ප්‍රාසාද සම්පත්තිය

මෙසේ ඒ මහාපුරුෂයාණන්ගේ උත්පත්තිය දක්වා දැන් උන්ගේ ප්‍රාසාදසම්පත්ති ආදිය දක්වන්නාවූ සර්වඥයන් වහන්සේ

“සිරිවඩ්ඪො වඩ්ඪමානො ව සිද්ධත්‍ථො චෙව වන්‍දකො

අජිතස්සත්‍ථාය උප්පන්නා පාසාදා රතනාමයා”

යනාදීන් මෙසේ වදාළසේක.

කෙසේද? යත්:-

එකල අජිත නම් මහාබෝධිසත්ත්‍වයන්ගේ කුශලානුභාවයෙන් පොළොව පලාගෙන නැංගා වූ ශෝභාවෙන් බබළන්නා වූ වර්ධමානය, සිද්ධාර්ථය, චන්‍දකය යන ප්‍රාසාදයන් තුන්දෙනා අතුරෙන් එකි එකී ප්‍රාසාදයෙක් සත්සත් මහල් වන්නේය. එකි එකී මාලයෙක ස්වර්ණමයවූ රජතමයවූ, ප්‍රවාලමයවූ ස්ඵටික මාණික්‍යමය වූ, ලෝහිතඞ්කමාණික්‍යමය වූ, මසාරගල්ලමාණික්‍යමයවූ, සර්වරත්නමය වූ කෙළලක්‍ෂයක් කුළුගෙවල් වන්නේය. එකි එකී ප්‍රාසාදයෙක් සත්රුවන් පවුරුවළලු සතකින් වටකරණ ලද්දේය. ඉන් එක් පවුරුවළල්ලක් රත්නමයය, එකෙක් රිදීමයය, එකෙක් ප්‍රවාලමයය, එකෙක් පිළිවහනමයය, එකෙක් ලොහිතඞ්කමයය, එකෙක් මැසිරිගල්මයය, එකෙක් සත්රුවන්මයය.

එහි සත් සත් තොරණ පෙළ වන්නේය. ස්වර්ණමය ප්‍රාකාරද්වාරයෙහි රජතමය තොරණපඞ්ක්තිය වන්නීය. රජතමය ප්‍රාකාරද්වාරයෙහි ස්වර්ණමය තොරණපඞ්ක්තිය වන්නීය. ප්‍රවාලමය ප්‍රාකාරද්වාරයෙහි ස්ඵටිකමාණික්‍යමය තොරණ පඞ්ක්තිය වන්නීය. ස්ඵටික මාණික්‍යමය ප්‍රාකාරද්වාරයෙහි ප්‍රවාලමය. තොරණපඞ්ක්තිය වන්නීය. ලොහිතඞ්කමාණික්‍යමය ප්‍රාකාරද්වාරයෙහි මසාරගල්ල මය තොරණපඞ්ක්තිය වන්නීය. මසාරගල්ලමාණික්‍යමය ප්‍රාකාරද්වාරයෙහි ලොහිතඞ්කමාණික්‍යමය තොරණ පඞ්ක්තිය වන්නීය. සර්වරත්නමය ප්‍රාකාරද්වාරයෙහි සර්වරත්නමය. තොරණපඞ්ක්තිය වන්නීය. හාත්පසින් සත්රුවන්මය යටග නොයෙක් පැහැඇති විසිතුරු ධ්වජපතාකා ලෙළෙමින් ප්‍රාසාදය සරහමින් බබළමින් සිටිනාහ. සර්වරත්නමය වූ කිඞ්කීණික ජාලාවෝ හාත්පසින් සත්රුවන්මය පළසෙවෙනිමුවවිට එලෙන්නාහු දිව්‍යවූ පඤ්චාඞ්ගිකතූර්යනාදයක් හා සමාන වූ මධුරනාද පවත්වමින් සිටිනාහ. ඒ සත්රුවන්මය වූ රසුදැල්හඬින් හා ධජපතාකාවල බඳනාලද රත්රුවන් මිණිහඬින් සියලු නුවරවැසි සත්ත්‍වයෝ රෑදාවල් දිවපසඟතුරු රැව්හඬින් කුල්මත්වෙමින් වෙසෙසින් සතුටුව සිත්අලවන්නාහ.

ඒ ප්‍රාසාදවලින් නික්මෙන්නාවූ ආලෝකය සූර්යරශ්මිජ්වාලාලෝකයක් මෙන් බබළන්නේය. ඒ ආලෝකයෙන් විශේෂවත් ව බබළන්නා වූ ප්‍රාසාදයෝ දිලියෙන තල්වන, හුනවන, බටවන ආදිය මෙන් දිලියෙමින් සිටිනාහ. ප්‍රවාල, ඉන්‍ද්‍රනීල, ස්ඵටික ලොහිතඞ්කාදිමය වූ දහස්ගණන් කුළුගෙවලින් සියදහස්ගණන් දෙවිදුන්නෙන් වළඳනා ලද රත්නකූටපර්වතශ්‍රීන් බබළන්නාක් මෙන් වන්නාහ.

ඒ ප්‍රාසාදයන්ගේ භිත්තිවල හාත්පසින් ඉන්‍ද්‍රනීලමාණික්‍යයෙන් විචිත්‍ර වූ තාලපංක්තිය, සර්වරත්නමය මකරපංක්තිය, සිංහපංක්තිය, ව්‍යාඝ්‍රපංක්තිය, හස්තිපංක්තිය, අශ්වපංක්තිය, දිවිවළස් ආදි ව්‍යාලරූපපංක්තිය, රථපංක්තිය, මයූරපංක්තිය, හංසපංක්තිය, කොස්ලිහිණිපංක්තිය, බලාකාපංක්තිය, ගිජුලිහිණිපංක්තිය, ගරුඬපංක්තිය, නාගපංක්තිය, දේවපංක්තිය, බ්‍රහ්මපංක්තිය, ලතාපංක්තිය, වෘක්‍ෂපංක්තිය, පර්වතකූටපංක්තිය, ගඞ්ගා යමුනාදි ගඞ්ගාපංක්තිය, අනවතප්තාදි විල්පංක්තිය, මරාවන්මුහුදු, පබළුවන්මුහුදු ආදි සමුද්‍රපංක්තිය, රන්රිදීපබළුවන් වැව්පංක්තිය, කෙතුමතී ආදි නගරපංක්තිය, දෙව්දුනුබඳු රත්නිල් ආදි පස්වණක් පැහැයෙක් දිලියෙන පට්ටිකාපංක්තිය යනාදී විචිත්‍ර රූපපංක්තීහු මනාව විභාශවත්ව පිහිටියාහු වන්නාහ. නිරන්තරයෙන් දිවමල් වැසි වස්නේය. ඒ ප්‍රාසාදවල එකි එකී මාලෙක සත් දහසක් සත්දහසක් ගබඩා වන්නේය. මනාකොට සරහා පිළියෙල කරන ලද වෛඩූර්යමාණික්‍යමය වූ සද්දහසක් සද්දහසක් සිංහාසන වන්නේය. රුවන්මය පුඩුඇති සත්රුවන්මය වූ සත්දහසක් සත්දහසක් ධවලාතපත්‍ර වන්නේය. සතරගුලෙන් දික් ලොම් ඇති කොඳුපලස් අතුළ එළුලොම්මය සුදුඇතිරි අතුළ එසේම එළුලොම්මය රන්ඇතිරි අතුළ සිංහාදී රූපයෙන් විසිතුරු ඇතිරි අතුළ ඝනපුප් ඇතිරි අතුළ එක්පිටෙක ලොම් ඇති ඇතිරි අතුළ දෙපිට ලොම් ඇති ඇතිරි අතුළ රන්කම්කළ මාහැඟි ඇතිරි අතුල නොයෙක් පැහැයෙන් බබළන්නා වූ සද්දහසක් සද්දහසක් ශ්‍රී යහන් වන්නේය.

සත්රුවන් කර්මාන්තයෙන් විසිතුරු වූ මිටිඇති කොන්ත සද්දහසක් සද්දහසක් වන්නේය.

එකි එකී ප්‍රාසාදයක් සමීපයෙහි වටකොට ඡද්දන්ත නම් හස්තිරාජයා ප්‍රධාන කොට ඇති සද්දහසක් සද්දහසක් හස්තීහු සියලු හස්ත්‍යලඞ්කාරයෙන් සරහණලදුව මුදුනෙහි බඳනාලද රන්ධජ, රිදීධජ ආදිය ඇතිවැ රන්දැලින් පිට වසන ලදුව සත්රුවන්මය සන්නාහයෙන් සන්නද්ධව සැරහී සිටිනාහ.

එසේම වළාහක නම් අශ්වරාජයා ප්‍රධාන කොට ඇති ස්වර්ණාලඞ්කාරයෙන් සැරහුනා වූ සත්රුවන්මය සන්නාහයෙන් සන්නද්ධ වූ ආජානීය සෛන්‍ධව වූ සත්දහසක් සද්දහසක් අශ්වයෝ සැරහී සිටිනාහ.

එසේම සත්රුවන්මය වූ නගනලද රන්ධජ, රිදීධජ ඇති සියලු රථාලඞ්කාරයෙන් සැරහුනා වූ බාලාර්කමණ්ඩලයන් හා සමානවූ තමන් තමන්ගේ ආලෝකසමූහයෙන් සියලු ප්‍රාසාදය ගලා පියන්නක් වැනිවූ සද්දහසක් සද්දහසක් රථයෝ සැරහී සිටිනාහ. එකිළු කී මාලෙක දිව්‍යප්සරාවන් හා සමානවූ සියලු ස්ත්‍රී ආභරණයෙන් සැරහුනා වූ නැටීම්-ගීකීම්-බෙරවැයීම් ආදියෙහි දක්‍ෂ වූ හාවභාවලීලාකටැක්‍ෂමන්‍දස්මිතයෙන් යුක්ත වූ ආතත විතතාදි පඤ්චාඞ්ගිකතූර්යභාණ්ඩයන් ගන්නාලද අත් ඇති උභයකුලපරිශුද්ධ උත්තමවංශයෙහි උපන්නා වූ සද්දහසක් සද්දහසක් නාටකස්ත්‍රීහු සැරහී සිටිනාහ. ඔවුන් හැමදෙනාට ප්‍රධානවූ අගමෙහෙසුන් බිසවු චන්‍දමුඛි නම් වන්නාහ.

ඒ චන්‍දමුඛී නම් බිසවු විශිෂ්ට වූ රූපශ්‍රී ඇත්තාහ. දර්ශනීය වෙති, බැලුවන්ට ප්‍රසාද එළවති, උතුම් වූ වර්ණසෞන්‍දර්යයෙන් සමන්විත වෙති, ඉතා උස් නො වෙති, ඉතා මිටි නො වෙති, ඉතා දුර්වල නොවෙති, ඉත් ස්ථූල නොවෙති. ඉතා කැළි නොවෙති. ඉතා එළෙලි නො වෙති, මනුෂ්‍යරූපය ඉක්ම සිටිනාහ, දිව්‍යරූපයට නො පැමිණෙන්නාහ. ඒ බිසවුන්ගේ ශරීරයෙන් සඳුන්සුවඳ වහනය වන්නේය, මුඛයෙන් මහනෙල් මල් සුවඳ හමන්නේය, ශරීරාලෝකය දොළොස්රියනෙක පැතිර සිටිනේය. කපුපුළුන් ඉඹුල්පුළුන් සේ මොළොක් සුවපහස් ඇති ශරීරස්පර්ශ වන්නේය. කෙසකල්‍යාණය-අට්ඨිකල්‍යාණය-මංසකල්‍යාණය-ඡවිකල්‍යාණය-වයකල්‍යාණය යන මේ පඤ්චකල්‍යානයෙන් සමන්විත වන්නාහ. එම ජන්මයෙහි රහත් ව නිවන් දක්නට සුදුසු කුසල් ඇතිහෙයින් පශ්චිමාත්මභාව ඇතිවන්නාහ. ඒ මහබෝසතාණන්ගේ පුතණුවෝ බ්‍රහ්මවර්ධන කුමාර නම් වන්නාහ. ඒ කුමාරයෝත් අපගේ සර්වඥයන් වහන්සේට පුත්‍රවූ රාහුල කුමාරයන් මෙන් පිරූ පාරමිතා ඇතිව ඉහාත්මභාවයෙහි රහත්ව නිවන් දක්නට සුදුසු පින් ඇතිහෙයින් පශ්චිමභවික වන්නාහ. ඒ බ්‍රහ්මවර්ධන කුමාරයන් ප්‍රධාන කොට ඇති දහසක් පුත්‍රයෝ වන්නාහ.

එකි එකී ප්‍රාසාදයෙහි යොදනක් යොදනක් පමණ දිග පුළුල ගැඹුර ඇති නිධානසැළ සතරක් ඇර ගත්තැන් පිරෙන බැවින් සැළකටින් සත්රුවන් වමාරන්නාක් මෙන් පිරී ඉතිර සිටින්නේය. ඒ ප්‍රාසාදවල සතර සතර කොණ කප්රුක් සතරෙක් පොළොව පලාගෙන නැගී නොයෙක් වස්ත්‍ර නොයෙක් ආභරණ නොයෙක් උපකරණාදියෙන් බබළමින් සැරහී සිටිනේය.

එකි එකී ප්‍රාසාදයෙක මහබෝසතාණෝ තුමූ දිව්‍යකුමාරයක්හු මෙන් සර්වාභරණයෙන් සරහා පිළියෙල කරනලද ශරීර ඇත්තාහු එසේම සර්වාභරණයෙන් සැරහුනා වූ උපමාවියොතික්‍රාන්ත වූ රූපසෞන්දර්යයෙන් යුක්තවූ ස්ත්‍රීසමූහයා විසින් පිරිවරණ ලදුව අවුරුදු දහසක් අවුරුදු දහසක් සම්පත් අනුභව කෙරෙමින් වාසය කරන්නාහ.

එසමයෙහි අජිත නම් මහබෝසතාණන්ගේ කුශලානුභාවයෙන් මෙහෙයන ලද්දාවූ සියලු ජම්බුද්වීපයෙහි කෙතුමතී නම් රාජධානිය ප්‍රධාන කොට ඇති සුවාසූදහසක් රාජධානිවල රජ දරුවෝද, ශඞ්ඛ නම් චක්‍රවර්තිරජ්ජුරුවන් හා සමග අවශේෂ දිව්‍යමනුෂ්‍යයෝ ද, මහබෝසතාණන් කරා එළඹ නිදුකාණන් වහන්ස! අපි හැම නුඹවහන්සේට අත් පා මෙහෙවර කරනු කැමැත්තම්හ යි කියා මුහුණ බල බලා සිටිනාහ.

එසඳ මහබෝසතාණෝ අපට වෙය්‍යාවත් කරන්නෝ වෙති. තෙපි සැම තොප තොපගේ වාසස්ථානවලට ම යවයි ඒ රජ දරුවන් ආදිවූ දිව්‍යමනුෂ්‍යයන් තමන් තමන්ගේ වාසස්ථානවලටම යවන්නාහුය. එසමයෙහි මහාබෝධිසත්ත්‍වයන් හා සමග දිව්‍යලෝකයෙන් චුතව අවුත් කෙතුමතී නම් රාජධානියෙහි ඒ ඒ උතුම් වූ කුලවල උපන්නාවූ අටළොස් කෙළක් පමණ දිව්‍ය පුත්‍රයෝ බෝධිසත්ත්‍වයන්ට අමාත්‍යමණ්ඩල වන්නාහ.