරම දැමූ, මෑත කාලයේ විනය පරියත්තිය නගාසිටුවීමට මහත් වෙහෙසක් ගන්නා වූ අපගේ ආචාර්යෝත්තම පූජනීය නුවරඑළියේ ඤාණසීල මාහිමිපාණන් වහන්සේ ඇතුලු සියලුම උපකාරක සබ්‍රහ්මචාරීන් වහන්සේලාටත්, බුරුමජාතික කර්මස්ථානාචාර්ය අතිපූජනීය කුමාරාභිවංස මාහිමිපාණන් වහන්සේටත්, අවශ්‍ය පොතපත හා දහම් කරුණු වලින් අවවාද දෙමින් අපව දිරිමත් කරන පූජනීය හීනටිගල පඤ්ඤාරාම ස්වාමින් වහන්සේටත්, අපේ අභිධර්ම දැනීම දියුණු කරමින් අපට උපකාර කළ පූජනීය දිගන සුගතවංස ස්වාමින් වහන්සේටත්, නිරතුරුව අපට අවවාද ලබා දෙමින් අපගේ පැවිදි ජීවිතයේ දියුණුව පිණිස මගපෙන්වන ගුරු උතුමන් දෙනමක් වන පූජනීය සීලගම ඤාණසිරි ස්වාමින් වහන්සේටත්, පූජනීය ගලේවෙල ඤාණදස්සන ස්වාමින් වහන්සේටත් එසේම මෙම ග්‍රන්ථයට එකතු වියයුතු කරුණු ආදිය දක්වමින් අපව දිරිමත් කරන අපගේ කල්‍යාණමිත්‍ර මහව ඤාණාලෝක ආයුෂ්මතුන්ට හා කඩුවෙල අතුලඤාණ ආයුෂ්මතුන්ටත්, අවශ්‍ය කරුණු සැකසීමට උපකාර කළ බත්තරමුල්ලේ පදුමසිරි, මාකඩුවාවේ සුධම්මරක්ඛිත, නාවලපිටියේ නාරද, නුවරඑළියේ ඤාණෝපම, කිරිවත්තේ තේජානන්ද, බිංගිරියේ අරියචිත්ත, ඇමටියගොඩ චන්දසුමන, කිරිවත්තුඩුවේ ධීරානන්ද, අක්මීමන ධම්මවිසුද්ධි යන ආයුෂ්මතුන් වහන්සේලාටත් ගිහි ජීවිතයේදී අපට උපකාර සැලසූ පිංවත් දෙමාපියන් ගුරුවරුන් සහෝදර-සහෝදරියන් ඇතුලු උපකාරක ගිහි-පැවිදි සැමටත්, මේ කුසලය අනුමෝදන් වන අනන්ත ලෝකවාසී සත්වයන්ටත් ඉක්මනින්ම නිර්වාණාවබෝධය පිණිසත්, ඒතාක් මිසදිටු නොගෙන පිරිසිදු දහම හඳුනාගැනීම පිණිසත් මෙම කුසලය හේතු උපනිශ්‍රය වේවායි මෙසේ පුණ්‍යානුමෝදනා සිදුකරමු.

මෙය මුද්‍රණය කිරීමට දායකත්වය දරණ සැමටත් මෙය මනාව මුද්‍රණය කර දුන් සෑම දෙනාටමත් ඉතා ඉක්මනින් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධය පිණිසම හේතු වේවා යැයි ආශිංසනය කරමු.

මෙම දෙවන සංස්කරණයේදී නව වන (09) පරිච්ඡේදයට බොහෝ සෙයින් අලුත් කරුණු අතුලත් කළ අතර එයට අනුමාතෘකා දෙකක් ද එකතු කළෙමු. ඊට අමතරව දහවන (10) පරිච්ඡේදයේ අගට අතීතයේ මෙරට වැඩසිටියා වූ ද පෙළ අටුවා ධරාගෙන පැමිණියා වූ ද අටුවාවන්හි දැක්වෙන ආචාර්යවාද ඉදිරිපත් කළා වූ ද මහරහත් උතුමන් කීපදෙනෙකුගේ කථාවස්තු කීපයක් ඒ උතුමන්ගේ තත්වය කෙබඳුදැයි තේරුම් ගැනීම පිණිස දැක්වීමු.

එසේම මෙම ග්‍රන්ථයට අපගේ අදහස් ද ඇතුලත් බැවින් ඒවායේ යම් වරදක් අඩුපාඩුවක් වෙතොත් එයද, මෙයට එකතු විය යුතු යැයි හැඟෙන යම් කරුණක් වෙතොත් ඒවාද අපට දන්වා එවන්නේ නම් එය අපට කරන මහත් අනුග්‍රහයක් කොට සලකමු. තවද මෙහි අඩංගු කරුණු විකෘති නොකර කැමති අයුරින් උපුටා ගැනීම ද වරදක් නොවේ.

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා!!!

චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධසාසනං.

මෙයට,

සම්බුද්ධසාසනචිරස්ථිතිකාමී,

දිද්දෙණියේ අරියදස්සන හිමි,

නාඋයන අරණ්‍ය සේනාසනය,

පන්සියගම.

2019-01-17