අෂ්ටදුෂ්ටක්‍ෂණය

මෙසේ සියලු ගම් - නියම්ගම් - රාජධානියෙහි සැරිසරා වඩනාවූ සියලු දිව්‍යබ්‍රහ්මලෝකාදියට වඩනාවූ ගිය ගිය තැන සත්ත්‍වයන් නියතයෙන් මාර්ගඵලයට පමුණුවන හෙයින් නො සිස් ගමන් ඇති, ඒ මෛත්‍රෙයසර්වඥයන් වහන්සේ තමන් වහන්සේ සමීපයෙන් කමටහන් ගෙන සැපතැනක වසන්නාවූ භික්‍ෂූන් අසවල් මහණ මා සමීපයෙන් කමටහන් ගෙන ගියේ, මාර්ගඵල සඞ්ඛ්‍යාත විශේෂයක් උපදවන්ට සමර්ථ වී දෝ හෝයි පරීක්‍ෂාකරන සේක. ඉදින් ඒ භික්‍ෂූන් කමටහන් හැර අකුශලවිතර්කයක් විතර්කනය කරන්නාවුන් දුටුසේක් වී නම් එසඳ මාබඳු සර්වඥකෙනකුන් සමීපයෙන් කමටහන් ගෙන වසන්නාවූ මේ කුල පුත්‍රයා අකුශල විතර්කයෝ මැඩ අනවරාග්‍රවෘත්තදුඃඛයෙහි කෙසේ නම් ගලා හෙලද්දැයි, ඒ කුලපුත්‍රයාට අනුග්‍රහ පිණිස ඔහු උන් තැනට තමන්වහන්සේ දක්වා ඒ කුලපුත්‍රයාට අවවාද කරන සේක. කෙසේද? යත්:-

සත්පුරුෂය! තෝ මාවිසින් කාමවිතර්ක - ව්‍යාපාදවිතර්ක - විහිංසාවිතර්ක සඞ්ඛ්‍යාත ත්‍රිවිධවිතර්කයන් දුරුකරන පිණිස ධර්මය දෙසමින් සිටියදී කෙසේ නම් විතර්කවසඟවෙහිද, අනවරාග්‍රසංසාරයෙහි විතර්කවසඟවූ තා විසින් කායදුශ්චරිතාදිය කොට නොයෙක් දහස් ගණන් ජාතිවල ඉතා දරුණුවූ කර්කශ වූ නරකදුක් අනුභව කරන ලද, ඉදින් දැනුදු චිත්තවසඟ වන්නෙහි වී නම් බොහෝ දහස්ගණන් අවුරුදුමුළුල්ලෙහි ඉතා දරුණු වූ නරක දුක් අනුභව කෙරෙමින් ෂට්විධජ්වාලාමාලාවෙන් ගැවසීගත් මහත්වූ වහ්නියෙන් අතුරුනැති අවීචිමහානරකයෙහි ඉපැද නරකගින්නෙන් ඇවිලෙන්නාවූ ශරීර ඇතිව බැගෑහඬින් හඬමින් “අහොදුක්ඛං අහොදුක්ඛං” යි ආතිත ස්වර පතුරුවමින් මහත් වූ ව්‍යසන අනුභව කරන්නෙහිය.

තවද මේ සංසාරයෙහි කළුවරදෙපෝයේ මධ්‍යමරාත්‍රියය, ඝනවනලැහැබය, මෙඝපටලය යන මේ චතුරඞ්ගයෙන් සමන්විත ඝනාන්‍ධකාරයක් වැනිවූ මොහාන්‍ධකාර ඇති, සද්ධම්ම නැමැති ප්‍රදීපවිරහිතවූ දෙසැටක් දෘෂ්ටියෙන් ගහණවූ බුද්ධශූන්‍ය වූ නොයෙක් කෙළලක්‍ෂගණන් කල්පයන් ඉකුත්වූ කල්හි ඉතා ලැබගත නොහැක්කාවූ එකම සර්වඥ නැමැති සූර්යයෙක් පහළවන්නේය. මෙම ක්‍රමයෙන් උපන්නාවූ නොයෙක් කෙළලක්‍ෂගණන් සර්වඥවරයන් සියලු ජනසමූහයා සංසාරසාගරයෙන් එතර කොට නිර්වාණස්ථලයෙහි පිහිටුවූකල්හි තොප අද දක්වාත් කුශලසම්පත්තීන් පහවූ පූර්වභාග ප්‍රතිපත්ති ඇති බැවින් සංසාරසාගරයෙහිම ඇලී සිටියෙහිය. ඉදින් දැනුදු අවුරුදු සියයක් ගියකල නඟන්නා වූ හිස් ඇති පවන්වේගයෙන් සැලෙන්නාවූ රළපහරින් ලෙළවූ සමුද්‍රමස්තකයෙහි පෙරළෙන එකසිදුරක් ඇති විය. සිදුරට වන්නාවූ හිස් ඇති කණකැස්බක මෙන් අතිදුර්ලභ වූ මනුෂ්‍යාත්මභාවය ලැබ කිසිම කුශලයකින් අෂ්ටදුෂ්ටක්‍ෂණයෙන් විනිර්මුක්ත වූ නවවැනි බුද්ධොත්පාදක්‍ෂණසම්පත්තිය ලැබ සිටියෙහිය. ඒ අෂ්ටදුෂ්ටක්‍ෂණයෙන් වෙන්වූ බුද්ධොත්පාදක්‍ෂණය ලැබීමෙහි ඵල දැන් සිද්ධකොට ගන්ට අසමර්ථවූයෙහි වී නම් මෙබඳු ක්‍ෂණසම්පත්තියක් තට කවරකලෙක ලැබේද?

එහි අෂ්ටදුෂ්ටක්‍ෂණ නම්:- කෙසේද? යත්:-

1. අද්ධක්ඛණවිනිම්මුත්තං ඛණංපරමදුල්ලභං

උපලද්ධෙන කත්තබ්බං පුඤ්ඤං පඤ්ඤවතාසදා

-

2. තයො අපායා ආරුප්පාසඤ්ඤං පච්චන්තිමං පිව

පචින්‍ද්‍රියානං වෙකල්ලං මිච්ඡාදිට්ඨිව දාරුණා

-

3. අපාතු භාවො බුද්ධස්ස සද්ධම්මා මතදායිනො

අද්ධක්ඛණා අසමයා ඉතිඑතෙ පකාසිතා

-

4. කාරෙන්තො කම්මකරණං නිරයෙ අතිදාරුණං

භයානකං භූසංඝොරං කථා පුඤ්ඤං කරිස්සති

-

5. සද්ධම්මසඤ්ඤාජහිතෙ සදාඋබ්බිග්ග ජීවිතෙ

තිරච්ඡාන භවෙසන්තො කථං පුඤ්ඤං කරිස්සති

-

6. ගන්ත්‍වානපෙත්තිවිසයං සන්තාපපරිසොසිතො

ඛුප්පිපාසා පරිස්සන්තො කථං පුඤ්ඤං කරිස්සති

-

7. ආරුප්පා සඤ්ඤලොකෙ සවණොපාය වජ්ජිතො

සද්ධම්මසවණාහීණො කථං පුඤ්ඤං කරිස්සති

-

8. අච්චන්තාධම්මබහුලෙ මුනින්‍දසුතවජ්ජිතො

පච්චන්තවිසයෙ ජාතො කථංපුඤ්ඤං කරිස්සති

-

9. ජළොමූගාදිකොවාපි විපාකාවරණෙඨිතො

ගහණොපාය රහිතො කථංපුඤ්ඤං කරිස්සති

-

10. පක්ඛන්තො පාපිකං දිට්ඨිංසබ්බථා අනිවත්තියං

සංසාරඛාණු භූතොව කථංපුඤ්ඤං කරිස්සති

-

11. බුද්ධාදිච්චෙ අනුදිතෙ සිද්ධිමග්ගාවහාසකෙ

මොහන්‍ධකාරෙ වත්තෙන්තො කථංපුඤ්ඤං කරිස්සති යි.

මෙසේ දක්වන ලද නරකාදි අටතැන්හි උපන් සත්ත්‍වයන් කුසල් කරන්ට අයොග්‍ය වන බැවින් මේ අෂ්ටදුෂ්ටක්‍ෂණයෙන් වෙන්වූ ඉතා ලැබගත නොහැකි නවවැනි බුද්ධොත්පාදකාලය ක්‍ෂණසම්පත්තිය නම් වේ. ක්‍ෂණසම්පත්තියක් සත්පුරුෂය තට කවරකලෙක ලැබේදැයි අවවාද කරණ සේක.

තවද සත්පුරුෂය ඉදින් තෝ නොයෙක් මාණික්‍යසමූහයා ලෝකයෙන් බබළන්නාවූ රත්නාකරයකට වැද කැට කැබිලිති අවුලාරැස් කරන්නාක්මේන ඉතා නොලැබ්බ හැකි ධර්මරත්නයෙන් බබළන්නාවූ මාගේ මේ උතුම් ශාසනයට වැද චිත්තවශඟ වන්නෙහි වී නම් එබඳු වූ තෝ මාගේ ශාසනයෙන් චුතව භව නැමැති වනයට වැද යම්සේ අවුල්හුන් ඇඹුරුලණුවෙක මේ මුලය මේ අගයයි අක්මුල්දැනගත නොහැකිවේද, එපරිද්දෙන්ම අපරිච්ඡින්න පූර්වාපර කොටි ඇති බැවින් අක්මුල්නැති සසරින් නැඟීයානොහී භව අවුලෙහිම ගෙතී ගුළ නම් ලිහිණියන්ගේ අවුල්කදල්ලක් ඇතිව දිරාගිය අවුල් මුදුතණ බබුස්තණින් ඇඹැරූ රෑණක් වැනිව අනාගතයෙහි උපදනා සර්වඥවරයන්ගේ දර්ශනමාත්‍රයකුත් නොලැබ දෙසැට දෘෂ්ටියගෙන අපායදුර්ගති විනිපාත සංඛ්‍යාත සංසාරසාගරය නොඉක්ම චුතියෙන් ප්‍රතිසන්‍ධිය ප්‍රතිසන්‍ධියෙන් චුතියයි මෙසේ නැවත චුතිප්‍රතිසන්‍ධිග්‍රහණය කෙරෙමින් කාමභවාදි ත්‍රිවිධ භවයෙහිද, අණ්ඩජාදි චතුර්විධ යොනියෙහිද, නරකාදි පංචගතියෙහිද, එකත්තකායාදි සප්තවිඥානස්ථිතියෙහිද, එසේම නානත්තකායාදි නවසත්තාවාසයෙහිද, ගැඹුරු ගොරබිරම් මුහුදුපිට හරණා ලද නැවක් මෙන්ද, ගොනලුවෙහි ලූ ගොනකු මෙන්ද ඔබිනොබ පෙරළි පෙරළී ඇවිදිනෙහිය.