කුශල සමෘද්ධිය

දැන් වූකලි ද්විපදොත්තම වූ මෛත්‍රෙය සර්වඥයන්වහන්සේගේ කුශලසමෘද්ධි ආදිය දක්වන්නාවූ තිලොගුරු බුදුරජාණන් වහන්සේ:-

“මහාපුඤ්ඤො මහාපඤ්ඤො - මහාඤාණී මහායසො,

මහබ්බලො මහාථාමො උප්පජ්ජිස්සති චක්ඛුමා,

මහාගතී සතී චෙ’ව ධිතිමා බාහුසච්චවා,

සඞ්ඛාතා සබ්බධම්මානං ඤාතො දිට්ඨො සුපස්සිතො

පරියොගාළ්හො පරාමට්ඨො උප්පජ්ජිස්සති සො ජිනො” යි.

මෙසේ වදාළ සේක.

තවද ශාරිපුත්‍රස්ථවිරයෙනි! ඒ මෛත්‍රෙය බුදුහු තමන් විසින් කරනලද දානශීලාදී වූ කුශලයට සියලුලොකවාසී සත්ත්‍වයන්ගේ කුශලය ලක්තබන්ටත් නොසෑහෙන හෙයින් මහත්වූ අපමණ වූ කුසල් ඇත්තාහ. මහත්වූ සංස්කාර-විකාර-ලක්‍ෂණ-නිර්වාණ-ප්‍රඥප්තිය යි කියන ලද පඤ්චවිධඥෙයමණ්ඩලය විෂය කොට පවත්නා වූ මහත් වූ ප්‍රඥාව ඇත්තාහ. අනන්‍යසාධාරණ වූ ෂට් අසාධාරණඥානාදි මහත් වූ ඥාන ඇත්තාහ. දිව්‍යබ්‍රහ්මාදි සියලු සත්ත්‍වයන් පිරිවර කොට ඇති හෙයින් මහත් වූ යසපිරිවර ඇත්තාහ. කායබලදසයක් හා ඥානබලදසයක් ඇති හෙයින් මහත් වූ බල ඇත්තාහ. මහත් වූ චතුර්විධ සම්‍යක්ප්‍රධානවීර්යසඞ්ඛ්‍යාත චෛතසිකවීර්ය ඇතිහෙයින් මහත් වූ ශක්ති ඇත්තාහ. මහමෙර වුවත් විනිවිද පවත්නා වජ්‍රායුධයක් මෙන් අතීතානාගත වර්තමාන සඞ්ඛ්‍යාත කාලත්‍රයවර්ති සියලු ධර්මයන් කෙරෙහි අස්ඛලිත ව පවත්නා අනාවරණඥානසඞ්ඛ්‍යාත මහත් වූ ඥානගති ඇත්තාහ. වෘක්‍ෂාදීන්ට පෘථිවිය මෙන් සියලු සත්ත්‍වයන්ට පරම ප්‍රතිෂ්ඨාවන්නාහ. විදුරුපොළොව මනාකොට කැණ හිඳුවන ලද ඉන්‍ද්‍රඛීලයක් මෙන් ප්‍රාමාණාතික්‍රාන්ත වූ විෂයයෙහි නිශ්චල ව පිහිටවන්නා වූ සර්වඥතාඥානය හා එක් වැ උපන්නා වූ නොඉල්පෙන්නා වූ ස්වභාවය ඇති මහත්වූ ස්මෘතිශක්ති ඇත්තාහ.

දෘඪ වූ වීර්යපාරමිතාවට කාරණව උපන්නා වූ උත්සාහය ස්වභාව කොට ඇති ඥානසම්ප්‍රයුක්ත උත්තම වූ වීර්යයෙන් සමන්විත බැවින් මහත් වූ ධෛර්ය ඇත්තාහ. දුඃඛය-සමුදය-නිරෝධය-මාර්ගය යි කියන ලද චතුරාර්ය සත්‍යය - වාක්සත්‍යය - පරමාර්ථසත්‍යය යනාදි වූ බහුප්‍රකාරසත්‍යය ප්‍රතිවේධ කොට සිටි බැවින් බහුවිධසත්‍යයන් ඇත්තාහ. අතීත-අනාගත-වර්තමාන සියලු ධර්මයන් ප්‍රඥායෙන් පිරිසිඳ සිටි හෙයින් එම ධර්මයන් අතීතාංශඥානයෙන් මනාකොට ස්පර්ශ කරන්නාහ. මෙම කාලත්‍රය වර්තතිවූ ඥානයෙන් සියලු ධර්ම නමැති සාගරයෙහි පත්ලට බටහ. හස්තයෙන් පිරිමදනා රූපයක් මෙන් ඥාන නමැති හස්තයෙන් සියලු ධර්මයන් සර්වාකාරයෙන් පිරිමදනාහ. මෙබඳු වූ කුශලාදි ගුණසමෘද්ධියෙන් යුක්ත වූ ඒ මෛත්‍රෙය සර්වඥයෝ තමන්ගේ ආනුභාව සමෘද්ධියෙන් දෙවිමිනිසුන් සහිත වූ ලොව පැතිරෙමින් අනාගතයෙහි උපදනෝ වේදැයි වදාළ සේක.