මෙම භාවනා ක්‍රම පිළිබඳ පොදුවේ පවතින වැරදි මත කීපයක් හා ඊට පිළිතුරු

1. පිරිසිදු බුද්ධ දේශනාව වන පෙළ තිබියදී අටුවා ටීකා වල අදහස් ගෙන කරන භාවනාවන් අනවශ්‍ය බව.

මෙම ප්‍රකාශය කරන්නේ අටුවා ටීකා යනු මොනවාදැයි හරිහැටි නොදැනීමෙනි. ඒ ගැන කරුණු පෙර දැක්වීමු. අදහස් කීපයක් මතුවිය හැකි තැනකදී නිවැරදි බුද්ධමතයම ඉස්මතු කර දැක්වීම අටුවා ටීකා වලින් සිදු වේ. සිංහල පරිවර්තන නොකියවා පාළියෙන්ම දහම හදාරන්නේ නම් අටුවා ටීකාවන්ගේ වැදගත් කම පැහැදිළි වනු ඇත. ඒවායෙන් තොරව ධර්ම-විනය විනිශ්චයන් ගත නොහැකි බව ප්‍රත්‍යක්‍ෂ වනු ඇත. ඒ බව හරිහැටි දන්නා වූ සල්ලේඛ ප්‍රතිපත්තියෙහි යෙදුණු සීලාදී ගුණයන්ගෙන් සුපෝෂිත ව්‍යක්ත විශාරද උතුමන් අතින්ම මෙම නිවැරදි භාවනා ක්‍රම සියල්ලම ප්‍රචාරය වූ බව ද දත යුතුය. නිවැරදි නිවන් මාර්ගය සෙවීමට මුළු ජීවිතයම කැපකළ උතුමන් බව ප්‍රකට වනු ඇත. එම මාහිමිවරුන් පිළිබඳ තවදුරටත් තොරතුරු සොයා බලන්නේ නම් මේ කීම තහවුරු වනු ඇත.

2. බුද්ධ දේශනාව තිබියදී එක එක්කෙනාගේ භාවනා ක්‍රම අනවශ්‍ය බව

මේ ප්‍රකාශය කරන්නේ භාවනා ක්‍රම හැඳින්වීමට යොදන නම් පමණක් සැලකීමෙනි, අවම වශයෙන් එම භාවනා ක්‍රම පිළිබඳ හරිහැටි කියවීමෙන් වත් දැනීමක් නැති බැවිනි. හරිහැටි කියවා බැලුවේ නම් මෙම භාවනා ක්‍රම බුද්ධ දේශිතම බව තහවුරු වනු ඇත.

3. විදේශ රටවලින් අපට ලැබුණු භාවනා ක්‍රම අනවශ්‍ය බව

මෙය ද හරිහැටි සාසන ඉතිහාසාදිය නොදන්නාකමින් කරන වැරදි ප්‍රකාශයකි. බුදුදහම යනු ද අපරටේ ඇති වූවක් නොවේ. තවද කුමන රටක හෝ යම් නිවැරදි දෙයක් වේ නම් එය පිළිපැදීමෙන් අයහපතක් නොවේ. අපරටේ දෙයක් වුවත් එය වැරදි නම් එය පිළිපැදීමෙන් අයහපතක් වේ. එබැවින් එය බැහැර කළ යුතුය. දහම සම්බන්ධයෙන් රට - ජාති - කුලවාද ඈඳාගත හොත් එයින් අනර්ථයක් මිස යහපතක් නොවේ. කරුණු මෙසේ හෙයින් කුමන රටින් ලැබුණත් එය දහමට එකඟ නම් එය අත්හදා බලා තම නිවන් මග විවරකර ගැනීම ප්‍රඥාගෝචර වේ යනු අපගේ අදහසයි.

ඉහත දැක්වූ වැරදි මත දරන හා ඒවා ප්‍රචාරය කරන අය පිළිබඳ විමසීමේදී පෙනීගියේ ඒ බොහෝ දෙනෙක් හරිහැටි ගුරු ඇසුරක් නොලබූ, සැබෑ නිවන් අරමුණක් නොමැති තර්ක වාද පිණිස දහමට බැසගත් පිරිසක් බවයි. ඇතැමෙක් සීලාදී ප්‍රතිපත්ති පිරීමට ඇති අකමැත්ත නිසාම ඇතැම් භාවනා ක්‍රමයන්ට දොස් කියති. නිවන් ලැබීමට ලේසික්‍රම සොයති. සැබෑ නිවන් අරමුණ ඇති තැනැත්තා වාද විවාද කරමින් කාලය ගත නොකර සැබෑ දහම සොයමින් ප්‍රතිපදාවේ යෙදෙයි. අතීතයේ ද සත්‍යගවේශී වූ උතුමන්ගේ චරිත කියැවීමෙන් එය තහවුරු වේ. සිදුහත් බෝසතාණන් වහන්සේත් උපතිස්ස කෝලිත ආදී උතුමෝත් සත්‍ය ගවේශනය කළ අයුරු සිතා බලනු වටී. දැන් අපට එසේ ගවේශනය කරන්නට දෙයක් නැත. භාග්‍යවතුන් වහන්සේ එය ඉතා පැහැදිළිව දක්වා ඇත. අපට තිබෙන්නේ එය ශ්‍රද්ධාවෙන් පිළිපැදීමයි. එය ද දින ගණනකින් අත් නොහළ යුතුය. අසූ මහාශ්‍රාවක උතුමන් අතර වූ කල්ප ලක්‍ෂයක් ඒ සඳහා පිරූ පාරමී ඇත්තා වූ බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්ත උතුමන් අසූදෙනා අතරට අයත් වූ රට්ඨපාල මහරහතන් වහන්සේට ද අර්හත්වයට පත්වීමට වසර දොළහක් ගත වූ බව දැක්වේ. ත්‍රිපිටක පාරගත දැනීමක් ඇති රහත් ශිෂ්‍යයන්ම හැට දහසක් සිටියා වූ මහාසීව මහතෙරුන් වහන්සේට අර්හත්වයට පත්වීමට වසර තිහක් (30) ගත වූ බව ද දැක්වේ. කරුණු මෙසේ හෙයින් දින කීපයකින්, සති කීපයකින්, මාස කීපයකින් ප්‍රතිඵල බලාපොරොත්තු නොවී නිවනට ලේසි ක්‍රම සොයන්නට නොයා තෙරුවන් පිළිබඳ හොඳ ශ්‍රද්ධාවක් පිහිටුවා ගෙන භාවනා ක්‍රම අත්හදා බලන්නේ නම් වසර ගණනකින් හෝ ප්‍රතිඵල ලැබිය හැකි වනු ඇත. එබැවින් තර්ක වාද කරමින් නොසිට දහම පිළිපැද බලත්වා යනු අපගේ ආරාධනයයි.