බ්‍රහ්මවතී නම් බැමිණිදේවීන් පිරුණුතෙල්පාත්‍රයක් මෙන්ද සමසක් මුළුල්ලෙහි කුසින් බෝධිසත්ත්‍වයන් පරිහරණය කොට පිරිහුන් ගප්ඇතිව උයනට යනු කැමැති වන්නාහ. එසමයෙහි උද්‍යානයට යන්නාවූ මාර්ගය සමකරවා නොයෙක් මල් සුවඳදුම් සුවඳසුණු කෙහෙල්ගස් ධජපතාක පුන්කළස පුන්නාලි ආදියෙන් සරහා බෝධිසත්ත්‍වමාතාවන් රන්සිවිගෙයක හිඳුවා මහත්වූ පෙරහරින් මහත්වූ ශ්‍රීසෞන්‍දර්යයෙන් සපු-හෝපලු-නා-දොඹ-කීන-දඹ-මිදෙල්-නදුන්-සඳුන් ආදී නොයෙක් වෘක්‍ෂසමූහයෙන් ගැවැසීගන්නා වූ මුලපටන් අගදක්වා ප්‍රභාසම්පන්න වූ සුවඳමලින් සුපුෂ්පිත වූ නීලාදි පඤ්චවර්ණ භාඞ්ගයන් විසින් අතු පත් මල් අතුරු ආදියෙහි සඤ්චාරය කරන්නාවූ නොයෙක් මත්මොනර කොවුලුකෙවිල් ආදි සියගණන් පක්‍ෂි සමූහයා විසින් රැව් පිළිරැව් දෙන ලද්දා වූ නන්‍දනවනයෙන් ගිලිහී බිමවැටී ගියාක් වැනි වූද, මහානුභාවසම්පන්න රජ්ජුරුකෙනකුන්ට මනාකොට සරහා පිළියෙල කරන ලද සුරාපාන මණ්ඩලයක් වැනිවූ ඉතා සශ්‍රීක ඉසිපතන නම් නාගවනොද්‍යානයට ගෙනයන්නාහ. ඒ බෝධිසත්ත්‍වමාතාවෝ රන්සිවිගෙන් බිමට බැස මහත්වූ පිරිවරින් උයනවට ඇවිදිනාහු සුපිපි මල්රුකක් මුලට පැමිණ සර්වාභරණයෙන් සැරහී දකුණතින් මල්අත්තක් අල්වාගෙන නැගෙනහිර සක්වළ දිශාව බල බලා සිටම මහාබෝධිසත්ත්‍වයන් වදන්නාහ.
යම්සේ අන්‍ය සත්ත්‍වයෝ මවුකුසින් බිහිවන්නාහු පිළිකුල්වූ මලමුත්‍රාදීන් ගැවසුනු ශරීර ඇතිව බිහිවෙද්ද, බෝධිසත්ත්‍වයෝ එසේ බිහි නො වන්නාහ.
මහබෝසතාණෝ වූකලී ධර්මාසනයකින් බස්නාවූ මහා ධර්මකථික කෙනකුන් මෙන් දික්කරන ලද හස්තපාදයන් ඇතිව කසීවස්ත්‍රයෙක්හි තබනලද ජාතිරඞ්ගමාණික්‍යයක් මෙන් බබළමින් මවුකුසින් බිහිවන්නාහ.
ඉක්බිත්තෙන් ඒ බෝධිසත්ත්‍වයන් ප්‍රහීණකාමරාගයන් ඇති සුද්ධාවාසබ්‍රහ්මලෝකයෙහි වසන්නාවූ මහාබ්‍රහ්මයෝ සතරදෙනෙක් අවුත් රන්දැලින් පිළිගෙන මෑණියන් අභිමුඛයෙහි තබා දේවීනි! සතුටුසිත් ඇතිවව. මහානුභාවසම්පන්න පුතණු කෙනෙක් තොපට උපන්නෝ වේදැයි කියන්නාහ.
ඒ මහාබ්‍රහ්මයන් අතින් සතරවරම්මහරජදරුවෝ ප්‍රශස්ත යයි දන්නා ලද සුවපහස් ඇති අඳුන්දිවිසමකින් පිළිගන්නාහ. ඒ වරම්රජදරුවන් අතින් අමාත්‍යයෝ දුහුල් සුඹුළකින් පිළිගන්නාහ. ඔවුන් අතින් බැස සමපත්ලෙන් භූමියෙහි පිහිටා නැගෙනහිරදිග බලමින් සිටිනාහ. එකෙණෙහි පිරිසිදු නිර්මල ශරීර ඇත්තා වූ ඒ මහාබෝධිසත්ත්‍වයන් හා බෝධිසත්ත්‍වයන්ගේ මෑණියන්ට සත්කාර පිණිස ආකාශයෙන් ස්ඵටික මාණික්‍යමය වූ ජලධාරාවෝ දෙදෙනෙක් අවුත් දෙදෙනාගේම ශරීරයේ සෘතුගන්වන්නාහ. හුදුජලධාරාවෝ මතුපහළවන්නාහූ නො වෙති. වැළි කුමක්වේද? යත්:- යටකියන ලද්දාවූ ප්‍රකාර ඇති පෘථිවිකම්පාදි වූ දෙතිස්පූර්වනිමිත්ත පහළවන්නේය.
මෙසේ පහළවූ නොයෙක් ආශ්චර්ය ඇති මහබෝසතාණෝ නැගෙනහිරදිග බලමින් මා හා සමාන කෙනෙක්වත් අධික කෙනෙක්වත් ලෝකයෙහි ඇද්දෝ නැද්දෝ හෝයි පරීක්‍ෂා කරන්නාහ. එසඳ නොයෙක් කෙළලක්‍ෂගණන් සක්වළ එකාඞ්යන වන්නේය. එහි දිව්‍යමනුෂ්‍යයෝ ගඳ-දුම්-මල්-පහන් ආදීන් පූජාකෙරෙමින් මහාපුරුෂයාණන්වහන්ස! මෙහි නුඹවහන්සේ හා සමාන කෙනෙකුන් නැත. එහෙයින් මෙහි නුඹවහන්සේට උත්තරිතරකෙනෙක් කොයින්දැයි අස්වසා කියන්නාහ. මෙසේ සතරදිගය, සතරඅනුදිගය, උඩය, යටය යි දසදික් බලා එයින් තමන් හා සමාන කෙනෙකුන් නොදැක මේ උත්තරදිශාභාගයයි නියම කොට සත්පියවරක් නඟා යන්නාහ.
එසඳ මහාබ්‍රහ්මයා දෙවෙනි පුන්සඳක් බඳුවූ සේසත් මුදුනට ධරා අල්වන්නාහ. සුයාම නම් දිව්‍යපුත්‍රයා වල්විදුනාව අල්වා සලන්නේය. එක්දිව්‍යපුත්‍රයෙක් රන්රුවන් කර්මාන්තකරණ ලද මඟුල්කඩුව අල්වන්නේය. එක් දිව්‍යපුත්‍රයෙක් රන්මිරිවැඩි සඟළ අල්වාගෙන යන්නේය. එක් දිව්‍යපුත්‍රයෙක් දිව්‍යමය වූ නළල්පට අල්වාගෙන යන්නේය. බෝධිසත්ත්‍වයෝ වූකලි තුමූ බාලකුමාරව සිට සොළොස් හැවිරිදි වයස් ඇති කෙනකුන්මෙන් ද, තුමූ නග්න තැනැත්තෝ කසීසළුහන්කෙනකුන් මෙන්ද, තුමූ නො සැරහුණු තැනැත්තෝ චක්‍රවර්තී අලඞ්කාරයෙන් සැරහුණු කෙනෙකුන් මෙන්ද, බිමන් යන තැනැත්තෝ ආකාශයෙන් යන කෙනෙකුන් මෙන්ද සියලු සත්ත්‍වයන්ට පෙනෙන්නාහ.
ඒ උත්තරදිශාභාගයෙහිත් නොයෙක් කෙළලක්‍ෂගණන් සක්වළ එක් එළී වන්නේය. ඉක්බිත්තෙන් එදිග මහාබ්‍රහ්මයා බ්‍රහ්මාභරණයෙන් සැරහී බඹ දුහුල්සළුවක් එකාංශකොට බහා දකුණු දනමඬල බිමහැන වම්දනමඬල ඔසවා සිටුවා එකඇඟිල්ලකින් දහසක් සක්වළ දසඇඟිල්ලෙන් දසදහසක් සක්වළ ආලෝකකරන්ට සමර්ථව මහානුභාව සම්පන්න වූයේ නොයෙක් දහස් ගණන් බ්‍රහ්මසමූහයා විසින් පිරිවරන ලදුව දොහොත්මුදුනෙහි පිහිටුවා නිදුකාණන් වහන්ස! සියලු දසදිග බැලීමෙන් ප්‍රයෝජන කිම්ද? අවීචියෙහි පටන් භවාග්‍රය දක්වා භවාග්‍රයෙහිාා පටන් අවීචිය දක්වා සරසින් අනන්තාපරිමාන සක්වළ නුඹ වහන්සේ හා සමවූත් අධිකවූත් කිසි සත්ත්‍වයෙක් නම් නැත්තේය යි කියන්නේය. එසමයෙහි මහබෝසතාණෝ සියලු සර්වඥවරයන්ට චාරිත්‍ර වූ උත්තමනාද සඞ්ඛ්‍යාත වූ සිංහනාද කෙරෙමින් සියලු ලොව එකනින්නාද කෙරෙමින් සියලු ලොවට අග්‍ර වෙමි, ජ්‍යෙෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ කෙළවර ජාතිය ය, නැවත මට පුනරුත්පත්තියෙක් නැත්තේය යි” මෙසේ අභීතනාද පවත්වන්නාහ.
එසඳ සියලු දිව්‍යමනුෂ්‍යයෝ මහබෝසතාණන් අපමණ වූ පූජාසත්කාරයෙන් උදාරතර වූ ශ්‍රීසමෘද්ධියෙන් මහත්වූ උත්සවයෙන් කෙතුමතී නම් රාජධානියටම ගෙනයන්නාහ. ඒ මහබෝසතාණන්ට මවු වූ බ්‍රහ්මවතී නම් බැමිණිදේවි සත්වැනිදවස් කාලක්‍රියා කොට තුෂිතදිව්‍යලෝකයෙහි මහේශාක්‍ය වූ දිව්‍යපුත්‍ර ව උපදනාහ. මෙසේ ඒ මෛත්‍රෙයබෝසතාණෝ බ්‍රාහ්මණ මහාසාර කුලයෙහි ඉපද අනන්තාපරිමාණ වූ මහපිරිවරින් අනන්ත වූ යසසින් මහත්වූ ශ්‍රීසෞන්දර්යයෙන් දිව්‍යකුමාරයකුමෙන් වැඩිවිය පැමිණෙන්නාහ.