පාරමී ප්‍රභේද

ඒ දශවිධපාරමිතා ධර්මයෝ වූකලි දශපාරමිතාය - දශඋපපාරමිතාය -දශපරමාර්ථපාරමිතාය යි, සමතිස් වැදෑරුම් වන්නාහ.

කෙසේද? යත්:- පුත්‍රදාරයන් හා මුක්තාමාණික්‍යාදි වූ සියලු වස්තූන්ගේ පරිත්‍යාග පාරමිතා නම් වෙයි. තමාගේ අඞ්ග පරිත්‍යාගය උපපාරමිතා නම් වෙයි. තමාගේ ජීවිතපරිත්‍යාගය පරමාර්ථ පාරමිතා නම් වෙයි කියා දානපාරමිතාවෝ තුන්දෙනෙක් වන්නාහ. පුත්‍රදාරාදී වූ ත්‍රිවිධපරිත්‍යාගයට හේතු නොඉක්මීම් වශයෙන් ශීලපාරමිතාවෝ තුන්දෙනෙක් වන්නාහ. එම ත්‍රිවිධ වස්තුවෙහි ආලය සිඳ නික්මීම් වශයෙන් නෛෂ්කර්මපාරමිතාවේ තුන්දෙනෙක් වන්නාහ. උපකරණය-අඞ්ගය-ජීවිතය යන මේ තුනෙහි තෘෂ්ණාව නසා සියලු සත්ත්‍වයන්ට වැඩ අවැඩ නිශ්චයකිරීම් වශයෙන් ප්‍රඥාපාරමිතාවෝ තුන්දෙනෙක් වන්නාහ. යථෝක්ත වූ ප්‍රභේද ඇති දානපරිත්‍යාගාදියට උත්සාහ කිරීම් වශයෙන් වීර්ය පාරමිතාවෝ තුන්දෙනෙක් වන්නාහ. උපකාරණය-අඞ්ගය-ජීවිතය යන මේ තුනට අන්තරාය කරන්නවුන්ට ක්‍ෂමා කිරීම් වශයෙන් ක්‍ෂාන්තිපාරමිතාවෝ තුන්දෙනෙක් වන්නාහ. උපකරණය-අඞ්ගය-ජීවිතය නිසා සත්‍යය නො හැරීම් වශයෙන් සත්‍යපාරමිතාවෝ තුන්දෙනෙක් වන්නාහ. දානාදිපාරමිතාවෝ කොප්‍යයට නො හැකි අධිෂ්ඨාන වශයෙන්ම සමෘද්ධවන්නාහයි, උපකරණාදීන්ගේ විනාශයෙහිදු අචලාධිෂ්ඨානවශයෙන් අධිෂ්ඨාන පාරමිතාවෝ තුන්දෙනෙක් වන්නාහ. උපකරණාදීන් විනාශකරන්නවුන් කෙරෙහි මෙත්තාව නොහැරීම් වශයෙන් මෛත්‍රීපාරමිතාවෝ තුන්දෙනෙක් වන්නාහ. යථෝක්ත වස්තු තුනින් උපකාර අපකාර කරන්නාවූ සත්ත්‍වසංස්කාරයන් කෙරෙහි මධ්‍යස්ථවීම් වශයෙන් උපෙක්‍ෂාපාරමිතාවෝ තුන්දෙනෙක් වන්නාහ. මෙසේ සියලු දානාදි පාරමිතාවෝ සමතිස් වැදෑරුම් වන්නාහ.

ප්‍රතිඥානුකූල කොට සියලු පාරමිතාවන්ගේ පරිග්‍රහය, සත්‍යාධිෂ්ඨානය, එම සියලු පාරමිතාවන්ට ප්‍රතිපක්‍ෂධර්මයන්ගේ පරිත්‍යාගය ත්‍යාගාධිෂ්ඨානය, සියලු පාරමිතාගුණයේ සන්හුන් බව ව්‍යුපශමාධිෂ්ඨානය, එම පාරමිතාවන් විසින් පර වැඩ කිරීමට උපායකෞශල්‍යය ප්‍රඥාධිෂ්ඨානයයි, ඒ සියලු පාරමිතාවන්ගේ අධිෂ්ඨානයෝ සතර දෙනෙක් වන්නාහ. තවද සියලු පාරමිතාවෝ සත්‍යයෙන් ප්‍රශවකරන ලදහ. ත්‍යාගයෙන් ප්‍රකාශ කරන ලදහ. උපායෙන් වර්ධනය කරන ලදහ. ප්‍රඥාවෙන් පිරිසිදු කරන ලදහ. තවද සියලු පාරමිතාවන්ට සත්‍යය උත්පත්තිකාරණය, ත්‍යාගය පරිග්‍රාහක හේතුය. උපසමය. අභිවෘද්ධියට හේතුය. ප්‍රඥාව පිරිසිදු බවට හේතුය. යම්සේ චතුරාධිෂ්ඨානයෙන් සියලු පාරමිතාවන්ගේ සංග්‍රහය වේද, එපරිද්දෙන් කරුණා ප්‍රඥා දෙකින් සියලු පාරමිතාවන්ගේ සංග්‍රහ වන්නේය. සියලුම බෝධිසම්භාර ධර්මය කරුණා ප්‍රඥා දෙකින් පිරිසිඳ දන්නා ලද්දේය. කරුණා ප්‍රඥාදෙකින් සංග්‍රහ කරනලද දානාදි ගුණධර්මයෝ මහාබෝධිසම්භාර නම් වන්නාහ. බුද්ධත්ත්‍වයාගේ සිද්ධියත් කෙළවර කොට ඇත්තාහ. සියලු පාරමිතා පිරීමෙන් බුද්ධත්වයට පැමිණීමට කරන ලද ප්‍රාර්ථනා ඇති මහාබෝධිසත්ත්‍වයන්ට යථාස්වභාවය දැනීමෙන් සියලු ධර්මයෙහි නො ඇලීම හේතුකොටගෙන ආත්මස්නේහය නිරවශේෂයෙන් සිඳී යන්නේය. මහාකරුණාසමාවේෂයෙන් සියලු සත්ත්‍වයන් ප්‍රියපුත්‍රයන් මෙන් දක්නා වූ ඒ මහාබෝධිසත්ත්‍වයන්ට සියලු සතුන් කෙරෙහි කරුණාස්නේහය මතු මත්තෙහි වර්ධනය වන්නේය. ඉක්බිත්තෙන් ඒ ඒ අවස්ථාවට සුදුසුව ස්වසන්තාන පරසන්තානයෙහි ලෝභ, ද්වේෂ, මෝහ පහකිරීමෙන් දුරුකරනලද මාත්සර්යාදි ප්‍රතිපක්‍ෂ ධර්මයන් ඇති මහාපුරුෂතෙමේ දාන, ප්‍රියවචන, අර්ථචර්යා, සමානාත්මතා සඞ්ඛ්‍යාත සතරසංග්‍රහ වස්තුවෙන්ද, සත්‍යාධිෂ්ඨානාදි චතුරාධිෂ්ඨානයෙන්ද, අතිසයෙන් ජනයාට සංග්‍රහකිරීමෙන් සද්ධර්මයට අවතීර්ණ ජනයන්ගේ ශීලාදි ගුණයෙන් මිහිකිරිවීමද, අනවතීර්ණ ජනයන්ගේ සතරසංග්‍රහ වස්තුවෙන් ඇතුළත් කිරීමද කරන්නේය. එසේහෙයින් කියන ලදි:-

“සච්චවාදී උපසන්තො පඤ්ඤවා අනුකම්පකො

සම්භතසබ්බසම්භාරො කංනාමත්‍ථං නසාධයෙ

-

මහාකාරුණිකොසත්‍ථා හිතෙසීව උපෙක්ඛකො

නිරපෙක්ඛොච සබ්බත්‍ථ අහො අච්ඡරියො ජිනො.

-

විරත්තො සබ්බධම්මෙසු සත්තෙසුව උපෙක්ඛකො

සදාසත්තහිතෙයුත්තො අහො අච්ඡරියො ජිනො” යි.