කල්ප විභාගය

යම් කල්පයෙක්හි සර්වඥවරයෝ පස්දෙනෙක් උපන්නාහු වී නම් ඒ කල්පය අවශේෂ කල්පයන්ට උතුම් වන බැවින් භද්‍රකල්ප නම් වෙයි. එකමකල්පයක සවැනි වූ හෝ, සත් වැනි වූ හෝ, සර්වඥකෙනකුන් වහන්සේ නූපදනා සේක. යටත් පිරිසෙයින් එක්කෙනකුන් වහන්සේ උපදනා සේක. මධ්‍යමවශයෙන් දෙදෙනකුන් වහන්සේ හෝ, තුන්දෙනකුන් වහන්සේ හෝ, සතරදෙනකුන්වහන්සේ උපදනා සේක. උඩත්පිරිසෙයින් බුදුහු පස්දෙනකුන් වහන්සේ එක ම කල්පයක උපදනා සේක. එයින් මත්තේ නූපදනාහෙයින් මේ කල්පය භද්‍රකල්ප නම් විය. මෙහි මහාකල්පය. අසඞ්ඛ්‍ය කල්පය, අන්තඃකල්පය යි කල්පය ත්‍රිවිධ වන්නේය. එහි ගින්නෙන් ලොව නස්නාකල්හි පළමුකොට ම කල්පවිනාශය කරන්නා වූ විපත්තිකර මහා මේඝයෙක් නඟා කෙළලක්‍ෂයක් සක්වළ මහත් වූ ඝනවර්ෂාව වස්නේය. ඒ දැක තුටු පහටු වූ සිත් ඇති මනුෂ්‍යයන් විසින් තමන් වහන්සේ සියලු බිජුවට ගෙන් පිටත් කොට කුඹුරු ආදියෙහි වපුළකල්හි ක්‍රමයෙන් වැඩී ගොයම් සරක් තොලුගානා පමණ වූ කල්හි ගද්‍රභරවය කෙරෙමින් ගර්ජනා කොට එක්පොදබින්‍දුවකුත් බිම නො හෙලන්නේය. එතැන් පටන් සිටුවාපු වැසි සම්පත්තිකර මහා මේඝය දක්වා අතුරෙහි එකදවසකුත් නොවන්නේය. ඉක්බිත්තෙන් සංසාරවෘත්තයෙහි අන්තර්ගත වූ සියලු සත්ත්‍වයන් අතුරෙන් හේතුසම්පන්න වූ සමහර කෙනෙක් ධ්‍යාන උපදවා බ්‍රහ්ම ලෝකයෙහි උපදනාහ. සමහරකෙනෙක් අපරාපර්යවෙද්‍යකර්මයෙන් දිව්‍ය ලෝකයෙහි ඉපැද එහි සිට ධ්‍යන උපදවා බ්‍රහ්ම ලෝකයෙහි උපදනාහ. ලෝකයෙහි අපරාපර්යවෙද්‍යකර්මයෙන් මිදුනු එක ද සත්ත්‍වයෙක් නම් නැත්තේය. වැසි සිටුවූ තැනින් මත්තෙහි බොහෝ කලක් ගියකල්හි දෙවැනි සූර්යයෙක් පහළව ආකාශය දුම්වලා නැති කොට දර්පණතලයක් මෙන් නිර්මල කොට පඤ්චමහාගඞ්ගාව තබා අවශේෂ වූ කුඩා මහත් ගංගා, වැව්, පොකුණු, හෙප්, වළවල් ආදියෙහි පැන් වියලෙන්නේය. තුන්වැනි සූර්යයා පහළ ව ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන පඤ්චමහාගඞ්ගාවන් වියළන්නේය. සතරවැනි සූර්යයා පහළ ව අනවතප්තය, ඡද්දන්තය, කුණාලය, කර්ණමුණ්ඩය, රථකාරය, සිංහපතාපය, මන්‍දාකිනීය යන මහවිල්සත වියළෙන්නේ ය. පස්වැනි සූර්යයා පහළ ව මහාසමුද්‍රය වියළෙන්නේය. සවැනි සූර්යයා පහළ ව සියලු සක්වල එකධුම කරවන්නේය. සත්වැනි සූර්යයා පහළව පෘථිවියෙහි එකජ්වාලා ඇවිළ මහපොළොව, මහමෙර, සප්තකූලපර්වත. හිමවත් පර්වතාදීන් දවා චාතුම්මහාරාජිකාදී වූ සදිව්‍යලෝකයෙහි රන්රිදී මැණික්මය වූ විමන් දවන්නේය. එයින් නැඟී බ්‍රහ්මලෝක පසක් දවා ආභස්සර බ්‍රහ්මලෝකය පැහැර සිටිනේය. යම්සේ මේසක්වළ නසී ද, එපරිද්දෙන් ම කෙළලක්‍ෂයක් සක්වළ සූර්යමණ්ඩල සතක් සතක් පහළවීමෙන් නස්නේයි. ඉක්බිත්තෙන් සියලු සංස්කාර ලෝකය දවා ගිනි නිවී ගියකල්හි යට අජටාකාශය හා මත්තෙහි ආකාශය එක් වැ එකාන්‍ධකාර වන්නේය. ඊට මෑත බොහෝ කලක් ගියකල්හි සම්පත්තිකර මහාමේඝය නඟා නහඹතල්කඳ සා ජලධාරා වස්මින් කෙළලක්‍ෂයක් සක්වළ සියලු දාගිය තැන් පුරා අන්තර්ධාන වන්නේය. ඉක්බිත්තෙන් බ්‍රහ්මලෝකය - දිව්‍යලෝකය - මහපොළොවය - මහමෙරය - චක්‍රවාටපර්වතය - හිමාලයපර්වතය - සමුද්‍රය - පඤ්චමහාගඞ්ගාවය - සදත්දහතළාය - චන්‍ද්‍ර සූර්යය - නක්‍ෂත්‍රතාරකාවෝය යන මේ සියල්ල පහළවන්නේය. මෙසෙයින් සියලු ලොව පළමු පරිද්දෙන් ම ප්‍රකෘතිමත් වන්නේය. එහි විපත්තිකර මහාමේඝයෙහි පටන් ජ්වාලෝපච්ඡේදය දක්වා මේ අසඞ්ඛ්‍යකල්පය සංවර්ත නම් වෙයි. ජ්වාලොපච්ඡේදයෙහි පටන් සම්පත්තිකර මහාමේඝය පහළවනතැන් දක්වා මේ අසඞ්ඛ්‍යකල්පය සංවර්තස්ථායී නම් වෙයි. කෙළලක්‍ෂයක් සක්වළ දිය පුරන්නා වූ සම්පත්තිකර මහා මේඝය පහළ වූ තැන් පටන් චන්‍ද්‍රසූර්යයන්ගේ පහළවීම දක්වා මේ අසඞ්ඛ්‍යකල්පය විවර්භ නම් වෙයි. චන්‍ද්‍රසූර්යයන්ගේ පහළවීමෙහි පටන් නැවත කල්ප විනාශය කරන්නා වූ විපත්තිකර මහාමේඝය දක්වා මේ අසඞ්ඛ්‍ය කල්පය විවර්තස්ථායී නම් වෙයි.

එයින් වදාළහ බුදුහු:-

“චත්තාරිමානි භික්ඛවෙ කප්පස්ස අසඞ්ඛෙය්‍යානි. කතමානි චත්තාරි? සංවට්ටො සංවට්ටට්ඨායී විවට්ටො විවට්ටට්ඨායී” යි.

එහි සංවර්ත නම් කපනැසීමය. සංවර්තස්ථායී නම් නැසී සිටීමය. විවර්ත නම් කප අටගැන්මය. විවර්තස්ථායී නම් අටගෙණ සිටීමය.

මෙසේ මෙබඳු සතර අසඞ්ඛ්‍යකල්පයකින් පිරිහුන්නා වූ කල්පය මහාකල්ප නම් වෙයි. ඒ මහා කල්පයෙහි සතරකොට්ඨාසය සතර අසඞ්ඛ්‍යකල්ප නම් වෙයි. එයින් “විවර්තස්ථායි” ය යි කියන ලද සතරවැනි භාගයෙහි ම සම්‍යක්සම්බුද්ධවරයන් වහන්සේ උපදනාසේක. අවශේෂ වූ තුන්භාගයෙහි නූපදනාසේක. අන්තඃකල්පයත් මෙහි ම සම්භව වන්නේය. මෙසේ මෙබඳු වූ ත්‍රිවිධ කල්පයන් අතුරෙන් “විවර්තස්ථායී” යයි කියන ලද අසඞ්ඛ්‍යකල්පයෙහි නොඑක් කෙළගණන් අවුරුදු මතුමත්තෙහි ඉපැද ඉකුත් වූ කල්ප ද්විපදොත්තම වූ මෛත්‍රෙය නම් සර්වඥකෙනෙක් ලෝකයෙහි පහළවෙතී, වදාළ සේක. චක්‍රවර්ති රජ්ජුරුවෝය, සතර වරම් මහරජදරුවෝය - ශක්‍ර - සුයාම - සන්තුෂිතාදි වූ දෙවියෝ ය - බ්‍රහ්මයෝය - යන මේ දිව්‍යබ්‍රහ්මාදි වූ දෙපා ඇති සත්ත්‍වයන්ට උතුම්වන්නාහ. ඒ බ්‍රහ්මාදි වූ දෙවියන්ටත් වඩා උතුම්වන බැවින් සර්වඥයන් වහන්සේ ද්වීපදොත්තම වනසේක.