චාරිකා චරණය

මෙසේ ත්‍රිප්‍රකාරවූ ශ්‍රාවකසන්නිපාතය දක්වා දැන් ඒ සර්වඥයන් වහන්සේගේ පිරිවර භික්‍ෂූන් හා චාරිකාදිය දක්වන්නාවූ සර්වඥයන් වහන්සේ:-

“කොටිසතසහස්සානි ඡළභිඤ්ඤා මහිද්ධිකා

මෙත්තෙය්‍යං ලොකනාථං පරිවාරෙස්සන්ති සබ්බදා

පටිසම්භිදාසු කුසලා නිරුත්තිපදකොවිදා,

-

බහුස්සුතා ධම්මධරා වියත්තා සංඝසොභනා

සුදන්තා සොරතා ධීරා පරිවාරෙස්සෙන්ති තං ජිනං,

-

පුරක්ඛතො තෙහි භික්ඛූහි නාගො නාගෙහි තාදිහි

තිණ්ණො තිණ්ණෙහි දන්තො දන්තෙහි සන්තමාගතො,

-

සද්ධිං සාවකසංඝෙහි පරිවාරෙත්‍වා මහාමුනි

අනුකම්පිකො කාරුණිකො මෙත්තෙය්‍යො දිපදුත්තමො,

-

උද්ධරන්තො බහූසත්තෙ නිබ්බාපෙන්තො සදෙවකෙ

ගාමනිගමරාජධානීසු චරිස්සති චාරිකංජි නො,

-

ආහනං ධම්මභෙරිං ධම්මසංඛඵලාසනං

ධම්මයාගං පකිත්තෙන්තො ධම්මද්ධජසමුස්සයං,

-

නදන්තො සීහනාදං වත්තෙන්තො චක්කමුත්තමං

රසුත්තමං සච්චපානං පායෙන්තො නරනාරිනං,

-

හිතාය සබ්බසත්තානං නාථානාථං මහාජනං

බොධෙන්තො බොධනෙය්‍යානං චරිස්සති චාරිකංජිනො,

-

කස්සචි සරණාගමනෙ නි වෙසෙස්සති චක්ඛුමා

කස්සචී පඤ්චසීලෙසු කස්සචි කුසලෙදස,

-

කස්සචි කස්සචි සාමඤ්ඤං චතුරොඵලමුත්තමෙ

කස්සචි අසමෙ ධම්මෙ දස්සති පටිසම්භිදා,

-

කස්සචී වරසමාපත්තියො අද්ධදස්සති චක්ඛුමා

කස්සචි තිස්සොවිජ්ජායො ඡලභිඤ්ඤායො පවෙච්ඡති,

-

තෙන යොගෙන ජනකායං ඔවදිස්සති සො ජිනො

තදා විත්‍ථාරිකං හෙස්සං මෙත්තෙය්‍යජිනසාසනං,

-

බොධනෙය්‍යං ජනං දිස්වා සතසහස්සෙපි යොජනෙ

ඛණෙන උපගන්ත්‍වාන බොධයිස්සති සො මුනි”

යනාදීන් මෙසේ වදාළසේක.

එසමයෙහි පූර්වෙනිවාසානුස්මෘතිඥානය, දිව්‍යංචක්‍ෂුරභිඥානය, දිව්‍යශ්‍රොත්‍රඥානය, සියලුසත්ත්‍වයන්ගේ චෙතොපරිච්ඡෙදකඥානය, සෘද්ධිවිධඥානය, ආශ්‍රවක්‍ෂයකරඥානය යන මේ ෂට් අභිඥාවන් ඇති අධිෂ්ඨානසෘද්ධිය, විකුර්වණ සෘද්ධිය, මනොමය සෘද්ධිය, ඤාණවිප්ඵාරසෘද්ධිය, ආර්යසෘද්ධිය, කර්මවිපාකජ සෘද්ධිය, පුඤ්ඤවතොසෘද්ධිය, විජ්ජාමයසෘද්ධිය, ඒ ඒ භාවනාමනස්කාරාදියෙහි සම්‍යක්ප්‍රයෝගප්‍රත්‍යයෙන් සමෘද්ධවන්නාවූ සෘද්ධිය යන මේ දශවිධ සෘද්ධීන් සමන්විත බැවින් මහත්වූ සෘද්ධි ඇති කෙළලක්‍ෂයක් පමණ ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ හැමකල්හිම ලොකස්වාමීවූ මෛත්‍රෙයසර්වඥයන් වහන්සේ පිරිවරා ඇවිදිනාසේක.

තවද අවිපරීත ස්වභාවයෙන් අර්ථාදීන් වෙන් වෙන්කොට ඒ ඒ ධර්මයෙහි ප්‍රභෙදගතවන්නාවූ ඥානය ප්‍රතිසම්භිදා නම් වන බැවින් එබඳු අර්ථපටිසම්භිදාය, ධර්මපටිසම්භිදාය, නිරුත්ති පටිසම්භිදාය, පටිභානපටිසම්භිදාය යන චතුපටිසම්භිදායෙහි දක්‍ෂවූ නිරුත්තිපටිසම්භිදාවට පැමිණි හෙයින්ම ඒ ඒ ව්‍යවහාර කොට්ඨාසයෙහි සමර්ථ වූ ප්‍රගුණව වාවොද්ගතවූ ත්‍රිපිටක බුද්ධවචනය ඇති බැවින් බහුශ්‍රැත වූ පර්යාප්ති සහිත සතරමග, සතරඵල, නිර්වාණ යන නවලෝකෝත්තර ධර්මය දරණ හෙයින් ධර්මධර වූ දෙවිමිනිසුන් සහිත ලෝකයෙහි ප්‍රසිද්ධ බැවින් ව්‍යක්ත වූ උක්තප්‍රකාර ගුණයෙන් යුක්ත බැවින් හා සීලාදි ගුණයෙන් යුක්ත බැවින් සඞ්ඝසොභන වූ ඒ ආර්යයන් වහන්සේ හැමකල්හි මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ පිරිවරා ඇවිදිනාසේක.

තවද කිසිසේත් ආරෝහපරිණාහයෙන් හා විශේෂ රූපයෙන් යුක්ත වූ පටසිව්රු, දුහුල් සිව්රු ආදි මටසිලුටු සිව්රු ධරන්නා වූ ගන්නා ලද මැණික්වන් පාත්‍ර ඇති ශරීරයෙහි බහා තිබෙන්නාවූ අවශේෂ පරිස්කාරයන් ඇති දුශ්ශීලභික්‍ෂූහු ශීලාදිය විරහිත බැවින් විචිත්‍ර චිත්‍රකර්මාන්තයෙන් අලඞ්කෘතව අමෙද්ධ්‍යයෙන් සම්පූර්ණ වූ ඝටයක් මෙන්ද, සිංහසම්පොරොවුවනලද කොටලුවන් මෙන්ද, සුවඳ රන්හැල් බඳුනෙහි බොල්මෙන්ද, අන්තොසාරයක් නැත්තාහ. ඉඹුල්රුක් ආදිවූ බොරුහර ඇති රුක්ආදිය මෙන් අභ්‍යන්තර ශුද්ධියක් නැතිහෙයින් සාරයක් නැත්තාහ. දෞශ්ශීලගූථයෙන් සම්පූර්ණ වූ ශ්‍රමණ ගද්‍රභයහ, අභ්‍යන්තරයෙහි ශීලාදි කිසි සාරවස්තුවක් නැතිහෙයින් ශ්‍රමණප්‍රලාපයහ, අභ්‍යන්තරශුද්ධියක් නැති හෙයින් අන්තොපූතියහ, සත්තයෙන් වෑහෙන්නා වූ මේතෙල්බඳුනක් මෙන් නිරන්තරයෙන් වෑහෙන්නා වූ ක්ලේශාසුචි ඇත්තාහ, ගවර වළක් මෙන් ප්‍රතිකූලයහ, සියලු ලෝවැසියන්ගේ කුසල් නැමැති බඩු සොරාගන්නාවූ මහසොරුන් වැනියහ, දෙකෙළවර ගිනිගත් මැද අමෙධ්‍යයෙන් වැකුණු සොහොන් පෙනෙහෙල්ලකට බඳු උපමා ඇත්තාහ. සැඟවුනා වූ ස්වර්ගමෝක්‍ෂමාර්ගයන් ඇත්තාහ, එළිකොට තබන ලද නරකාදි සතර අපාය මාර්ගයන් ඇත්තාහ, නරකාග්නියට පෙනෙහෙලි වැනිවූහ, ප්‍රත්‍යවෙක්‍ෂාකිරීම් නැති බැවින් හා සැදෑ ඇත්තන් දුන් චීවරාදි චතුර්විධප්‍රත්‍යය සීලවිපන්නව සිට අනුභවකරණ හෙයින් ථෙය්‍යපරිභෝග ඇත්තාහ. ශාසනයට නුසුදුසු ප්‍රතිපත්තියෙහි යෙදෙන හෙයින් බුදුන් විසින් නින්දා කොට හරණාලදහ. නිරන්තරයෙන් උද්වෙගයට පැමිණෙන ලද සිත් ඇත්තාහ. “අග්ගික්ඛන්‍ධොපමසූත්‍රයෙහි” වදාරණ ලද දුක් පිළිගන්ට යෝග්‍යයහ. කරුණාපර ජනයන්ගේ කරුණාවට වස්තුවූහ. අශ්‍රමණව ශ්‍රමණප්‍රතිඥා ඇත්තාහ. සියලු සත්ත්‍වයන් විසින් කරණලද නින්දාවට භාජනයහ. මෙබඳු වූ දුශ්ශීල පුද්ගලයෝ සඞ්ඝයා හොබවන්නාහු නොවෙති. ඔහු ශාලික්‍ෂෙත්‍රය දූෂ්‍යකරන්නාවූ බඩඅමු ආදි තෘණධාන්‍යයක් මෙන් සඞ්ඝදූෂක වන්නාහ. එබඳු දුශ්ශීලභික්‍ෂූන් ඒ සඞ්ඝපර්ෂත්හි නැති බැවින් ඒ සියලු ක්‍ෂීණාශ්‍රව භික්‍ෂූන් වහන්සේ සඞ්ඝසොභන නම් වන‍සේක. මෙබඳු සඞ්ඝසොභන වූ කෙළලක්‍ෂයක් රහතුන් වහන්සේ නිරන්තරයෙන් ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ පිරිවරා ඇවිදිනා සේක.

තවද රූපාදි ෂඩාලම්බනයෙහි පවත්නා චක්‍ෂුරින්‍ද්‍රියාදි ෂඩීන්‍ද්‍රියයන් මනාකොට දමනයෙහි ලූ බැවින් සුදන්ත වූ විශේෂවත් ශීලාදි ගුණයෙහි ඇලුනු බැවින් හා ගම්භීරාරණ්‍යසෙනාසනයෙහිත් උත්කෘෂ්ට කුශල ධර්මයෙහිත් උකටළී බව කරන්නා වූ ක්ලේශයන් ප්‍රහීණ කළ බැවින් සර්වඥඥානයෙහි ඇලුනා වූ තම තමන් වහන්සේලාට සුදුසු ශ්‍රාවක පාරමිතාඥානයෙහි මස්තකප්‍රාප්ත වූ බැවින් ප්‍රඥාවන්ත වූ ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ හැමදවස් ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ පිරිවරා ඇවිදිනා සේක.

තවද ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ ඡන්‍දාදිවශයෙන් අගතියට නොයන සේක් තමන්වහන්සේ බඳු ඡන්‍දාදියෙන් අගතියට නොයන්නා වූ භික්‍ෂූන් වහන්සේ විසින් පිරිවරනලද සේක. තමන් වහන්සේ ඉෂ්ටානිෂ්ටයෙහි අකම්ප්‍ය ස්වභාවයට පැමිණිසේක් තමන් වහන්සේ බදු ඉෂ්ටානිෂ්ටයෙහි අකම්ප්‍ය ස්වභාවයට පැමිණියාවූ භික්‍ෂූන් වහන්සේ විසින් පිරිවරණ ලද සේක. තමන් වහන්සේ සංසාරසාගරයෙන් හා ක්ලේශසාගරයෙන් එතරවූ සේක් තමන් වහන්සේ බඳු සංසාරසාගරයෙන් හා ක්ලේශසාගරයෙන් එතරවූ භික්‍ෂූන් වහන්සේ විසින් පිරිවරනලද සේක. තමන් වහන්සේ චක්‍ෂුරින්‍ද්‍රියාදි ෂඩින්‍ද්‍රියයන් දමනයෙහි ලූසේක් තමන් වහන්සේ බඳු චක්‍ෂුරින්‍ද්‍රියාදි ෂඩින්‍ද්‍රියයන් දමනයෙහි ලූ භික්‍ෂූන් වහන්සේ විසින් පිරිවරන ලද සේක. තමන් වහන්සේ සකලක්ලේශයන් සන්හිඳුවූ බැවින් සාන්තවූ සේක් තමන් වහන්සේ බඳු සකල ක්ලේශයන් සන්හිඳවූ ශාන්තවූ භික්‍ෂූන් වහන්සේ විසින් පිරිවරන ලද සේක. තමන් වහන්සේ බඳු ක්ලේශාග්නි නිවියාවූ සිත් ඇති භික්‍ෂූන්වහන්සේ විසින් පිරිවරන ලද සේක.

මෙසේ උක්තප්‍රකාර ගුණසමූහයන් ඇති සියලු සත්ත්‍වලෝකයාට අනුකම්පා කරන්නාවූ සකල ලෝකාර්ථසිද්ධියට කාරණව සිටි මහාදයාසඞ්ඛ්‍යාත කරුණා ඇති බැවින් මහාකාරුණික වූ, දෙපා ඇති සියලු සතුන්ට උතුම් වූ බැවින් ද්විපදොත්තම වූ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ තමන්වහන්සේ බඳු සියලු ගුණගණාංගයෙන් සම්පූර්ණ වූ ශ්‍රාවකසඞ්ඛයා වහන්සේ විසින් පිරිවරන ලදුව සියලු සත්ත්‍වයන් සංසාරදුඃඛයෙන් උඩනඟනසේක් රාගාග්නි ආදි එකාදශාග්නිය නිවා උතුම් මාර්ගඵල නැමැති ජලයෙන් දිව්‍යමනුෂ්‍යයන්ගේ ලය සිහිල්කරනසේක් ගම්, නියම්ගම්, රාජධානියෙහි සැරිසරා ඇවිදිනාසේක.

තවද ඒ සර්වඥයන් වහන්සේ සතරසතිපට්ඨානය, සතරසම්‍යක් ප්‍රධානය, සතරසෘද්ධිපාදය, පඤ්චෙන්‍ද්‍රියය, පඤ්චබලය, සප්ත බොධ්‍යඞ්ගය, ආර්යඅෂ්ටාඞ්ගිකමාර්ගය යන මේ සත්තිස් බෝධිපාක්‍ෂිකධර්ම නැමැති භෙරිය පහරණා සේක් චතුස්සත්‍යධර්ම නැමැති සඞ්ඛනාදය පවත්වනසේක් නවවිධ ලෝකෝත්තර ධර්ම නැමැති යාගය ප්‍රකාශ කොට වදාරණසේක් එක් පණස් කුශලධර්ම නැමැති ධජයන් නගනසේක් ගම්, නියම්ගම්, රාජධානියෙහි සැරිසරා වඩනා සේක.

තවද ඒ සර්වඥයන් වහන්සේ යම්සේ සිංහයාගේ නාදය සමාන ජාති ඇති සත්ත්‍වයන්ට සොම්නස් උපදවාද, හීනජාති ඇති සත්ත්‍වයන්ට භය, සන්ත්‍රාස උපදවාද, එපරිද්දෙන්ම ඒ සර්වඥයන් වහන්සේගේ නාදය අවිපරීත දෘෂ්ටි ඇති කල්‍යාණාධ්‍යාශය ඇති උත්තමපුද්ගලයන්ට සොම්නස් උපදවන්නේය. අනිත්‍යාදියෙහි නිත්‍යාදිපරිකල්පනා ඇති අනුත්තමධ්‍යාශ ඇති ලාමකසත්ත්‍වයන්ට භය, සන්ත්‍රාශ උපදවන්නේය. එහෙයින් සිංහයාගේ නාද බඳු නාද ඇතිසේක.

තවද යම්සේ සිංහයා හස්ත්‍යශ්වාදි උත්කෘෂ්ටසත්ත්‍වයන් නසාද, කැනහිල් ආදි ලාමක සත්ත්‍වයන්ගේ අවඥා ද සහනය කෙරේද, එපරිද්දෙන්ම සර්වඥයන් වහන්සේ වෛනෙයජන සන්තානගත ක්ලේශයන් නසන හෙයින් හා ලොකාවමානය සහනය කිරීම හේතුකොට ගෙන සිංහයා හා සමාන බැවින් සිංහනාද බඳු නාද පවත්වනසේක.

මෙසේ සිංහනාද පවත්වන්නාවූ උත්තම ධර්මචක්‍රය පවත්වන්නා වූ සියලු රසයන් අතුරෙන් උතුම් රස ඇති චතුස්සත්‍ය පානය සියලු ස්ත්‍රීපුරුෂයන් පානය කරන්නාවූ උත්තමසත්ත්‍වයන්ටම අනුශාසනා කෙරෙමි, අනුත්තම සත්ත්‍වයන්ට අනුශාසනා නොකෙරෙමි, අනුත්තමසත්ත්‍වයන්ට අනුශාසනා කෙරෙමි, උත්තමසත්ත්‍වයන්ට අනුශාසනා නොකෙරෙමි යන මෙසේවූ වෙනසක් නැතිහෙයින් සියලු සත්ත්‍වයන්ට වැඩපිණිස අවශ්‍ය අනවශ්‍ය උත්තම අධම සියලු මහජනයාට අනුශාසනා කෙරෙමින් චතුස්සත්‍යාවබෝධය කටයුතු වූ සත්ත්‍වයන් අවබෝධය කරවමින් ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ සැරිසරා වඩනා සේක.

තවද ඒ චක්‍ෂුර්මත් වූ සර්වඥයන් වහන්සේ රත්නත්‍රය සරණයත් අන්‍ය වූ සිහිකටයුතු වූ වස්තුවක් නැති බැවින් හැමකලම ලෞකික ලෝකෝත්තර සම්පත් කැමැත්තහු විසින් සිහිකටයුතු හෙයින්ද, සරණයෙන් මත්තෙහි අන්පිහිටක් නැති බැවින්ද, සරණය කරණකොට ගෙන ස්වර්ගමෝක්‍ෂ සැපයට පැමිණෙන හෙයින්ද, සරණ නම් වූ රත්නත්‍රය සරණය. මෙහි කිසි සත්ත්‍ව කෙනකුන් පිහිටුවන සේක. කිසි සත්ත්‍ව කෙනකුන් පඤ්චශීලයෙහි පිිහිටුවන සේක. කිසි සත්ත්‍ව කෙනකුන් දශකුශලකර්මපථයෙහි පිහිටුවන සේක. කිසි සත්ත්‍ව කෙනකුන්ට ශීල-සමාධි-ප්‍රඥා සඞ්ඛ්‍යාත ශ්‍රමණභාවය කරන්නාවූ ප්‍රව්‍රජ්‍යා උපසම්පදා දෙක දෙන සේක. කිසි සත්ත්‍ව කෙනකුන්ට උත්තම වූ චතුර්විධ ආර්ය ඵලයන් දෙන සේක. සමහර සත්ත්‍ව කෙනකුන්ට ලෞකික ධර්මයන් හා අසමාන බැවින් අසම වූ නවලෝකෝත්තර ධර්මය දෙනසේක. සමහර සත්ත්‍ව කෙනකුන්ට අත්‍ථපටිසම්භිදාදි චතුපටිසම්භිදාවන් දෙන සේක. කිසි සත්ත්‍ව කෙනකුන්ට අපගේ සර්වඥයන් වහන්සේ විසාඛාමහාඋපාසිකාවන්ට හා අනඳමහ තෙරුන් වහන්සේට දුන් වර අට හා සමාන වූ අෂ්ටවරයන් දෙන සේක. සමහර සත්ත්‍ව කෙනකුන්ට ප්‍රථමධ්‍යානාදි අෂ්ටසමාපත්තීන් දෙන සේක. කිසි සත්ත්‍ව කෙනකුන්ට පූර්වෙනිවාසානුස්මෘතිඥාන - දිව්‍යංචක්‍ෂුරභිඥාන - ආශ්‍රවක්‍ෂයකරඥාන සඞ්ඛ්‍යාතත්‍රිවිද්‍යාවන් දෙන සේක. කිසි සත්ත්‍ව කෙනකුන්ට යථොක්ත සෘද්ධිවිධඥානාදි ෂට්අභිඥාවන් දෙන සේක.

මෙසේ ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ සියලු ජනසමූහයාට යථෝක්ත ක්‍රමයෙන් අවවාද අනුශාසනා කරන සේක. එසමයෙහි ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේගේ පර්යාප්ති-ප්‍රතිපත්ති-ප්‍රතිවේධ වශයෙන් ත්‍රිවිධ වූ යථාපරාධ-යථානුලොම-යථාධර්ම වශයෙන් ත්‍රිවිධ වූ ශාසනය සියලු ලෝකයෙහි ව්‍යාප්ත වන්නේය. සියලු ජම්බුද්වීපය භික්‍ෂු-භික්‍ෂුණීන් වහන්සේ පෙරෙවි සිව්රෙහි ආලෝකයෙන් ඒකාලෝක වන්නේය. ගෙටවදනාවූත් නික්මෙන්නාවූත් භික්‍ෂු-භික්‍ෂුණීය යි කියන ලද සෘද්ධිවරයන්ගේ චීවරමාරුතයෙන් හා අතපය දික්කිරීම් වක්කිරීම් ආදියෙන් උපන්නා වූ ශරීරමාරුතයෙන් සියලු රෝගදුක් දුරුවන්නේය.

තවද ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ ලක්‍ෂයක් යොදනෙහි ද ඊටත් වඩා දුරුවූ දිව්‍යලෝක-බ්‍රහ්මලෝක-අන්‍යචක්‍රවාටාන්තරයෙහි උපන්නාවූ චතුස්සත්‍යාවබෝධය කටයුතුජනයා දැක අනන්තාපරිමාණ සක්වළ සියලු සත්ත්‍වයන්ට වැඩහුන් තැනම වැඩහිඳ අහස්මුදුනෙහිා පිහිටි පුන්සඳමඬලක් මෙන් පෙනෙන්ට සුදුසු බුද්ධානුභාවයෙන් හා එක්සිතක් ඉපද නිරුද්ධනොවනතෙක් සෘද්ධියෙන් අනන්තාපර්යන්ත සක්වළ කෙළවරට ගොස් පෙනෙන්ට සුදුසු සෘද්ධ්‍යනුභාවයෙන් යුක්ත බැවින් කායගති-චිත්තගතියෙන් එකචිත්තක්‍ෂණයෙහි ම එළඹ ඒ හේතුසම්පත් ඇති සියලු ජනයන් චතුස්සත්‍යාවබෝධය කොට අමාමහනිවන් දක්වන සේක.