07 අභිධර්ම පිටකය, අට්ඨකථාදිය පිළිබඳව මෙසේ වැරදි මත පැනනැගීමේ හේතු මොනවාද?

star_outline

මෙසේ ධර්මය සම්බන්ධව වැරදි මතවාද ඇතිවීම අද පමණක් නොව භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලයේද සිදු වූ බව සාති, අරිට්ඨ, කණ්ඨක ආදී පැවිද්දන්ගේ කථා ප්‍රවෘත්ති මගින් ප්‍රකට වේ. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු මෙම තත්වය වඩා උග්‍ර වූ බව දෙවන ධර්ම සංගායනාවට අදාල සිදුවීමෙන් දතහැක. මේ සෑම අවස්ථාවකදීම සාසන භාරධාරී උතුමන් වහන්සේලා එම තත්ත්ව විසඳා සාසනය ආරක්ෂා කල සේක. එනමුත් වැරදි මත ඇති ඒ සෑම දෙනාවම නිවැරදි කිරීම ප්‍රායෝගිකව කල හැකි නොවේ. ගැටළුව විසඳූ පසුවද ඇතැම්හු එම වැරදි මතයේම එල්බ සිටිති. ඊට අමතරව සාසනයට හානිකර කටයුතු ද සිදු කරති. ඊට හොඳම නිදසුනක් දෙවන ධර්ම සංගායනාවට අදාල සිදුවීමෙන් දත හැකිය. ඒ මෙසේය;

දස අකැප වස්තු දැක්වීම මුල්කරගෙන පැවැත්වූ මෙම දෙවන සංගායනාවේදී එම කරුණු දහය අකැප බවත් වජ්ජිපුත්තක භික්ෂූන්ගේ මත වැරදි බවත් දක්වා එම අලජ්ජී භික්ෂූන් 10000 ක් පමණ සසුනෙන් නෙරපා හැර ධර්මවිනය ස්ථාපිත කලසේක. එසේ දෙවන සංගායනාවේදී සසුනෙන් නෙරපූ, සසුනෙන් පලිගනු කැමති වූ අලජ්ජී වජ්ජිපුත්තක භික්ෂූහු වෙනම මහාසංගීති නම් වූ සංගායනාවක් පැවැත්වූහ. මෙම මහාසංගීතික භික්ෂූන්ගෙන් මහායාන යන නිකාය බිහිවිය. මෙම සංගායනාවේදී අතිශය බරපතල ලෙස සසුන විකෘති කලහ. විශේෂයෙන්ම අභිධර්ම පිටකය ද, පටිසම්භිදාමග්ග, චුල්ලනිද්දේස, මහානිද්දේස යන ප්‍රඥාවෙන් අග්‍ර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේශනාවෝ ප්‍රතික්ෂේප කරමින් ඒවා විකෘති කලහ. ඊට අමතරව විනය පිටකයේ පරිවාර පාලිය ද සිකපද වල විභංගය ද විකෘති කලහ. ජාතක දේශනා වල කොටසක් ප්‍රතික්ෂේප කලහ. මෙසේ සසුනට අති විශාල විනාශයක් කලහ. මේ පිලිබඳව අපේ පුරාණම මෙන්ම ඉතා විශ්වාසවන්ත තොරතුරු වලින් යුත් ඉතිහාස ග්‍රන්ථයක් වන දීපවංසයේ මෙසේ සඳහන් වේ. පඤ්චප්පකරණ අට්ඨකථාවේ හා සාරත්ථදීපනී ටීකාවේ ද මේ ගැන තවත් තොරතුරු දැක්වේ.

‘‘මහාසඞ්‌ගීතිකා භික්‌ඛූ, විලොමං අකංසු සාසනෙ;

භින්‌දිත්‌වා මූලසඞ්‌ගහං, අඤ්‌ඤං අකංසු සඞ්‌ගහං.

මහාසංගීතික භික්ෂූහු සසුනෙහි විලෝමයක් (සසුනට එකඟ නොවන ප්‍රතිපක්ෂ වූවක්) කලහ. මුල් ත්‍රිපිටක සංග්‍රහය බිඳ වෙනත් සංග්‍රහයක් කලහ.

‘‘අඤ්‌ඤත්‍ර සඞ්‌ගහිතං සුත්‌තං, අඤ්‌ඤත්‍ර අකරිංසු තෙ;

අත්‌ථං ධම්‌මඤ්‌ච භින්‌දිංසු, විනයෙ නිකායෙසු ච පඤ්‌චසු.

වෙනත් තැනක සංග්‍රහ කළ සූත්‍ර ඔවුහු වෙනත් තැනක සංග්‍රහ කලහ. විනයෙහි ද පංචනිකායන්හි ද අරුත ද ධර්මය ද බින්දාහ. (වෙනස් කලහ.)

‘‘පරියායදෙසිතඤ්‌චාපි, අථො නිප්‌පරියායදෙසිතං;

නීතත්‌ථඤ්‌චෙව නෙය්‍යත්‌ථං, අජානිත්‌වාන භික්‌ඛවො.

ඒ (මහාසංගිතිකාරක) භික්ෂූහු පරියාය (පරමාර්ථ නොවන බැවින් විවරණ අවශ්‍යවන) දේශනාව ද නිෂ්පරියාය (සාධන/ ප්‍රතිපාදන අනවශ්‍ය වු වෙනස් කල නොහෙන) දේශනාව ද නීත (අරුත්පරිදි දතයුතු) අර්ථය ද නෙය්‍ය (උදුරාගතයුතු) අර්ථය ද නොදැන,

‘‘අඤ්‌ඤං සන්‌ධාය භණිතං, අඤ්‌ඤං අත්‌ථං ඨපයිංසු තෙ;

බ්‍යඤ්‌ජනච්‌ඡායාය තෙ භික්‌ඛූ, බහුං අත්‌ථං විනාසයුං.

අනෙකක් සඳහා දෙසූ දෙයට වෙනත් අරුතක් තැබූහ. ඔවුහු ව්‍යඤ්ජන ඡායාවෙන් (පද පමණක් සලකා අරුත නොසලකා) බොහෝ අර්ථ විනාශ කලහ.

‘‘ඡඩ්‌ඩෙත්‌වාන එකදෙසං, සුත්‌තං විනයගම්‌භිරං;

පතිරූපං සුත්‌තං විනයං, තඤ්‌ච අඤ්‌ඤං කරිංසු තෙ.

ගැඹුරු වූ විනයේ ද සූත්‍ර වලද කොටසක් ඉවත් කොට, ඒ ප්‍රතිරූප සූත්‍රවිනයක් වීද එයත් වෙනස් කලහ.

‘‘පරිවාරං අත්‌ථුද්‌ධාරං, අභිධම්‌මං ඡප්‌පකරණං;

පටිසම්‌භිදඤ්‌ච නිද්‌දෙසං, එකදෙසඤ්‌ච ජාතකං;

එත්‌තකං විස්‌සජ්‌ජෙත්‌වාන, අඤ්‌ඤානි අකරිංසු තෙ.

ඔවුහු විනයපිටකයේ පරිවාර පාලිය ද, විනය සිකපද වල අර්ථෝද්ධාරය (විභංගය/ පදභාජනීය), අභිධර්ම ප්‍රකරණ හය (මේ වන විට කථාවත්ථුප්පකරණය ග්‍රන්ථයක් වශයෙන් සැකසී නොතිබිණි.) ද, පටිසම්භිදාමග්ග පාලිය ද, චුල්ලනිද්දේස, මහානිද්දේස යන දෙක ද, ජාතක දේශනා වල කොටසක් ද යන මෙපමණ ධර්ම කොටස් ඉවත් කොට (ධර්මය) වෙනස් කලහ.

‘‘නාමං ලිඞ්‌ගං පරික්‌ඛාරං, ආකප්‌පකරණානි ච;

පකතිභාවං විජහිත්‌වා, තඤ්‌ච අඤ්‌ඤං අකංසු තෙ.

ඔවුහු භික්ෂු නාමය ද , ශ්‍රමණ ලිංගය (පැවිදි වේශය) ද, ශ්‍රමණ පිරිකර ද , ශ්‍රමණ ආකල්ප ද, ශ්‍රමණප්‍රකෘතිය ද අත්හැර එය ද වෙනස් කලහ.

මෙසේ වෙනස් කළ (මහායාන) ධර්මය පිලිගත් ශ්‍රී ලංකාවේ සිටි අභයගිරිවාසී භික්ෂූන් ආදී පිරිස් නිසා ඉහත සඳහන් පිරිසිදු ධර්ම කොටස් බුද්ධ දේශනා නොවේය යන සසුනට විරුද්ධවාදී මත අප රටේ ද ව්‍යාප්ත විය.

මහාවිහාර, අභයගිරි හා ජේතවන යන නිකාය ආරම්භය හා එම භික්ෂූන් අතර පැවති මත විවිධත්වය

1. මහාවිහාරවාසී භික්‍ෂූන්ගේ ථේරිය නිකාය හා ථේරවාදය

ධර්ම සංගායනා වලින් සුරක්‍ෂිත වූ පිරිසිදු බුද්ධවචනය හා එහි අටුවා රහත් උතුමන් වෙතින් ම මිහිඳු මාහිමියන් වෙත ලැබිණි. එතුමන් වහන්සේ වෙතින් සිංහල රහත් පරපුරට එම ධර්මය ලැබුණු අතර එතුමන් වහන්සේලා එය අත්‍යන්තගෞරවයෙන් මාතලේ අළුවිහාරයේ පැවති පුස්තක- සංගායනාව දක්වා කටපාඩමින් දැරූ සේක. ග්‍රන්ථාරූඪ කළ මෙම පිරිසිදු ධර්මවිනය හා එහි අටුවා, මහාකාශ්‍යපාදී මහරහත් උතුමන් පිළිගත් වාද බැවින් “ථේරවාද” නම් විය. ඒ බව ‘‘සථෙරවාද’’න්‌තිපි ලිඛන්‌ති. තත්‌ථ ‘‘අට්‌ඨකථාසු ආගතථෙරවාදසහිතං සාට්‌ඨකථං තිපිටකසඞ්‌ගහිතං බුද්‌ධවචන’’න්‌ති ආනෙත්‌වා යොජෙතබ්‌බං. (“සථෙරවාදං” යැයි ලියත්. එහිදී “අටුවාවන්හි පැමිණි ථේරවාද සහිත අටුවා සහිත ත්‍රිපිටකයේ සංග්‍රහ කරන ලද බුද්ධ වචනය” යැයි ගෙන අර්ථ යෙදිය යුතුය.)[1] යැයි දක්වා ඇත. මෙම පිරිසිදු දහම දැරූ භික්‍ෂු සමූහය ථේරවාදීන් යැයි ද, ථේරියනිකාය යැයි ද දැක්වේ. මෙම දහම ලෝකය පුරා ප්‍රචලිත වූයේ අනුරාධපුර මහමෙවුනා උයනේ පිහිටි මහාවිහාරය නමැති විහාරය මුල් කරගෙන බැවින් එම ථේරවාදී දහම පිළිගත් භික්‍ෂු පරපුර මහාවිහාර වාසීන් ලෙස ද හැඳින්වේ. ඒ බව මහාවිහාරවාසීනන්‌ති මහාමෙඝවනුය්‍යානභූමිභාගෙ පතිට්‌ඨිතො විහාරො මහාවිහාරො, යො සත්‌ථුනො මහාබොධිනා විභූසිතො, තත්‌ථ වසන්‌ති සීලෙනාති මහාවිහාරවාසිනො,[2] (මහාවිහාරවාසීනං යනු මහමෙවුනා උයන් බිමෙහි පිහිටි ශාස්තෲන් වහන්සේගේ ශ්‍රි මහා බෝධියෙන් අලංකාරවත් වූ විහාරය මහාවිහාරය නමි. එහි ස්වභාවයෙන් වාසය කරත්නුයි මහාවිහාරවාසීහු නම් වෙති.) යැයි දැක්වේ.

2. අභයගිරිවිහාරවාසීන්ගේ ධම්මරුචි නිකාය හා වෛතුල්‍ය වාදය

ශ්‍රමණසාරුප්‍ය නොවන ලෙස රජුන් ඇසුරු කිරීමාදී කරුණු මත විනයානුකූලව මහාවිහාරයෙන් නෙරපූ මහාතිස්ස තෙරුන් හා එම තෙරුන් නිවැරදිය යන මතය ගත් මහදැලියා තිස්ස යන තෙරවරු විසින් වලගම්බා රජු දවස ඇරඹූ අලුත් නිකාය අභයගිරි විහාරය නිශ්‍රයකොට පැවති නිසා අභයගිරි නිකාය නම් විය. එම විහාරයෙහි විසූ භික්‍ෂූහු අභයගිරිවිහාරවාසීහු නම් වූහ. ඔවුහු ථේරියනිකායෙන් වෙන්ව ස්ව යැපීම හා මහාවිහාරය පරයා සිටීමේ අදහස ද නිසා පෙර සඳහන් කළ වජ්ජිපුත්තක පරම්පරාවේ වූ ධම්මරුචි නිකායේ (මහායාන) අදහස් පිළිගත් බැවින් ධම්මරුචි නිකායිකයින් ලෙස ද හැඳින්වේ. ධර්මාශෝක රජු විසින් සසුනෙන් නෙරපූ භික්‍ෂු වෙස්ගෙන සිටි තීර්ථකයෝ පසුව මහායානාදී අන්‍ය නිකායන්ට එක්ව වෛතුල්‍යවාදාදී අධර්මවාදී අලුත් මත ඉපදවූහ. අභයගිරික භික්‍ෂූහු මෙම මතද පිළිගත් බැවින් ඔවුන් වෛතුල්‍යවාදීන් ලෙස ද හැඳින්වේ. (ථේරවාදී විනය හැටියට භික්‍ෂුවක් ස්ත්‍රියක හා මෙවුන්දම් සේවනය කලොත් පරිජි ඇවත වේ. භික්‍ෂුභාවය අහිමිවේ. නමුත් වෛතුල්‍යවාදීන්ට අනුව දෙදෙනාගේ කැමැත්තෙන් එය සිදුවේ නම් එහි වරදක් නැත.) මෙසේ සීලය පමණවත් නොසලකා යන්ත්‍ර-මන්ත්‍ර හදාරමින් මෙම භික්‍ෂූන් හැසිරුණු බව දැක්වේ.

3. ජේතවනවිහාරවාසීන්ගේ සාගලියනිකාය හා වෛතුල්‍ය වාදය

ගෝඨාභය රජු දවස අභයගිරිවිහාරවාසීන් අතුරින් පිරිසක් වෙන්වී දක්ඛිණගිරිවිහාරය නිශ්‍රයකොට වාසය කළහ. පසුව ඔවුන් මහසෙන් රජු විසින් කරවූ අනුරාධපුර ජේතවනාරාමයේ වාසය කළ බැවින් ජේතවනවිහාරවාසීන් යැයි ද, එම පරපුරේ සිටි සාගල නම් තෙර කෙනෙකුන් විසින් සැකසූ ධර්මග්‍රන්ථ පිළිගත් බැවින් ඔවුන් සාගලියනිකායිකයෝ යැයි ද පසුව වෛතුල්‍යපිටකය ද පිළිගත් බැවින් වෛතුල්‍යවාදීන් යැයි ද හැඳින්වේ.

මෙසේ මහාවිහාරවාසී වූ ථේරවාදී තෙරවරුන්ගෙන් වෙන්ව ඉතිරි නිකාය දෙක බිහිවීම පිළිබඳව මහාවංශයේ 33 වන පරිච්ඡේදයේ මෙසේ සඳහන් වේ.

තතොප්‌පභුති තෙ භික්‌ඛූ, මහාවිහාරනාගමුං;

එවං තෙ’භයගිරිකා, නිග්‌ගතා ථෙරවාදතො.

(එතැන් පටන් ඒ බහලමස්සුතිස්ස තෙරුන් ප්‍රමුඛ භික්‍ෂූහු මහාවිහාරයට නොආහ. මෙසේ ඒ අභයගිරික භික්‍ෂූහු ථේරවාදයෙන් බැහැර වූවාහුය. )

පභින්‌නා’භයගිරිකෙහි, දක්‌ඛිණවිහාරිකායති;

එවං තෙ ථෙරවාදීහි, පභින්‌නා භික්‌ඛවො ද්‌විධා

(පසුව අභයගිරික භික්‍ෂූන්ගෙන් දක්‍ෂිණවිහාර වාසීහු බෙදුනාහ. මෙසේ ඒ භික්‍ෂූහු ථේරවාදීන්ගෙන් වෙන්ව දෙයාකාරයකට බෙදුනාහ.)

මෙසේ ථේරිය නිකායෙන් පිරිසක් වෙන් වී වැරදි මත ගන්නා අතර මහාවිහාරවාසී උතුමන් වහන්සේලා නොයෙක් තාඩන-පීඩන මධ්‍යයේ පිරිසිදු බුද්ධධර්මය දිවිහිමියෙන් සුරැකි බව ඉතිහාස ග්‍රන්ථයන්හි සඳහන් වේ. සාසන ඉතිහාසය පිළිබඳ කරුණු රාශියක් නිකාය සංග්‍රහයෙහි දැක්වෙන බැවින් එම විස්තර ද කියවා බැලීම වටී. එයින් උපුටා ගෙන මෙම කරුණු ස්වල්පය මෙසේ දැක්වීමු. රටෙත් ජාතියෙත් සාසනයෙත් දියුණුව වෙනුවෙන් පැරණි රජදරුවන් හා මහා සංඝරත්නය කැප වී කටයුතු කළ අයුරු ඉතා මැනවින් නිකාය සංග්‍රහයෙහි දැක්වේ. පොත්පත් නොතිබුණු ඒ යුගයේ තල්පත් වල ධර්මය ලියමින් ඇතැම්විට රජවරුන්ගේ පවා කෙනෙහෙලි මධ්‍යයේ මෙසේ පිරිසිදු ථේරවාදී ශ්‍රී සද්ධර්මය සුරැකීම පිලිබඳව අපි එම මහාවිහාරවාසී උතුමන්ට ණයගැති වෙමු.

  1. විමතිවිනෝදනී ටීකා

  2. කංඛාවිතරණී ටීකා