අමාවතුර හා ගුරුළුගොමීහු

star_outline

සව්සත කෙළ පැමිණි ගුරුළුගොමි වියත් සිළුමිණිහු අමාවතුරු නම් ‘බුද්ධචරිත’ය කරනුවෝ ග්‍රන්ථාරම්භයෙහි ලා “නවගුණ හැම කියත්, නොපිළිවතින් ‘පුරිසදම්මසාරථී’ යන පදය ගෙනැ අප බුදුන් පැරුම් පුරා බුදු වැ දෙව්රම්වෙහෙර පිළිගෙනැ එහි වෙසෙමින් තුන් ලොව්හි සැරිසරැ විෂමපුරුෂයන් දමා අමාමහනිවන් පැමිණවූ සෙ නොවියත් හුදී ජනන් සඳහා සියබසින් මා විසින් සැකෙවින් දක්වනු ලැබේ” යනු කියති. මෙයින් මුළු ගත්හි පිණ්ඩාර්ථය දක්වත්. තමන් කරන ‘බුද්ධචරිත’ය නම් ‘පුරිසදම්මසාරථි’ යන පදයෙහි සංවර්ණනාමාත්‍රයක් වත් මුත් අනෙකක් නොවනසෙ ද කියත්.

අටළොස් පරිච්ඡේදයෙකින් පිරිසුන් මෙ ගත්හි දුර්දාන්තදමන යැ, ස්වසන්තානදමන යැ, පරසන්තාන දමන යැ යන පරිච්ඡෙද තුන වනාහි “අප බුදුන් පැරුම් පුරා බුදු වැ දෙව්රම්වෙහෙර පිළිගෙනැ” යනුවෙන් පළමු වන වට මුලැ මැ අළ වස්තුනිර්දේශයෙහි ලා කියූ කරුණු විස්තර කරන්නට වෙන් කරති. ගෘහපතිදමනයැ පටන් ගෙනැ බ්‍රහ්මදමනය තෙක් ඇති පසළොස්පරිච්ඡේද ‘පුරිසදම්මසාරථි’ යන පදය විස්තර කරන්නට වෙන් කරති. එහෙයින් මැ ‘මෙසෙ බුදුහු දෙව්රම්වෙහෙරැ දහම් අමාවහරෙ වස්වමින් වැඩැ වසනුවො තුන්ලොව්හි සැරි සැරැ උපාලිගහපති ඈ සිටනුදු ........ බක ඈ බඹනුදු දමා අමාමහනිවන් පැමිණිවූහු” යි දෙ වන වට පටන් ගනිමින් සතර වන පරිච්ඡේදයෙහි මුලැ දී ඒ ඒ දුර්දාන්තපුරුෂයන් වෙන මැ නිර්දේශ කරත්.

විද්‍යාචක්‍රවර්තීන් කළ බුද්ධචරිතයෙහි වාක්‍යච්ඡේදයක් පාසා “බුත්සරණ යා යුතු” යනු ඇත. එනිමිත්තෙන් ඒ බුද්ධ චරිතයට බුත්සරණ යන නම රූඪ වි යැ. එසෙයින් මැ මෙ ගත්හි දු ‘අමාමහනිවන් පැමිණිවූහු’ යි පරිච්ඡේදාන්තයෙහි බෙහෙවින් සිටුනා ‘අමා’ යන ශබ්දය මිසැ අමාවතුර යන නම පිණිසැ අන් හෙතුයෙක් නො පෙනේ.

මෙහි දෙ තැනෙකැ ගුරුළුගොමිහු ‘ධර්මප්‍රදීපිකාව’ සඳහන් කරති. “මෙ කර්මයන් ගෙ විභාග ‘ධර්මප්‍රදීපිකා’ නම් ‘මහබොධිවංශපරිකථා’ යෙන් දන්නෙ යැ. හෙ බුද්ධධර්ම යැ. මේ බුද්ධචරිත යැ” යනු එක් තැනෙකි (142 පි:). ගුරුළුගොමීහු මැ ‘අමාවතුර’ බුද්ධචරිත වත් මුත් බුද්ධධර්ම නොවනසෙ මෙයින් කියති. බුද්ධධර්මය නම් අමෘතගාමීමාර්ග වන හෙයින් අමාවතුරක් විය හෙත් මැසැ බුද්ධචරිතය අමාවතුරෙක් නොවිය හෙයි. එසේ ද වුව, මෙ ග්‍රන්ථප්‍රබන්ධයට අමාවතුර යන නම තබති. මෙහි අමෘතගාමීමාර්ගය නොවනතුදු ග්‍රන්ථාරම්භය පටන් කොටැ පරිච්ඡේදාන්ත ද පවා නො හැරැ ගොස් ග්‍රන්ථාවසානයෙහි දු වැදැ සුනා ‘අමා’ ශබ්දය නිසා ශබ්දනිමිත්තක වැ නෛමිත්තිකනාම වශයෙන් අමාවතුර යනු ඝටිත වෙයි.

සියබසෙහි එන ‘වතුරු’ ශබ්දය ‘වතුරු’ ධාතුයෙන් මැ නිපන් ශබ්දයෙකි. පාළියෙහි එන ‘අවත්ථර’ යනු ඒ ධාතුයෙහි මූලය වෙයි. ‘වැතිරෙමින්’ යනාදි පද එයින් සිද්ධසෙ පෙනේ. ගලන ඔඝය ද වතුරන සැහැවි ඇත් නුයි ‘වතුර’ නම් වෙයි. හසු වන දැය මුහුද කරා වේ වයි, යම් මැ තැනකට වේ වයි, පමුණුවනු වතුරෙහි දහම වේ. මෙ ගත්හි වස්තුනිර්දේශය කළ තැන ‘අමාමහ නිවන් පැමිණවූ සෙ’ යනුවෙන් කී දෑ එ සැටියෙන් මැ වි යැ. ‘පැමිණැවීම්’ නැමැති ඔඝධර්මය මෙහි ඇත් නුයි ‘වතුරු’ ශබ්දය ද අත්‍යර්ථයෙන් මැ මෙහි ලා උචිත වෙයි. එයින් මැ නම ද සාර්ථක වේ.

ගුරුළුගොමීහු ‘බොධිවංශපරිකථා’වට ‘ධර්මප්‍රදීපිකා’ යන නම තබති. සකුබසින් එහි නම් කොට මෙහි ‘අමාවතුර’ යි සියබසින් නම් තබත්. පොත් දෙක එකකර්තෘක වුව ද, දෙපොත්හි බස් ආර වෙනස් වෙයි. ‘බොධිවංශපරිකථා’ වට සංස්කෘතභාෂායෙන් නම් තබනු නිසි වුව ද, මෙ ‘බුද්ධචරිත’යට සියබසින් මැ නම් තබනු මිසැ සකුවෙන් නම් තබනු නිසි නොවේ. එහි නිසිනොනිසිකම් දෙ පොත්හි බස් ආරින් මැ හෙළි වෙයි.

සිරිදම්රම් මාහිමිහු ‘අමාවතුර’ ලියූ ගුරුළුගොමි පඬිවරයා විසූ කාලය පරීක්ෂා කරමින් මෙසේ කියති:

“මේ මහා පඬිවර තෙම අසවල් කාලයෙහි වද්‍යාධර්මවහාසයෙන් ශ්‍රී ලංකාද්වීපය උද්දීප්ත කෙළේ ය යි වර්ෂ වශයෙන් කාල නියමයක් දක්වන්නට ඉතිහාසාරූඪ වාර්තාවක් නැතත්, අනුමෙය බුද්ධීන් සලකන කලැ ජම්බුද්‍රොණිපුරය රාජධානි කොට ගෙන ලංකාරාජ්‍යශ්‍රීපදප්‍රාප්ත වැ විසූ මහාවංශාදියෙහි සුප්‍රසිද්ධ ගුණමහිමාන්විත ‘කලිකාල සාහිත්‍ය සර්වඥ’ යන උපාධිධාරී වූ ද්විතීය පරාක්‍රමබාහු මහ රජාණන් ගේ කාලයට පූර්ව වැ තත්සමීපකාලයෙක්හි වාසය කළ සිංහල මහා පඬිවරයෙකැයි සැලැකිය යුතු වේ. අර්ථකථාචාර්ය බුද්ධඝොෂ මහා ස්වාමීන් වහන්සේ ගේ ද, ටීකාචාර්ය ශාරිපුත්‍ර මහාස්වාමීන් වහන්සේගේ ද ශාසනාභිවෘද්ධිකාලද්වයට අතර හා තත්සමීප කාලයෙහි ලෝසසුන් වැඩ වැඩූ ග්‍රන්ථකාර මහාපඬිවරයන් දක්වන තැන ද්විතීය ධර්මකීර්ති මහාස්වාමීන් ගේ ශාසනවංශකථායෙහි ශූරපාද ය. ධර්මකීර්තිපාද ය, ධරනාගපාල ය, රාජමුරාරි ය, කවිරාජශෙඛර ය, ගුරුළුගොමි ය, ආගමචක්‍රවර්ති ය, පරාක්‍රමපණ්ඩිත ය, අග්‍රපණ්ඩිත ය යනාදී වූ ශාස්ත්‍රාගමධාරී ගෘහස්ථ පණ්ඩිතජනයන් විසින් ද පශ්චිමජනතාවට අනුකම්පා පිණිස ධර්මානුගත ශ්ලෝක ප්‍රබන්ධ හා විචිත්‍රාර්ථ ප්‍රකාශක වූ සන්න ගැටපද හා නොයෙක් ව්‍යාඛ්‍යාන උපදවා ලෝ සසුන් වර්ධනය කරන ලද බැව් කියන ලද්දේය. මෙ කී මහපඬිවරයන් කෙරෙහි ඇතුළත් වූ ආචාර්ය ගුරුළුගොමීන් විසින් මේ ධර්මප්‍රබන්ධය මීට අවුරුදු සත්සියගණනෙකින් අතීතයෙහි ශ්‍රී බුද්ධවර්ෂයෙන් සතළොස් (17) වන ශතවර්ෂය ගත වූ ළඟ කලෙක්හි රචනා කරන ලදැ යි සැලැකියැ යුතු වේ. කරුණු කිම යත්? මේ ආචාර්යෝත්තමයන් විසින් ස්වකීය කෘතියට ගරු කොට ගන්නා ලදැ යි සිතිය යුතු ප්‍රකරණයන් අතුරෙන් “ජිනාලංකාරවර්ණනා” නම් මාගධග්‍රන්ථය ද එකෙකි. එය ශ්‍රී බුද්ධවර්ෂ 1700 ය පමණේ දී ලංකාරාජ්‍යාභිෂේකයට පැමිණ පන්තිස් වර්ෂයක් රාජ්‍යානුශාසනා කළා වූ කලිකාලසාහිත්‍යසර්වඥපණ්ඩිත පරාක්‍රමබාහු මහරජතුමන් කල්හි කරන ලද සිංහලශබ්දලක්ෂණයෙහි (සිදත්සඟරායෙහි) “ගුරුළුගොමි සඳගොමි රතැසිපා” යනු දැක්වූ හෙයින් සිද්ධාන්ත සංග්‍රහ රචනාකාලයෙන් ගුරුළුගොමීන් ගේ පූර්වත්ත්වය ද සුප්‍රකාශ ය. මෙ නයින් සලකන කලැ ගුරුලුගොමීන්ගේ කාලය 17 වෙනි 18 වෙනි ශතවර්ෂ දෙකෙන් සම්බන්ධ වූ අතර කාලයක් බව හැඟේ.”

ශ්‍රී ධර්මාරාම මාහිමියන් ‘ධර්මප්‍රදීපිකා’ව පිණිසැ ලියූ විඥාපනයෙහි දී කළ තෙල විනිශ්චය නොබිඳැලියැ හෙනසෙ පෙනේ. ‘ජිනාලංකාරවර්ණනා’ව බුදුන් පිරිනිවි එක්වාදහස් සත්සියෙහි කළ බව එහි අවසන්හි පැවැසිණ. ගුරුළුගොමීන් එයින් යම් යම් දැය ගත් බව පෙනෙනුයෙන් ඔවුන් විසූ කාලය ඉන් මෙ පිට විය යුතු යැ. එසේ වුව ද, කිසි ඇදුරු කෙනෙක් ජිනාලංකාරවර්ණාසාධකය තහවුරු කොට නො කියති. ‘ජිනාලංකාරවර්ණනා’ව නන් ගතින් කරුණු නඟා ගෙනැ ලියන ලද හෙයිනුදු ගුරුළුගොමිනුදු ජිනාලංකාරවර්ණනාකාරයන් නෙත් ලූ ඒ ඒ ගතින් මැ කරුණු ගත්සෙ සිතියැ හෙන හෙයිනුදු ජිනාලංකාරවර්ණනායෙන් ගුරුළුගොමීන් විසූ කාලය විනිශ්චයට නොයනසෙ ඔහු සිතත්, ගුරුළුගොමීන් ගේ ‘ධර්මප්‍රදීපිකා’යෙහි:

“තමසීති අනුබ්‍යඤ්ජන -

සමනුඛ්‍යඤ්ජිත විවිත්තලක්ඛණවිභවං[1],

පජ්ජලිතකෙතුමාලා -

ජාල[2] සමුජ්ජලිතරූපසොහං වන්දෙ”

යන ආර්යාගීතිය ඇත. ජිනාලංකාරයෙහි විජාතමංගලවර්ණනායෙන් උපුටා ගත් ගීයෙකි. ‘ජිනාලංකාරවර්ණනා’ව හා ‘අමාවතුර’ හා සසඳා නඟා ලියැ හෙන සාධක මෙහි නොදැක්වුව ද, මෙ ගීතිය ප්‍රමාණ කොට ගත හැකි වේ නම් ජිනාලංකාරය කළ හදන්ත බුද්ධරක්ෂිකාචාර්යයන් කෙරෙන් මොබ ගුරුළුගොමීන් විසුසෙ තහවුරු කොටැ කියැ හෙන්නේ යැ. ශ්‍රී ධර්මාරාම මාහිමියන් කියන කරුණු අනු වැ බු: ව: 18 වැනි ශතවර්ෂයෙහි දු මුල් අවධිය වන, පොළොන්නරු පුරැ මහ පැරැකුම්බා මහරජාණන් සමයෙහි මෙ පඬිවරයා විසුවනැයි ද එ මහ රජාණන් සතු සුප්‍රසිද්ධ ධර්මාගාරයෙහි නියුතු පඩිමිණිවැළෙහි රජමිණි සෙයින් වැජඹුණහ යි ද සලකම්හ.

අග්බෝ මහරජාණන් දවසැ දොළොස් මහකිවියන් කෙරෙහි පළට වැ සිටි ‘දැමි’ හු නම් ‘ගුරුළුදැමි’ හු යැ යි සිතන කියන අය ද ඇත. නාමමාත්‍ර ගෙනැ වරදවා ගත් දැයක් මිසැ සහේතුක දැයෙක් නොවේ. රත්නාවලිය කළ ශ්‍රීහර්ෂදෙවයෝ ක්‍රි:ව: 606 සිට 647 තෙක් භාරතයෙහි රජය කළ නරදෙව කෙනෙක් වෙති. රත්නාවලියෙහි එන:

“ද්වීපාදන්‍යස්මාදපි -

මධ්‍යාදපි ජලනිධෙර්දිශො ‘ප්‍යන්තාත්,

ආනිය ඣටිති ඝටයති -

විධිරහිමතමහිමුඛිභූත:”

යන ආර්යාව ගුරුළුගොමිහු ‘ධර්මප්‍රදීපිකා’යෙහි ලා දක්වති. අග්‍ර බෝධීහු යැ. හර්ෂදෙවයෝ යැ යන දෙ රජුන් සමකාලයෙහි ලා කියැහෙතුදු හර්ෂදෙවයන් පසු වැ වුසු හෙයින් ඔවුන් ගේ රත්නාවලිය අග්බෝ දවසැ වුසූ කිවිහු නො දක්කැ හෙති. එයින් ගුරුළුගොමින් අග්බෝ දවසැ වුසුසෙ සිතනු කියනු අකාරණ මැ වෙයි.

බුත්සරණ කළ විද්‍යාචක්‍රවර්තීන් වුසූ අවධිය අවිනිශ්චිත වුව ද, පොළොන්නරු අවධියෙහි ඔවුන් වුසුසෙ සලකන්නට කරුණු ඇත. ඔවුන් ගේ බුත්සරණට පසු වැ ‘අමාවතුර’ කළසෙ සිතන පඬිවරු ඇත. අමාවතුරෙහි වස්තුනිර්දේශය කරන තැනැ “බුදුගුණ අනන්ත වන බැවින් නවගුණ හැම කියත්, නොපිළිවනින්” යනුදු ඒ පඬිවරු සාධක කොටැ ගනිති. ගුරුළුගොමීන් ග්‍රන්ථාරම්භයෙහි මෙ බඳු බසක් කියන්නට හෙතු නම් යම් මැ කෙනකුන් නව ගුණ හැම කියන්නට බැසැ නොපිළිවත් වුසෙ දක්නට ලැබීම යැ යි ද “එසේ නොපිළිවන් වූවෝ විද්‍යාචක්‍රවර්තීහුනු”යි උන්ගේ ‘බුත්සරණ’ පිණිසැ කියූ දැයෙකැයි ද ඔහු සිතත්. අප ගේ කලණමිත් වන, සියබසෙහි කළ අත් ඇති, ලබුගම ලංකානන්ද පඬිහිමිහු තෙල කී දැය සාධක විසින් තර කොට ගෙනැ “බුත්සරණට පසු වැ අමාවතුර කළහ” යි නිශ්චයට බසිති.

අමාවතුරෙහි කී එ බස් දැකැ එය නිගන්නට ගොස් “නවගුණ හැම කියන්නට පිළිවන්සෙ දක්වම්හ”යි හටගත් දර්ප ඇති වැ “බුත්සරණ” කලහ යි ද එයින් ‘අමාවතුර’ට පසු වැ ‘බුද්සරණ’ ගෙතිණැයි ද විරුද්ධ වාද විසින් කියැ හෙතුදු ඇපි දු ලංකානන්ද හිමියන් ගත් මතය පිළි ගනුම්හ.

අමාවතුර ගොතන ගුරුළුගොමීහු උද්දේශ නිර්දේශ ප්‍රතිනිර්දේශ නිගමන විසින් සිය ගත්හි විභාග දක්වා මැනැවින් පරිච්ඡේද බිඳැ නිරවුල් කොට වියත් බසින් ලියූහ. සියබසින් ලියූ ධර්මප්‍රබන්ධයන් කෙරෙහි ‘අමාවතුර’ සෙයින් ක්‍රමානුකූල කොට ලියූ අන් ග්‍රන්ථයෙක් නැත. විද්‍යාචක්‍රවර්තීන් අමාවතුර බලා පසු වැ ‘බුත්සරණ’ ලියුසෙ සැබෑ වේ නම් එහි සංවිධානය අමාවතුරට වඩා මනා වන්නේ ය. එක් මැ හිත්තියක් ඇසිරි කොට ලියන පොත් අතරැ පළමු පොතට වඩා දෙ වන පොත සංවිධානයෙන් ප්‍රෞඪ වෙයි. සංවිධානයෙන් ‘අමාවතුර’ මඩනට ‘බුත්සරණ’ නොපොහොසත් වේ. ‘බුත්සරණ’ මඩනට ‘අමාවතුර හා සසඳා බලත් මැ, දෙ පොත්හි නම් ගොතා-ලූ සැටියෙනුදු සංවිධානය සකස් කැරැ-ලූ සැටියෙනුදු බස සකස් කැරැ යෙදූ සැටියෙනුදු ‘අමාවතුර’ පසු වැ කළසෙ පිළිගැනේ. ගුරුළුගොමි ඇදුරිඳු ‘බුත්සරණ’ දැකැ නවගුණ හැම කියත්, නොපිළිවතින් එක් ගුණයක් ගෙනැ නමිනුත් සංවිධානයෙනුත් බසිනුත් ‘බුත්සරණ’ට වඩා උසස් කොට සිය ගත නිමහම් කළසෙ පිළිගත මනා මැ අවධියෙහි වුසූ බව ද සැලැකියැ හෙයි.

ගුරුළුගොමි ඇදුරිඳු කලිඟුරටින් මෙහි පැමිණ මෙහි දී හෙළබස ඉගෙනැ පොත් ලියූ පඬිවරයෙකු සේ පිළිගන්නා උගත්තු ඇත. පුරාතනයන් ‘කාලිංග හෙළු’ව යන නම ‘අමාවතුර’ පිණිසැ කී බව හා ගුරුළුගොමි වහරෙහි ඇති වෙනස හා සාධක වශයෙන් කියති. මුඛපරම්පරායෙහි වැටෙන කාලිංග හෙළු’ව යන කථාමාත්‍රයෙන් වේ වයි, අනන්‍යසාධාරණ රචනාපද්ධතිය නිසා වේ වයි, උදාර සිංහලයකු වන ගුරුළුගොමි ඇදුරු විදේශියකු කොට නොසැලකිය හේ මැ යැ. කාලිංග වංශය විජයමහරජාණන් කෙරෙහි වැටෙතුදු ඒ මහරජාණන් හෙළ දැයින් වෙන් කොට නො සිතත්. එසේත් තිබියැ දී ගුරුළුගොමීන් හෙළ දැයින් වෙන් කොට ලන්නට තර්ක නැඟීම මහත් වරදක් සේ පෙනේ.

ගුරුළුගොමීහු ධර්මප්‍රදීපිකාව පළමු කොට ලියූහ. එහි ‘සුළුකලිඟු කථා’ව ලියනුවෝ කාව්‍යරස බහා ගැදිකවක් සෙයින් බෙහෙවින් හුදුහෙළුයෙන් මැ ලියූහ. ‘ධර්මප්‍රදීපිකා’යෙහි ලා ධර්මව්‍යාඛ්‍යාන කරන්නට මිශ්‍රභාෂාව යෙදුව ද, ‘කලිඟුසිරිත’ හුදුහෙළුයෙන් ලියා වෙනසක් කෙළෙන් ‘කලිඟුහෙළු’ව යන ව්‍යවහාරය ඇති වි යැ. එහි අර්ථය නම්: “කාලිංගකථාව ලියූ හෙලුව” යනුයි. ‘අමාවතුරෙහි’ බස ද බෙහෙවින් ‘කලිඟුසිරිත’ ලියූ බස හා සම නුයි “අමාවතුර නම්, කාලිංග හෙළු යැ”යි කියන්නට වන්හ. එහි අර්ථය: ධර්මප්‍රදීපිකායෙහි එන කලිඟුහෙළුයෙන් ‘අමාවතුර’ ලියූ බව වෙයි. ග්‍රන්ථාකරයා කාලිංගයකු බව එයින් නොකියත්. ගුරුළුගොමීහු ‘අමාවතුර’ පටන් ගනිමින් “සියබසින් මා විසින් සැබෙවින් දක්වනු ලැබෙ” යනු කියති. අමාවතුරෙහි වැටෙන බස “සිය බස-තමන් ගේ නිරුක්ති යැ” යනු පිටරැටියකු විසින් නොකිය හැකි යැ. මෙහි ‘සියබස’ යන්නෙන් ද්වීපභාෂාව දක්වත්. එ වනාහි හෙළබසයි. ද්විවාසීන් හෙලූ බැවින් නොකියැ හෙත් මැ යැ. කාලිංගාදි දේශභාෂාවට නෑ සබඳකම් ඇති වචන ද පවා ගුරුළුගොමීහු නො ලියති. රතනාවලි-පූජාවලි ආදී හැම දෙමළවදන් හෝ දෙමළුයෙන් ආ වදන් හෝ ඇත ද, ගුරුළුගොමීන් ගේ පොත්හි එ බඳු බසෙකුදු නැත. තමන් ලියූ බසිනුදු හෙළධජ දක්වා තිබියැ දීත් ගුරුළුගොමීන් විදේශීය කාලිංගයකු කොට කෙසේ කියමෝ ද?”

“ගුරුළුගොමි-ගුරුළුදැමි” යන දෙ නැමින් මැ මේ පඬිවරයා දන්නා ලැබේ. ‘ගුරුළු’ යන මෙ කලැ කිසි කෙනකුන් ‘ගරුඩ’ යැයි සකුවට නඟා ලියතුදු ‘ගරුඩගොමි’යැ යි පැරැණි උගතුන් ලියූ තැනෙක් දක්නට නො ලැබිණ. අරුත් නො දැනැ නො සලකා හෙළවදන් පෙළ සකුවහරට නගත් මැ මූලාර්ථය නෂ්ට වනසෙ පෙනේ. “ජයමහලාන” යනු ‘ජයමාල’ යැ යි වෘත්තරත්නාකරපංචිකායෙහි දී සකුවට නඟා ලූහ. “විල්ගම්මූළ” යනු ල-ළභෙදයෙන් කියන අර්ථභේදය නො දැනැ, නො සලකා කෙනෙක් ‘සරසිගාමමූල’ යැ යි පෙළබසට නඟා ලියූහ. සියබසෙහි දී දෙන අර්ථය ඒ සකුවදනෙහි හෝ ඒ පෙළවදනෙහි හෝ නො ලැබේ. එ සෙයින් මැ ‘ගුරුළු’ යනු ‘ගරුඩ’ යැ යි සකුවට ගනුත් මැ, මූලාර්ථ නැති වැ යනසෙ සිතම්හ. ‘ගුරුළු’ යනු පැරැණි වහර දක්නට ඇති හෙයිනැ. එසේ නොවත් හොත්, පැරණි පෙළපත් නමෙක් හෝ විය හෙයි. “සවුළු විජෙබා” යන නමෙහි ‘සවුළු’ යන්න සෙයින් ‘ගුරුළු’ යනු දු මේ පඬිවරයා ගේ ගමෙහි හෝ පෙළපතෙහි හෝ නම වෙති යි අපි සිතම්හ. පොළොන්නරු අවධියෙහි බොහෝ පඬිවරු සියගත්හි ලා පෙළපත්නම හෝ උපාධිනාමය හෝ යෙදූහ. කවිසිළුමිණෙහි කර්තෘවරයා ‘පඬුඉඳු’ බව එහි සක්බැඳුම්හි එයි. ඒ ඔහු ගේ පෙළපත්නමයි. “කලිකාලසරස්වතී” නම් පඬිවරයා ගේ ආරාධනයෙන් “කලිකාලසර්වඥ” නරෙන්ද්‍රයන් එ කව කළසෙ කව්හි ඇත. ඒ නම් දෙක උපාධි දෙකෙකි. එහි ‘සරස්වතී’ යනු දෙවියකු ගේ නමෙකි යි සිතනුවන් ඇත ද පඬිවරයකු ගේ උපාධිනාම බව විශද වැ පෙනේ. විද්‍යාචක්‍රවර්තීන් ‘බුත්සරණ’ කළ බව පළට දැයෙකි. ‘විද්‍යාචක්‍රවර්ති’ යනු උපාධිනාම යි. මෙ සෙයින් පෙළපත් නමිනුදු උපාධිනාමයෙනුදු ග්‍රන්ථකාරයන් දක්වන සිරිත ඇත. ‘සවුළු’ පෙළපත් නැඟී ගියාක් සෙයින් ‘ගුරුළු’ යනුත් පැරැණි ගමක් මුල් කොට නැඟි පෙළපත්නමෙකැ යි සිතියැ හෙයි.

“දැමි” යනු ඉපැරණි තනතුරෙකි. “බණ් වජාරන දමිනට ඉසා දැදුර දමීනට ඉසා දමින් සජනක් හට ඉසා”යි මිහින්තලා ලිපියෙහි අමීහු සඳහන් වෙති. ඔහු ධර්මදේශකයෝ යැ ආචාර්යවරයෝ යැ යි දෙ පරිදි වෙත්. මේ ඇත්තනට රජුන් තනතුරු දුන් බව පැරැණි ලිපියෙන් පෙනේ. මේ පඬිවරුන් දහම් දෙසීමෙනුදු දහම් උගන්වා ලීමෙනුදු දුසිරිත් බිඳැ හැරැ රටහි දුර්දාන්තයන් දමනය කෙරෙමින් රජුට සේවා කළහයි සිතම්හ. එයින් මැ රජුන් අතින් ‘දැමිතනතුරු’ ලැබැ සාධුසම්මතයහ.

ගුරුළුගොමීහු දූ දැමි කෙනෙකි. පොළොන්නරුයෙහි මහලු පැරැකුම්බා මහරජාණන් ගේ ‘ධර්මාගාර’ යෙහි නියුක්ත වැ ‘දැමි තනතුරු’ ලැබැ-ගෙනැ දහම් ඉගැන්වීමෙන් ආචාර්ය වැ රට සෙමෙහි තබා ගෙනැ විසුසෙ පෙනේ. දහම් උගන්වනු දැමියනට අයත් නුයි පළමු වැ ‘ධර්මප්‍රදීපිකා’ව කළහ. සියතනතුරුනමට යෙදෙන සේ ‘පුරිසධම්මසාරථි’ පදය තෝරා ගෙනැ නොඑක් තැනැ ‘දැමි’ පදය බහා ලමින් ‘අමාවතුර’ ද කළහ. දශකුමාරචරිතය කළ දණ්ඩීන් ග්‍රන්ථාරම්භයෙහිලා සියනමෙහි වැටෙන ‘දණ්ඩ’ ශබ්දය සිහි කළාක් සෙයින් ගුරුළුගොමීනු දු සියනමෙහි වැටෙන ‘දැමි’ යන්න ‘අමාවතුර’ කරමින් නොඑක් තැනැ දී සිහි කළසෙ පෙනේ.

මෙහි ලා වෙසෙසින් සැලැකියැ යුතු දැයෙක් ඇත. ‘දැමි’ කිව ද, ‘මහොපාසක’ කිව ද, කාර්යයෙහි නියුක්තයෙකි. එයින් සියබසෙහි වැටෙ ‘දැමි’ ශබ්දය පිණිස සකුවෙන් ‘ගොමි’ යනු යෙදියැ හැකි යැ. බෞද්ධව්‍ය වහාරයෙහි වැටෙන ‘ගොමි’ ශබ්දය ‘මහොපාසක’ යන් කියනසෙ නිඝණ්ඩුශාස්ත්‍රයෙහි පළට වේ. මේ හේතුවින් ගුරුළුදැමි යනු මැ ගුරුළුගොමි යැ යි වහර පත්සෙ පෙනේ. අග්බෝ දවසැ පළට වැ සිටි ‘දැමින්’ වෙන් කරනු පිණිසැ පෙළපත් නම් විසින් හෝ ග්‍රාමනාමවශයෙන් හෝ ‘ගුරුළු’ යන උපපදය යෙදිණ. එය අන් බසෙකින් නොතැබියැ යුතු ශබ්දයෙකි. ‘දැමි’ යනු පිණිසැ ‘ගොමි’ යනු යෙදුව ද ‘ගුරුළු’ යනු පිණිසැ යෙදුව මනා ශබ්දයෙක් නැත් නුයි, ගුරුළුදැමි - ගුරුළුගොමි යන දෙ තන්හි මැ ‘ගුරුළු’ ශබ්දය නොබුන් වැ එයි. ඇතැම් පඬිවරුන් ගොමි ගැමි, දැමි’ යි විපර්යාසයක් සිතතුදු එය නොපිළිගත හෙයි. මෙ ලෙස විමසා බලත් බලත්, හෙළදිවැ ඉපැරැණි ‘ගුරුළු’ ගොත්‍රයෙහි උපන් ‘දැමි’ ඇඳුරිඳු ගුරුළුදැමි වේ නු යි, තෙල නම පෙළපත හා තනතුර හා කියන නමෙකි. අන් කරුණු තැන ද, ගුරුළුදැමි යන නැමින් මැ මේ පඬිවරයා පිරිසිදු හෙළයකු බව පෙනේ මැයි.

  1. සිරිවිභවං, මු: ති:

  2. ජාලං, ම: ති: