සියබසෙහි පදවැළ පෙළ සකුවහරින් සිද්ධ යැ. තත්සමවශයෙනුදු තත්හවවශයෙනුදු අද ද පවා සියබස සඳහා පද එයි. අන්‍යදේශභාෂායෙන් පැමිණි පදයෝ ඉතා අල්පයහ. පෙළසකුවහර හා සබඳකම් ඇති පදයෙන් ගොතන වැකි ද පෙළනියර හා සකුනියර හා අනු වැ තුබුව මනා වෙයි. ගුරුළුගොමීහු මෙ කරුණ මැනැවින් දැනැ තමන් ලියන වැකි නිරතුරු පෙළසකුවහර අනු වැ මැ ලියූහ. ඒ සැටියෙන් නොලියූ උගතුන් කළ ග්‍රන්ථ හා ගුරුළුගොමීන් කළ ග්‍රන්ථ සසඳන විට මතු වන ඒ වෙනස රසාවහ වෙයි. ගුරුළුගොමීන් ගේ නිබන්ධන රසාවහ වනුයේ ඒ හෙතුවිනි.
ව්‍යක්තභාෂාව හා අව්‍යක්තභාෂාව හා ලොවැ හැම දා ඇත. තෙල දෙ බසින් ලොකයාත්‍රාව පවත්නාසෙ අපි දැනුම්හ. ව්‍යක්තයෝ ඉතා විරලයහ. අව්‍යක්තයෝ බොහේා වෙති. අව්‍යක්තයන් වැඩිසෙ දැක ව්‍යක්තයා ද අව්‍යක්තගණයට යා යුතු වේ නම්, ව්‍යක්තයාගෙනුදු ව්‍යක්තභාෂායෙනුදු වැඩෙක් නො වෙයි. ව්‍යක්තයා ව්‍යක්තභාෂායෙන් ලියන්නේ යැ. ඒ නිබන්ධ අව්‍යක්තයන් ව්‍යක්ත කරන්නට සමත් වෙයි. පොළොන්නරු සෙමෙහි විසූ අව්‍යක්තජනයා ද උන් ගේ භාෂාව ද වැඩිසෙ දැකැ ගුරුළුගොමීහු අව්‍යක්ත නොවූහ. අව්‍යක්ත භාෂාව ද නො ලියූහ. ඒ හෙතුවින් ‘ධර්මප්‍රදීපිකා’ව ද ‘අමාවතුර’ ද අව්‍යක්තයන් ව්‍යක්ත කරන්නට සමත් වැ ඇත. ගත වූ දීර්ඝ කාලය තුළ මේ ව්‍යක්තරචනාව නිසා සිදු වූ වැඩ බොහෝ වෙයි. පොළොන්නරු අවධියට අයත් මුවදෙව්දාවත-සසදාවත ආදිය ලියූ බස එ කල රටවැසියන් බුණු බස් නො වේ. එසේ ද වත්, ඒ කව් රටවැසියන් පිණිසැ ගෙතිණ. ගුරුළුගොමින් ලියූ බස ද ඒ කලැ රටවැසියන් බුණු බස් නොවතුදු ඔවුන් ගෙතු ගත් රටවැසියන් පිණිසැ වෙයි. රටවැසියනට බසිනුදු වැඩදා වන සේ ලියයුත්තෝ නම් බස නිසි සේ දත් ව්‍යක්තයෝ මැ යැ.
බස අතින් සලකත් මැ ‘අමාවතුරෙ’හි කිසි තැනෙකැ ඉපැරැණි හෙළබස ද කිසි තැනෙකැ හුදු පෙළබස ද කිසි තැනෙක හුදු සකුබස ද කිසි තැනෙකැ මුසු බස ද කිසි තැනෙකැ සෙස්සන් නොලියූ වචනද ඇතිසෙ කියැයුතු යැ. “සැඛෙවින්, සථරුන්. සිද්ධත්කුමර, දිවසොධා, තිථයො, රථණියෙන්, අභිභවන්නට, නොධැමිට්, කම්පථ. පත්ධම්” ආදී විසින් මෙහි යොදන වචන හා ‘සිට්’ ආදි හලන්තශබ්ද පොළොන්නරු අවධියෙන් පෙරැ පැවැති වහර දක්වන යෙදුම් වෙයි. මෙහි පැනෙන පැරැණි බස් වහර නිසා ‘අමාවතුර’ ‘ධර්මප්‍රදීපිකා’වට වඩා පැරැණිසෙ පෙනේ. ගුරුළුගොමීහු කැලැ මැ ‘ධර්මප්‍රදීපිකා’ව ලියා පසු ‘අමාවතුර’ ලියූසෙ කියති. එයින් ‘අමාවතුර’ට වඩා ‘ධර්මප්‍රදීපිකා’ව පැරැණිසෙ දත හෙනු මිසැ බසින් නම් නොදත හෙන්නේ යැ. ‘අමාවතුර’ තුළ ඇති “තො කවරෙහි? තො කවරහු? දෙව්දුවක්මු” යනාදි යෙදුමුදු ප්‍රාකෘතලක්ෂණ බහුල කොට සිටුනා බස්වහර දු ප්‍රමාණ කොට ගනුත් මැ, පොළොන්නරු අවධියට වඩා පැරැණි බසින් හා පැරැණි සදනියරින් හා මෙ ගත් කළසෙ පෙනේ. “සන්තුසිත, එහි භික්ඛුභාව, ගයාසීය, සාසංක, සඤ්ඤම, දුබ්භොජන, දුක්ඛසෙය්‍යා, පටිපාටි, නිය්‍යාණික, පපටිකා, අබ්බොහාරික, පරියන්ත, ව්‍යාවට, ආලම්බන, අච්චන්තනිට්ඨ, අච්ඡන්දික” යනාදී පාළිවචන ද මෙහි යොදති. පාළිවචන සිට ව මැ ගෙනැ ලියනු අනුරාධපුරසමයෙහි පැවැති සේ හුදු පාළිවචන ද ඒ ඒ තැනැ යොදති. මෙයිනුදු ‘අමාවතුරෙ’හි බස පොළොන්නරු අවධියට වඩා පැරැණිසෙ පෙනේ. ‘පෂ්පධූපගන්ධ පරිවාසිත, පරමසෞභාග්‍යප්‍රාප්ත, ධ්‍යානචෙතනා, නිර්ව්‍යාපාර, ශත්‍රැමථන, ස්වර්ණශිවිකා, පරමදක්ෂිණිය, විප්‍රකාර, අනුයොගක්ෂම, විමාර්ජනක්ෂම, ප්‍රතිමුක්ත, නිෂෙධ. ප්‍රාදෙශිකඥාන, උද්වෙග, රොමහර්ෂ, යන්ත්‍රාරූඪ, ක්ලේශක්ෂොහ, උත්කර්ෂ, ශික්ෂිත, වික්ෂිප්ත, පර්යන්ත, අභිඥාපාදකධ්‍යාන, පර්ව, පරිෂෙක, නිරිහ, අන්තඃකූටාගාර” යනාදි සංස්කෘතවචන ද මෙහි ඇත. හුදු හෙළුවදන් වැළෙහි තැනැ තැන සකුවදන් ඇතියෙන් එ ඇතිබවෙකුදු නො පෙනේ. “කෙලෙස් වාසනාලව, වායව්‍යාදෙසෙහි, ගමන්ශ්‍රම, පුත්‍රසනා, සෘද්ධි පෙළහර, දුනුවායොධයන්, සර්වඥපවරුණ, ශිල්පසමහර, ස්වෙද බිඳුපොද, ඇඟිලිපර්වයක්, ලාරසපරිෂෙක, නෑසමාගමයෙහි” යනාදි මුසුබස ද මෙහි ඇත. හෙළුපද හා පෙළසකුපද එක් කොට ලියනු වරදසෙ දක්නවුන් මෙ කලැ ඇත ද, එ ද වරද න තිසෙ ගුරුළුගොමීන් ගේ වහරවිදියෙන් පෙනේ. එ මතු නොවේ. “චුල්ලධර්මා, අනුපාදාවිමෝක්ෂ” යනාදි විසින් පෙළ සකු පද ද එක් කොට ලියූ තැන් මෙහි වෙයි. “ඔස” යන පදයෙක් 43, 69, 67, 86, 101, 114, 128, 193, 218, 242, 243, 250, 250, 264, 300, 302 යන ලකුණු ධරන ඒ ඒ පිටුයෙහි ඇත. අන් පොතෙකැ, නුදුටුවිරූ පදයෙකි. සාහිත්‍යයෙහි දුර්ලභ පද ද මෙ ගත්හි යෙදුසෙ එයින් පෙනේ. හුදු හෙළුව ලියන වර්ණමාලයෙන් පෙළසකුවදන් ලියා සියබසෙහි ලා ගත් තැන් ‘ගුප්තිලකාවය’ය, කාව්‍යශේඛර’ය යනාදි පොත්හි ඇත. එහි එන “සිල්ප-දෙසන්තර” ආදි වචන නිදර්ශන වශයෙන් එළැවිය හෙයි. ‘අමාවතුරෙ’හි දු පෙළසකුවදන් හුදු හෙළුව ලියන වර්ණමාලායෙන් ලියා සියබස්බවට ගත්සෙ නො එක් තැනැ දක්නට ඇත. මෙහි නිදර්ශන මතු නො කළ ද, ග්‍රන්ථය හදාරන විට එ බඳු තැන් පාඨකයනට හමු වෙයි. මෙ හැම යෙදුම් ගුරුළුගොමීහු ‘සියබස’ කොට ගනිත්. ග්‍රන්ථාරම්භයෙහි ලා “සියබසින්” සැබෙවින් දක්වන ලැබෙ’යි සඳහන් කළ ‘සියබස’ නම් මෙ හැම යෙදුම් වෙයි. පෙළවදන් වේ වයි, සකුවදන්, වේ වයි, මුසුවදන් වේ වයි කියුව මනා අර්ථය පහළ කරන්නට පොහොසත් පදවැළ සියබසෙහි අඟපසඟසෙ අමාවතුරින් ප්‍රකාශ වේ.