අනුවාදමාර්ගය

ආචාර්ය ගුරුළුදැමියන් ධර්මවිනයෙහි දු සමයාන්තරයෙහි දු ශබ්ද ශාස්ත්‍රයෙහි දු කාව්‍යනාටකාදියෙහි දූ කෙළපත් මහ පඬිවරයකුසෙ ‘ධර්මප්‍රදීපිකා’යෙන් වුව ද දත හැකි යැ. ධර්මව්‍යාක්‍යානයෙහි ලා ඔවුන් දක්වන චාතුර්යය අත්‍යර්ථයෙන් මැ විස්මය එළවයි. අර්ථොද්ධාර යැ, නිරුක්ති යැ, පර්යායවවනයැ, ප්‍රත්‍යයොද්ධාරයැ, ප්‍රත්‍යයාර්ථ දිපන යැ, සාධක යැ, ආප්තවචන යැ යනාදි ව්‍යාඛ්‍යානාඞ්ග ඔවුන් ගේ ‘ධර්මප්‍රදීපිකා’ නම් ව්‍යාඛ්‍යානමාර්ගයෙහි බෙහෙවින් දක්නා ලැබේ. ඒ මතු ද නො වේ. එක් මැයෙකින් මැය වැළක් මවා-ගෙනැ ව්‍යාඛ්‍යානමාර්ගය පළල් කිරීමෙහි දු සමර්ථ වෙති. මෙ යැ, නිදර්ශනයෙක් නම්:

“දහනපරිගතා වීය කුඤ්ජරො වනගහනා ගෙහා නික්ඛමිත්වා-යන මෙයින් මහාපුරුෂයා ශ්‍රද්ධාදිපඤ්චධර්මයෙහි සිට පඤ්චදුශ්ශීලයෙහි ආදීනව දැකැ පඤ්චසීල හා උපොසථසීල ගිහිගෙයි සිට පිරියහැකි වූ ද, සර්වාකාරපරිපූර්ණ කොට සමාධිපදස්ථාන වූ බ්‍රහ්මචර්යා පුරන්නට අශක්‍යයෙන් ‘මනාපකායිකා’ නම් දෙවතාවන් බඳු අභිරූප ස්ත්‍රීන් විසින් රම්‍ය වූ ගිහි ගෙ පියා ලැව්ගිනි ගත් වනගහනයෙකින් නික්මෙන ඇතක්හු සෙයින් නික්මුණු පරිදි කීහු”

‘ධර්මප්‍රදීපිකා’යෙහි ලා එන තෙල වැකියෙහි දී “දහනපරිගතා” යනාදි පාඨය මැය කොට තබා-ගෙනැ එයින් මැ ශ්‍රද්ධාදි පංචධර්මයෝ යැ, පංචදුශ්ශීල යැ, ප්‍රාණවධයෙහි ආදීනව යැ, අදත්තාදානයෙහි ආදීනව යැ, කාමමිථ්‍යාචාරයෙහි ආදීනව යැ, මාෂාවාදයෙහි ආදීනව යැ, සුභාෂිතවචන යැ, මද්‍යපානයෙහි ආදීනව යැ, පංචශීල යැ, ශීලඵල යැ, පෞෂථශීල යැ, පෙහෙවස්හි ඵල යැ, දිව්‍යසුඛ යැ, මනාපකායිකදෙවතාවො යැ, මනාපකායික දෙවත්වය කරන අෂ්ටධර්ම යැ, ස්ත්‍රීන් අභිරූප වන්නට හෙතු යැ යි ෂොඩශමාතෘකාවක් මතු කොට ගෙනැ පෙළිනුදු අටුවායෙනුදු ආප්තවචනයෙනුදු ප්‍රමාණ ඇරැ පාමින් සුවිස්තර ධර්මව්‍යාක්‍යානයක් කරති. එහි අවසනැ “මෙතෙකින් ‘දහනපරිගතා විය කුඤ්ජරො වනගහනා ගෙහා නික්ඛමිත්වා’ යනුයෙහි සම්භව වන පරිකථා උද්දේශයෙන් දක්වන ලදි.” යනු කියමින් තමන් මෘතෘකා නැඟු සැටි දු කියති. අල්පවස්තුවක් ව්‍යාසවශයෙන් වින්‍යාස කිරීමෙහි ලා මොවුන් තුළ පැවැති පාරිණත්‍යය මෙයින් පෙනේ.

“ශ්‍රමණඵල නම් කවරැ ය ක්: ජාති ජරාමරණදුඃඛයෙන් පරිමුක්ති යැ”

මෙ ද ‘ධර්මප්‍රදීපිකා’ යෙහි එන වාක්‍යයෙකි. මෙහි “ගර්භාවක්‍රාන්තිමූලක දුඃඛ යැ, ගර්භපරිහරණ මූලක දුඃඛ යැ, ගර්භවිපත්ති මූලකදුඃඛ යැ, විජායනමූලකදුඃඛ යැ, ගර්භයෙන් බහිර්නිෂ්ක්‍රමණමූලකදුඃඛ යැ, ආත්මොපක්‍රමමූලකදුඃඛ යැ, පරොපක්‍රමමූලකදුඃඛ යැ යනාදි අනෙක දුඃඛයනට මුල් වන බැවින් ජාතිය දුකෙකි” යනාදී විසින් කියැ යුතු ඉතා පළල් ධර්මකථාවක් දෙ තුන් වචනයෙකින් කෙටි කොට කියා ඒ දුඃඛයෙන් පරිමුක්තිලක්ෂණ නිර්වාණපදප්‍රාප්තිය ද එක් මැ වචන යෙකින් සැකෙවින් කියත්. ‘ශ්‍රමණඵල’ය මාතෘකා කොට ‘රතනාවලි’ය සා මහත් පොතක් ලියූව ද, ගුරුළුගොමීන් ගේ තෙල කෙටි වැකියෙහි එ හැම ඇතුළත් වෙයි. සුවිස්තර ඇති දැයෙහි සාරය හකුළා කීමෙහි චාතුර්යය මෙයින් පෙනේ.

හැකුළු දැය අරුත් විසින් පළල් කොට ලිවීමෙහි දූ පළල් දැය හකුලා ලිවීමෙහි දූ යම් කෙනෙක් සමර්ථ වෙත් නම් එබඳු සමර්ථයෝ දුර්ලභයහ. එ බඳු සමර්ථ ලේඛකයන් කෙරෙහි දූ ගුරුළුගොමීන් නෙත්තියෙහි මැ සිටුනාසෙ මෙහි අළ නිදර්ශන කිහිපයෙක් දත හැකි යැ. ගුරුළුගොමීන් ගේ අනන්‍යසාධාරණ පද ඝටනාව ඔවුන් ගේ විශේෂය කියන විහ්නයක් වුව ද, “පාළියෙහි පද සිටි සැටියෙන් ගත් ඡායාමාත්‍ර මිසැ උන් ගේ විශේෂදක්ෂතා නො වෙති”යි කියනුවෝ ඇත. “ථුතිමංගල ගීතෙහි” යන මෙහි පරිකථා ද “බොධිගුත්තාදිහි පාලිතො” යන මෙහි පරිකථා දැයි ඔවුන් කළ ඉබොහෝ පරිකථා බලත් මැ, ඒ අනන්‍යසාධාරණ පදඝටනාව ඇත. ඒ පරිකථා පාළිපාඨයෙක අනුවාද නො වේ. පාළිපාඨයෙක ඇසිරි ඇත ද, නැත ද, ඔවුන්ගේ පදඝටනාව නම් ඔවුන් මැ ගේ විශේෂය දක්නට නුවණැතියන් යන ඝණ්ටාපථයෙකි. ඔවුන් ‘ධර්මප්‍රදීපිකා’යෙහි දී සියබසින් ‘කලිඟු කථා’ව ලියමින් පළ කළ අනන්‍යසාධාරණ පදඝටනාව පිණිසැ කිසි දු පාළිපාඨයෙකැ ආශ්‍රයෙක් නැත.

පන්සියපනස් ජාතක පොත ‘ජාතකට්ඨකථා’යෙහි අනුවාදයකි. සද්ධර්මරත්නාවලිය ‘ධම්මපදට්ඨකථා’යෙහි අනුවාදයෙකි. සද්ධර්මාලංකාරය ‘රසවාහිනි’යෙහි (-සහස්සවත්ථුයෙහි) අනුවාදයකි. සිංහලබොධිවංශය ‘පාළිබොධිවංස’යෙහි අනුවාදයකි. සිංහල ස්තූපවංශය ‘පාළිථූපවංස’යෙහි අනුවාදයෙකි. එළුඅත්තනගලුවංශය ‘හත්ථවනගල්ලවිහාරවංස’යෙහි අනුවාදයකි. සද්ධර්මරත්නාකරය ‘සාරසංගහ’ නම් ග්‍රන්ථයෙහි අනුවාදයකි. මෙසේ පෙළබසින් වැටෙමින් ආ බොහෝ දැය පුරාණාචාර්යවරයෝ සියබසින් අරවා තැබූහ. ගුරුළුගොමීහු මතු නො වෙති. පෙළ ඇසිරි කොට පොත් කළ බොහෝ ඇදුරුහු ඇත. එසේ වුව ද, එ හැම පොත් එක් පසෙක තබා ගුරුළුගොමින් කළ ‘අමාවතුර’ විරුදු පසැ තබා ශ්‍රැතිරම්‍ය වූත්, විමර්දක්ෂම වූත්, ක්‍රමබද්ධ වූත් වාක්‍යවශයෙන් අගය නඟත් මැ, එහැම පොත් එක වට මඩනට ‘අමාවතුර’ සමත් වෙයි.

ගුරුළුගොමින් ගේ අනුවාදයෙහිත් සෙසු ඇදුරන් ගේ අනුවාදයෙහිත් දක්නා ඉමහත් අතුර එයට හේතු වෙයි. සෙසු ඇදුරුහු පාළිපාඨය හෝ අටුවාපාඨය හෝ ඇසිරි කොට ගෙනැ තමන් සැපැයූ උපමායෙන් තමන් සැපැයූ පරිකථායෙන් සදමින් අනුවාද කෙරෙති. විදැහු මොණරපිල් කලබක් සෙයින් මූලපාඨය පළල් කොට දක්වති. එයින් මැ ඔවුන් ගේ චාතුර්යය හා බහුශ්‍රැතභාවය හා දක්වති. ගුරුළුගොමීහු අමාවතුරෙහි ලා එමඟ නො ගනිති. ඔහු මූලපාඨය අඩු වැඩි නො කොට සියබසින් අරවා තබත්. තමන් සැපැයූ උපමාවක් හෝ විස්තරයක් හෝ එහි ලා නො කියත්. අංගුලිමාල දමන, නාලාගිරි දමන, නන්දොපනන්දදමන, ආළවකදමන, සච්චකදමන, බකබ්‍රහ්මදමන යන මේ කථා ‘බුද්සරණෙ’හි ලියූ සැටි හා ‘අමාවතුර’හි ලියූ සැටි හා සසඳන්නේ යැ. ‘රතනාවලිකාර’යන් අටුවා අනුවාද කරන සිටි දූ ගුරුළුගොමින් අටුවා අනුවාද කරන සැටි දූ සසඳන්නේ යැ. ඒ සැසැදිල්ලෙන් සෙස්සන් ගේ අනුවාදමාර්ගයෙහි මහත් අතුර පැහැදිලි වෙයි. ගුරුළුගොමිහු ශ්‍රැතිරම්‍ය වූත්, විමර්දක්ෂම වූත්, වචන යොදමින් මූලපාඨයෙහි බැසැ සිටුනා අර්ථය හකුළා ගෙනැ එහි ඇති සැටි මැ මිසැ නො කියති. ඔවුන් ගේ අනුවාදයෙහි දී විස්තෂ්ට සඳහා වත් මූලපාඨය අඩු වැඩි නො කෙරෙති. එසේ ද වත්, ගුරුළුගොමි ඇදුරිඳු බුත්සරණකාරයන් සෙයින් රතනාවලිකාරයන් සෙයින් කථා වස්තුවක් රස ඔවා විදහන්නට අසමර්ථයහයි නොසිතියැ යුතු යැ. ‘ධර්මප්‍රදීපිකා’යෙහි ලා ‘කලිඟුකථා’ව රස ඔවා විදහා කීමෙන් වස්තුවිකාශනයෙහි පරමාචාතුර්යය දක්වා-ලූ හෙයිනි.

ගුරුළුගොමීහු කථාශරීරයෙහි පිරැවිය යුතු තැනක් දුට අන් අටුවායෙකින් කරුණු ලා එ තැන පුරවනු මිසැ හානි නො කරති. ‘අමාවතුරෙහි’ එන ‘ස්වසන්තානදමන’ය නම්, ‘ජාතකඅටුවා’යෙහි එන ‘අවිදුරනිදානකථා’ව ඇසිරි කොට ගෙන කළ අනුවාදයෙක් වේ. එහි “සිංහයො නාද කෙරෙති” යනුදු “තුඩු දසදහසක් සක්වළැ සතලිස් දහසක් වරම් රජහු සහපිරිවරින් අවුදු ගබ්දොර පහාදොර පටන් ගෙනැ සක්වලගල් දක්වා වටා අරක් ගත්හු” යනුදු “නැහැ හඬවනුවන්” යනුදු “දුගඳ වා විහිදුනවුන්” යනුදු ‘අවිදුරනිදානකථා’යෙහි නැත. එසේ වුව ද, ඒ ඒ කරුණු අන් තැනෙකින් ගෙනැ යොදති. ‘පරසන්තාන දමන’ය ද ‘ජාතකඅටුවා’යෙහි මැ අනුවාදයෙක් වේ. එහි “එ කල්හි සැරියුත් මුගලන් දෙ දෙන දෙසිය පනස් දෙනකු ගෙනැ බුදුන් කරා එළඹැ එහිභික්ඛුභාවයෙන් පැවිජි වැ සහ පිරිවරින් රාත් වැ අගසවුතන් පත් වූහු” යනු දු “එක්බිති කොසොල් රජහු දු සමන්කුමාරි පන්සියක් රථපිරිවරින් ගඳමල් ගෙනැ නික්මුණු” යනුදු අන් තැනෙකින් ගෙනැ යොදති. ‘ජාතක අටුවා’යෙහි ‘සන්තිකනිදානකථා’යෙහි මෙ කරුණු නො එයි. මතුයෙහි දු ඒ ඒ තැනැදී අවශ්‍ය දැය අන් තැනෙකින් ගෙනැ ඌනපුරණ කරනසෙ මූලපාඨ හා අනුවාද හා සසඳත් මැ දත හෙන්නේ යැ. ගුරුළුගොමින් ඒ ඒ පරිච්ඡේදයෙහි අනුවාද සඳහා යම් මැ අටුවාකථාවක් ඉදිරියෙහි තබාගත ද, කිසි තැනෙක දී ඒ අටුවාකථායෙහි සඳහන් නොවන කරුණත් තෙවළායෙහි ඒ ඒ තැනින් නඟා ගෙනැ එහි ගළපා ලන සැටි සමහරු නො දනිති. එ නො දැනැ අනුවාද, මාත්‍රයෙහි සමත්සෙ කියා ගුරුළුගොමින් පසසන්නාහු බොහෝහ.

ගුරුළුගොමිහු පෙළ අටුවා නො තබා දත් නුවණ හා විස්මයාවහ ප්‍රතිහාශක්ති හා තමන් කළ ගත්ති ලා දක්වති. ‘අමාවතුරෙ’හි ‘දුරදාන්තදමන’ නම් ප්‍රථම පරිච්ඡේදය වුව ද, ඔවුන් ගේ විස්මයාවහ ප්‍රතිභාගතිය කියා පානට නිසි නිබන්ධයෙකි. ඒ පරිච්ඡේදය මූලපාඨයෙකැ අනුවාදමාත්‍රයෙක් නො වේ. සියබසෙහි එන පැරැණි පද්මිණි පියන්පත ඒ ප්‍රථමපරිච්ඡේදය වේ. ඒ ඒ විෂය පිණිසැ ජාතකථා දෙසිය පහක් පමණ සිමිදැ - ගෙනැ දාවත්මුතුවැළින් ඒ පියන්පත විසිතුරු කළසේ පෙනේ. ‘ජාතකකථාසංග්‍රහයක්’ හෝ ඇසිරි කොට ගෙන අමාවතුරෙහි ප්‍රථමපරිච්ඡේද ලියන ලදැයි නොකියැ යුතුයැ. ‘ධර්මප්‍රදීපිකා’යෙහි දී “ජින්නං මෙ ගිනිබන්ධනං” යනුවට පරිකථා කරමිනුදු ගුරුළුගොමිහු ජාතකපොතෙහි ලා පැවැති කෞෂල්‍යය දක්වති. ජාතක අටුවායෙහි ගත් භාණ්ඩුකර්ණ-පාණ්ඩුකර්ණාදීන් ගේ පවත් ඈ නොඑක් දෑ ‘ධර්මප්‍රදීපිකා’යෙහි නොඑක් තැනැ නො පැකිළැ පැවැති නුවණ මැ ඔවුන් ගේ එළියසෙ පෙනේ. ගුරුළුගොමිහු තම නැණපමණින් දුටුවා මිසැ මෙරමා ගේ සංග්‍රහයන් තමන් සැපැයූ දැය සෙයින් පැහැරැ ගෙනැ සිය ගත්හි ලා ලොව වළහමින් වියත්කම් නොකියනු වෙති. ‘දුර්දාන්තදමන’ පරිච්ඡේදය මැ ගුරුළුගොමින් නවඟසසුන්හි එක අඟෙකැ පුහුණු ලත් සැටි කියතුදු එහි ලා විමති පහළ කරන අය ද මෙ කලැ ඇත. අනෙක් ශාසනාංගයෙහි ඔවුන් වියත්කම් දක්වන සැටි ‘ධර්මප්‍රදීපිකා’ යෙහි දී පෙනෙනුයෙන් අපට මෙහි විමතියෙන් නැත. ඔවුන් ගේ ආගමධරභාවය සඳහා ‘අමාවතුර’ උසස් නොවේ. ‘අමාවතුරෙ’හි එන බුද්ධචරිත හැම දා බෞද්ධයන් කෙරෙහි පළට වැ ඇත. බෞද්ධයන් දන්නා දැය වුව ද, එය කියන බසෙහි බැසැ සිටුනා රසය නිසා ‘අමාවතුර’ හෙළයනට රසව් පොතෙක් වි යැ. එයින් මෙහි වටනා කම නම් බස අතින් ඇති වටනාකම වේ. ගුරුළුගොමිනුදු සියබස පිණිසැ මැ මෙ ගත් කළසෙ සිතියැ හෙයි. සෙස්සන් වචන ශතයෙකින් කියන දැය තමන් දෙ තුන් වචනයෙකින් කියන හෙයිනුදු එ දෙ තුන් වචනය ද පවා විමර්දක්ෂම වත් මිසැ බොරු බස් නොවන හෙයිනුදු හෙළදිවැ පළ පැරැණි පදවැළ හා වියත් වැකි මිසැ කිලිටි පද හා නොවියත් වැකි නො ලියන හෙයිනුදු වියරණ වැට නො බිඳැ රැකැගන්නා සැටි දක්වන හෙයිනුදු වැකි බැඳුමෙහි දී පැරැණි හෙළ නියර මැසැ දෙමළ නියර අනු වැ නොයන හෙයිනුදු මූල පාඨයෙහි තුබූ සැටි මා සියබසින් අරවා තබනු මිසැ අඩු වැඩි නොකරන හෙයිනුදු ගුරුළු ගොමීන් ගේ ‘අනුවාද’ය ඉස් වටා බණන්නක්හු සෙයින් හැම තැනැ මතු වෙයි.