මහබිනික්මන

මෙසේ ඒ ප්‍රාසාද-නාටක-පරිවාර සමෘද්ධිය දක්වා දැන් ඒ මහබෝසතාණන්ගේ මහාභිනික්මන් දක්වන්නාවූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ:-

“රමිස්සති රති සම්පන්නො මොදමානො මහාසුඛො,

අනුභවිත්‍වා යසං සබ්බං නන්‍දනෙ වාසවො යථා”

යනාදීන් මෙසේ වදාළසේක. කෙසේද? යත්:-

මෙසේ අතිශයින් සමෘද්ධ වූ මහායුගයෙහි සම්පූර්ණ වූ පාරමිතා ඇති අජිතකුමාරයෝ ගිහිගෙයි සිට දිව්‍යපඤ්චකාමරතිය ඉක්මවන්නාක් වැනි වූ මනුෂ්‍යකාමරතියෙහි මස්තකප්‍රාප්ත වූ පඤ්චකාමකොට්ඨාසයෙහි ඇල්මෙන් යුක්තව එම කාමරතියෙන් සතුටුව සර්වඥතාඥානයෙන් පිරිසිඳ කියන්ට නො පිළිවන් වූ සැපයට පිහිටවූ බොහෝ සැපයට සුදුසු වූ උපකරණ අතුරුනැතිව උපදනාහෙයින් මහත්වූ කායික චෛතසික සැපයෙන් සිත් අලවා බොහෝ කලක් වාසය කොට නන්‍දනොද්‍යානයෙහි දිව්‍යඓශ්චර්ය අනුභව කරන්නාවූ වාසව සඞ්ඛ්‍යාත ශක්‍රදේවේන්‍ද්‍රයන් පරිද්දෙන් සියලු දිව්‍යලෝක මනුෂ්‍යලෝකයන් එකතැනට රැස්කොට ලූවාක් වැනිවූ මහත්වූ සම්පත්, මහත්වූ යසස්, අපමණවූ ශ්‍රී සමෘද්ධිය අනුභව කෙරෙමින් අටදහසක් අවුරුදු මුළුල්ලෙහි ගිහිගෙයි වැස චන්‍ද්‍රමුඛී නම් අගමෙහෙසුන් බිසවුන් බ්‍රහ්මවර්ධන නම් පුත්රුවන වැදූදා නුවණ මිහිකිරීමෙන් කල්පිරුණු කල්හි එක්දවසක් මහපෙරහරින් මහත්වූ ආනුභාවයෙන් දිව්‍යවිමානයක් සේ සශ්‍රීක වූ උතුම් රථයකට පැන නැගී උයන්කෙළියට යන්නාහු දෙවියන් විසින් මවා පානලද ජරාජිණී රූපයක් දැක යෞවනමදය හැර කලකිරුණා වූ සිත් ඇති බෝධිසත්ත්‍වයෝ උයන් කෙළියට නොගොස් එතන සිටම පෙරළා නුවරට අවුත් නැවතත් එක්දවසක් උයන් කෙළියට යන්නාහු පඤ්චකාමරතිය නැසීමට කාරණවූ ව්‍යාධිරූපයක් දැක ආරොග්‍යමදය දුරුකොට උයනට නොගොස් පෙරළා නුවරට අවුත් නැවතත් එක්දවසක් උයන්කෙළියට යන්නාහු එසේම දෙවියන් විසින් මවාපානා ලද මෘතරූපයක් දැක ජීවිතමදය සැර වජුපර්වතයෙහි දක්නාලද රන්ධ්‍රයක් මෙන්ද, අලුතපිපි උතුම් රත් පියුමෙක දක්නාලද නිශ්‍රීකයක් මෙන්ද සූර්යවිමානයෙහි දක්නාලද අන්‍ධකාරයක් මෙන්ද, ශරත්කාලයෙහි නිර්මල වූ සම්පූර්ණ චන්‍ද්‍රමණ්ඩලයෙහි දක්නාලද අසෞම්‍යබවක් මෙන්ද, දිව්‍යබ්‍රහ්මවිමානයෙහි දක්නාලද මලමූත්‍රයක් මෙන්ද තමන්ගේ ශ්‍රීසමෘද්ධියෙහි දක්නා ලද විපිළිසර ඇත්තාහු නන්‍දනවනයෙහි උකටලී වූ දිව්‍යපුත්‍රයක්හු මෙන්ද, වස්තුකාමක්ලේශකාමයෙහි ආදීනව දැක්මෙන් තමන්ගේ ශ්‍රී සමෘද්ධියෙහි කලකිරී නැවත එක්දවසක් උයන්කෙළියට යන්නාහු ආකාශයෙහි දෙවියන් විසින් දක්වනලද ප්‍රව්‍රජ්‍යා සැපයෙන් සුඛිත වූ ශ්‍රමණරූපයක් දැක ඊට අභිනන්‍දනය කොට මහණවීමෙහි අභිප්‍රාය උපදවා උයන්කෙළි කෙළ දෙවියන් විසින් සරහා පිළියෙල කරන ලදුව නුවරට වැද ප්‍රාසාදයට පැනනැගී සියලු සත්ත්‍වයන් විසින් අනුභවකරන්නාවූ සංසාර දුඃඛය දැක කරුණාවෙන් කම්පිතවූ සිත් ඇති හෙයින් මහාකාරුණිකවූ තෘෂ්ණාච්ඡන්‍දය දුරුකළාවූ සසර කළකිරුණාවූ ඒ මහබෝසතාණෝ සියලු ධර්මයන් අතුරෙන් එක ධර්මයකුත් මේ නිර්වාණධර්මයට උත්තරීතර නොවන හෙයින් නිරුත්තරවූ නිර්වාණය නිසා සකලක්ලේශයන් සන්හිඳෙන හෙයින් ශාන්තිකරවූ සර්වඥයන් ප්‍රධාන කොට ඇති සියලු මහෝත්තමයන්ට පිහිටවූ නිර්වාණධර්මය සොයමින් සියලු බෝධිසත්ත්‍වවරයන්ට ධර්මතාවූ මහභිනික්මන් නික්මෙන්නාහ.