මහාබෝධිසත්ත්‍වවරයෝ වූකලි මහාකරුණා මහා ප්‍රඥාවෙන් හා දාන, ප්‍රියවචන, අර්ථචර්යා, සමානාත්මතාය යි කියන ලද සතර සංග්‍රහ වස්තුවෙන් සැරහී සිටිනාහ. කාලවිශේෂය වූකලි යටත් පිරිසෙයින් සතර අසඞ්ඛ්‍යයක් හා කප්ලක්‍ෂයෙක. මධ්‍යමපරිච්ඡේදයෙන් අට අසඞ්ඛ්‍යයක් හා කප්ලක්‍ෂයෙක. උත්තමපරිච්ඡේදයෙන් සොළොස් අසඞ්ඛ්‍යයක් හා කප්ලක්‍ෂයෙක. මෙබඳු වූ මේ කාලවිභාගය ප්‍රඥාධික, ශ්‍රද්ධාධික, වීර්යාධික බෝධිසත්ත්‍වවරයන්ගේ වශයෙන් දතයුත්තේය. ප්‍රඥාධික බෝධිසත්ත්‍වවරයන්ට ශ්‍රද්ධාවමධ්‍යම වන්නේය. ප්‍රඥාව තීක්‍ෂණ වන්නේය. ශ්‍රද්ධාධික බෝධිසත්ත්‍වයන්ට ප්‍රඥාව මධ්‍යමවන්නේය. ශ්‍රද්ධාව තීක්‍ෂණ වන්නේය. වීර්යාධික බෝධිසත්ත්‍වවරයන්ට ශ්‍රද්ධාව මධ්‍යම වන්නේය. වීර්යය තීක්‍ෂණ වන්නේය. සාමාන්‍යයෙන් අර්හත් ඵල විමුක්තිය, මුහුකුරුවන්නා වූ ධර්මයන්ගේ තීක්‍ෂණ, මධ්‍යම මෘදු භාවයෙන් මේ ත්‍රිවිධ වූ ප්‍රභේදය දතයුත්තේය.
උග්ඝටිතඤ්ඤය, විපචිතඤ්ඤය, ඤෙය්‍යය යන මොවුන්ගේ ප්‍රභේද හෙයින් ත්‍රිවිධ වූ බෝධිසත්ත්‍වවරයෝ අභිනීහාරලක්‍ෂණයෙහි සම්භව වන්නාහ. ඔවුන් අතුරෙන් උග්ඝටිතඤ්ඤ බෝධිසත්ත්‍වතෙමේ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ සමීපයෙන් සතර පදයෙන් යුක්ත වූ ගාථාවක් අසන්නේ තුන්පදයක් අසා නිමවන්නාට පළමු කොටම ෂට්අභිඥා හා සමග අර්හත් ඵලයට පැමිණෙන්ට සමර්ථ වූ උපනිශ්‍රය ඇතිවන්නේය. විපචිතඤ්ඤ බෝධිසත්ත්‍ව තෙමේ සර්වඥයන් වහන්සේ සමීපයෙන් එකම ගාථාවක් අසන්නේ සතරපදය අසා නිමවන්නාට පළමු කොටම ෂට් අභිඥා හා සිවුපිළිසිඹියා හා සමග අර්හත් ඵලයට පැමිණෙන්ට සමර්ථ වූ උපනිශ්‍රය ඇතිවන්නේය. ඤෙය්‍ය බෝධිසත්ත්‍ව තෙමේ සර්වඥයන් වහන්සේ සම්මුඛයෙන් සතරපදයෙන් යුක්ත වූ ගාථාවක් අසා නිමවන්නාට පළමු කොටම ෂට් අභිඥා හා චතුපටිසම්භිදා හා සමග අර්හත්ඵලයට පැමිණෙන්ට සමර්ථ වූ උපනිශ්‍රය ඇතිවන්නේය.
මෙසේ කරන ලද ප්‍රාර්ථනා ඇති ලබන ලද විවරණ ඇති බෝධිසත්ත්‍වවරයෝ පාරමී ධර්මයන් පුරන්නාහු ක්‍රමයෙන් යථොක්ත වූ කාලවිභාගයෙන් සම්‍යක් සම්බෝධියට පැමිණෙන්නාහුය. ඒ ඒ කාලවිභාගය සම්පූර්ණ වන්නාට පළමුකොට ඒ මහාබෝධිසත්ත්‍වවරයෝ දවසක් දවසක් පාසා විශ්වන්තර දානය හා සමාන වූ දන් දෙන්නාහුද, එබඳුවූ මැ ශීලසංරක්‍ෂණාදී සියලු පාරමීධර්මයන් රැස්කරන්නාහුද, කර්මක්‍ෂයකර ඥානය මුහුකුරා නොගිය බැවින් අතුරෙහි බුදුබවට නො පැමිණෙන්නාහුය. කලට පැසෙන්නා වූ ගොයමක් මෙන් සම්‍යක්සම්බෝධියට නිශ්චය කරනලද කාලවිශේෂයාගේ නිෂ්පත්තීන්ම සමෘද්ධ වන්නේය. යථොක්ත වූ කාලයට නොපිළිවන් වන්නේයයි, පාරමී ධර්මයන්ගේ පූරණය යථොක්ත වූ කාලවිශේෂයෙන්ම සිද්ධවන්නේය යි දතයුතුය.
තවද: කරනලද ප්‍රාර්ථනා ඇති ඒ මහාබෝධිසත්ත්‍වවරයෝ අවීචිමහානරකයෙහි නූපදනාහ. ඔසුපත්නරකයෙහි උත්පත්ති නො වලකනලද්දේය. තවද ලෝකාන්තරික මහනරකයෙහි නූපදනාහුය. රුක්සිදුරුවල අතුරක් නැතිව ඇවිළෙන්නාවූ වහ්නිජ්වාලාවෙන් පහරණාලදුව බලවත් පීඩාවට පැමිණෙන්නා වූ නිජ්ඣාමතෘෂ්නිකා නම් ප්‍රේතලෝකයෙහි නූපදනාහ. ඔසුපත්නරකයෙහි නොයෙක් බුද්ධාන්තරවල ක්‍ෂුධාපිපාසායෙන් යුක්තවූ ක්‍ෂුත්පිපාසා ප්‍රේතව නූපදනාහ. ගිනිගෙන දිලියෙන්නා වූ ආයුධයෙන් ඔවුනොවුන් පැහැර පැසෙන්නා වූ කාලකඤ්ජක අසුර නම් ප්‍රේතනිකායෙහිත් නූපදනාහ. වටු කුරුල්ලන් පමණින් මුත් ක්‍ෂුද්‍රප්‍රාණිවත් නූපදනාහ. ජාතිබධිර නොවන්නාහ. ජාතිමෘග නො වන්නාහ. ජාතියෙන් පිළි නොවන්නාහ. ස්ත්‍රී නො වන්නාහ. පණ්ඩක නො වන්නාහ. නපුංසක නො වන්නාහ. සෝවාන් - සෙදගැමි - අනගැමි - රහත් යන සතරමග සතරඵලයට නො පැමිණෙන්නාහ. මාතුඝාතක -පිතුඝාතක - අරහන්තඝාතක - ලොහිතුප්පාදක - සඞ්ඝභෙදක ය යන පඤ්චානන්තරියකර්මය නො කරන්නාහ. නියත මිථ්‍යාදෘෂ්ටි නොවන්නාහ. අසංඥතලයෙහි නූපදනාහ. පඤ්චසුද්ධාවාසයෙහි අනාගාමීන්ම උපදනා හෙයින් එහි උත්පත්තියට හේතුවෙක්ම නැත්තේයයි, මේ අටළොස් අභව්‍යස්ථානයට ඒ මහා බෝධිසත්ත්‍වරවයෝ නොපැමිණෙන්නාහ.
තවද: “සතො සම්පජානො ආනන්‍ද බොධිසත්තො තුසිතා කායා චවිත්‍වා මාතුකුච්ඡිං ඔක්කමති” යනාදීන් දක්වනලද සොළොස්වැදෑරුම් වූ ආශ්චර්යඅද්භූත ධර්මයෝද, “ජායමානෙ සාරිපුත්ත බොධිසත්තෙ අයං දසසහස්සී ලෝකධාතු සංකම්පති සම්පකම්පති සංපවෙධන” යනාදීන් දක්වන ලද දෙතිස් පූර්ව නිමිත්තද, යම් අනිකුත් බෝධිසත්ත්‍වවරයන්ගේ අභිප්‍රාය සිද්ධියක් හා වසිතාප්‍රාප්තිප්‍රභේදයක් ඇත්නම් ඒ සියලු ආනිසංසත් දතයුත්තේය.
තවද: මහත්වූ කරුණා ඇති අෂ්ටලෝකධර්මයෙන් අකම්ප්‍ය වූ ස්වභාව ඇති සියලු ලෝකවාසීන්ට අසහායබන්‍ධු වූ මහානුභාව සම්පන්න වූ මේ මහාබෝධිසත්ත්‍වවරයෝ මෙසේ මෙබඳු වූ ආශ්චර්යඅද්භූත ගුණධර්මයන් ඇතිවන්නාහ. හැම කල්හි සද්ධර්මය ගෝචරකොට ඇති නිර්මල වූ සල්ලෙඛප්‍රවෘත්ති ඇති මහාබෝධිසත්ත්‍වවරයෝ සර්වඥයන් වහන්සේ හැර අන්‍යසත්ත්‍වයන් විසින් සිතිනුත් නො සිතිය හැකි මහත් වූ ප්‍රතාප තේජස් ආනුභාව ඇත්තාහ. මහත් වූ චණ්ඩමාරුතයෙන් ගසා උඩනගන ලද තරඞ්ගමාලාවන් ඇති මහාසාගරය වෙලාන්තරය යම්සේ නො ඉක්මේ ද, එපරිද්දෙන්ම මහාබෝධිසත්ත්‍වරයෝත් තමන්ගේ ධර්මතාව ඉක්ම නො පවත්නාහ. ලෝකයෙහි ඉපැද වැඩියාවූත් ඒ මහබෝධිසත්ත්‍වවරයෝ වඩනාලද භාවනාමනස්කාර ඇති බව හේතුකොට ගෙන අලපත නෙළුම්පත ඔත්දියත්තක් මෙන් අෂ්ටලෝක ධර්මයෙන් වෙන්ව එහි නො ඇලෙන්නාහ. යම් බෝධිසත්ත්‍ව කෙනෙකුන්ට ඉදින් තමන් කෙරෙහි ස්නේහය යම් යම් පරිද්දෙකින් අඩුවන්නේ වී නමුත් සියලු සත්ත්‍වයන් කෙරෙහි කරුණාස්නේහය ඒ ඒ පරිද්දෙන් අඩුනොවී මතුමත්තෙහි වර්ධනය වන්නේය. යම්සේ චිත්තය තමා වශයෙහි පවතීද, එපරිද්දෙන් මහාබෝධිසත්ත්‍වවරයෝ තමන්ගේ චිත්තස්වභාව සිතුවක් නො කරන්නාහ. යම්සේ සෘද්ධිවිධඥානාදි වූ පඤ්චාභිඥා සඞ්ඛ්‍යාත සෘද්ධිවිශේෂය අධිෂ්ඨාන වශිතාදි වශයෙන් තමා වශයෙහි පවත්නේ වී නමුත් එපරිද්දෙන් මහාබෝධිසත්ත්‍වවරයෝ සෘද්ධ්‍යානුභාවයෙන් යුක්තයමෝ වේ දැයි සිතූ සිතූ පරිද්දෙන් අණිමා ලඝිමාදි සෘද්ධිවිශේෂය නොදක්වන්නාහ. බෝධිසම්භාර ධර්මයන් පුරා ඇවිදිනා වූ පුරුෂශ්‍රේෂ්ඨ වූ ප්‍රාඥ වූ බෝධිසත්ත්‍වවරයෝ රාගාදි දෝෂයන් විසින් නො මඩනා ලැබෙති. රාගාදි දෝෂයෝ කිසිසේත් ඒ මහබෝධිසත්ත්‍වවරයන් නැසියත් නොහෙන්නාහ. මෙබඳු වූ උත්තමබෝධිසත්ත්‍වවරයන් විෂයෙහි චිත්තප්‍රසාදය කොට සියලු සත්ත්‍වයන් විසින් සංසාර දුඃඛයෙන් මිදෙන්ට උත්සාහ කටයුත්තේය. ඒ බෝධිසත්ත්‍වවරයන්ගේ උත්තම වූ ප්‍රතිපත්තිමාර්ගය දැන ඉගෙන ඒ ප්‍රතිපත්ති වූ පරිද්දෙන් පිළිපැද සකලක්ලේශයන් නසා අර්හත්ඵලඥානය සමධිගමය කරන්ට උත්සාහ කටයුත්තේය.
තවද: සංක්‍ෂේපයෙන් බුද්ධත්වය සිද්ධකිරීම සියලු පාරමී ධර්මයන්ගේ ඵල වන්නේය. විස්තර හෙයින් දෙතිස් මහාපුරුෂලක්ෂණ අසූඅනුව්‍යඤ්ජන, භ්‍යාප්‍රෙභාදි නොඑක් ගුණ සමූහයෙන් බබළන්නා වූ රූපකාය සමෘද්ධිය හා දශබල-චතුවෛශාරද්‍ය-ෂට්අසාධාරණ ඥාන-අෂ්ටාදශ ආවෙනිකධර්මාදී බුද්ධගුණයන්ට පිහිටවූ නොඑක් කෙළලක්‍ෂගණන් ගුණධර්මසමූහයෙන් හොබනා වූ ධර්මකාය ශ්‍රී සමෘද්ධියදැයි ලොවුතුරා සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසිනුත් ශ්‍රී මුඛයෙන් කියා නිමවන්ට නො පිළිවන් වන්නේය යි කියූ මේ රූපකාය සම්පත්තිය හා ධර්මකායසම්පත්තිය ඒ දානාදි සියලු පාරමීධර්මයන්ගේ මුඛ්‍යවිපාකයෙකැයි දතයුත්තේය.
තවද: මේ පාරමිතාවෝ නම් කවුරුද? කවර අර්ථයෙකින් පාරමිතා නම්වූද මේ පාරමිතාවෝ කවර ප්‍රකාරයක් ඇත්තාහුද? මොවුන්ගේ ක්‍රම කවරේද? ලක්‍ෂණ-රස-ප්‍රත්‍යුපස්ථාන-පදස්ථාන කවරේද? මොවුන්ට ප්‍රත්‍යය කවරේද? සංක්ලේශ කවරේද? නිර්මල බව කවරේද? ප්‍රතිපක්‍ෂධර්මයෝ කවුරුද? ප්‍රතිපත්ති කවරේද? විභාග කවරේද? සංග්‍රහ කවරේද? පාරමිතාධර්මයන් සීමාකරන්නාවූ උපාය කවරේද? කොපමණ කලෙකින් සිද්ධ කට හැකිද? ඒ පාරමීධර්මයන්ගේ අනුසස් කවරේද? ඵල කවරේදැයි මාතෘකාපද තබා මහාබෝධිසත්ත්‍ව ප්‍රතිපත්තිසූත්‍රය ත්‍රිපිටකයෙහි විභාග කොට දක්වනලද, අතිවිස්තර හෙයින් මා විසින් ඒ සියලු බෝධිසත්ත්‍ව ප්‍රතිපත්තිය විස්තර කොට නො කියන ලද්දේය. එතකුදු වුවත් මෙසේ සංක්‍ෂේප හෙයින් බෝධිසත්ත්‍ව ප්‍රතිපත්තිය නුවණැති සත්ත්‍වයන් විසින් දතයුත්තීය.