චක්ෂුර් විඥාන ධාතුවය, ශ්‍රෝත්‍ර විඥාන ධාතුවය, ඝ්‍රාණ විඥාන ධාතුවය, ජිහ්වා විඥාන ධාතුවය, කාය විඥාන ධාතුවය, මනෝ ධාතුවය, මනෝ විඥාන ධාතුවය යි විඥාන ධාතු සතෙකි. එයින් චක්ෂුර් විඥානධාත්වාදි පස ප්‍රසාද රූප පසෙහි උපදී. ප්‍රසාද රූප පස ඒ විඥාන ධාතු පසට නිඃශ්‍රය වස්තු වේ. මනෝ ධාතුව හා මනෝවිඥාන ධාතුව ඒ ප්‍රසාදයන්හි නූපදී. ඒ ධාතු දෙකට නිඃශ්‍රය වන රූපය හෘදය රූපය ය. එයට වස්තු රූපය යි ද, හෘදය වස්තු රූපය යි ද කියනු ලැබේ. ප්‍රසාද නාමයෙන් නො කියන නමුදු එය ද එක්තරා ප්‍රසාදයෙකි. පඤ්චවෝකාර භවයෙහි සත්ත්වයකු උපදනා කල්හි ප්‍රතිසන්ධි චිත්තය සමඟ ම එය හා බැඳී එයට නිඃශ්‍රය වෙමින් හෘදය රූපය ද පහළ වේ. එය පහළ වන්නේ මහාභූත සතර හා වර්ණ ගන්ධ රස ඕජා රූප සතර ද ජීවිත රූපය ද සමඟ ය. ඒ රූප පිණ්ඩයට වස්තු දසක කලාපය යි කියනු ලැබේ. එය කලලාදි අවස්ථාවල සුදුසු පරිදි පැවතී, ශරීරය වැඩුණු පසු හෘදය කෝෂය තුළ පිහිටි ලෙය ඇසුරු කොට පවත්නට වන්නේ ය. හෘදය කෝෂයෙහි ස්ථිර ව පිහිටි ලෙයක් නැත. නිතර එයින් පරණ ලෙය බැහැර වන්නේ ය. අලුත් ලේ එයට පැමිණෙන්නේ ය. හෘදය රූපය එතැනට පැමිණෙන ලෙය ඇසුරු කොට ම පවතිනවා මිස ඉන් බැහැරට නො යන්නේ ය. මනෝධාතු මනෝවිඥාන ධාතු දෙකට නිඃශ්‍රය වන බව එහි ලක්ෂණය ය.
මොළය ශරීරයේ සිත් උපදනා තැන සැටියට බොහෝ දෙනා පිළිගනිති. අභිධර්මයේ සැටියට නම් කේශාදි ස්පර්ශය නො දැනෙන තැන් හැර මුළු සිරුරේ ම සිත් උපදනා බව කිය යුතුය. බෙහෙවින් සිත් උපදනා තැන සැටියට ද, ක්‍රියා සාධක සිත් උපදනා තැන සැටියට ද, ප්‍රධාන සිත් උපදනා තැන සැටියට ද, මූල චිත්තය උපදනා තැන සැටියට ද අභිධර්මයේ දැක්වෙන්නේ හෘදය රූපය ය. ක්‍රෝධය හා බිය ඇති වූ කල්හි හෘදය තදින් සැලෙන්නට වන බව ද, ශෝකය ඇති වූ කල්හි එය දැවෙන බව ද සෑම දෙනාට ම ප්‍රකට ය. එසේ වන්නේ ක්‍රෝධ භය ශෝකයෙන් හෘදයේ ඇති වන නිසා විය යුතු ය. ක්‍රෝධය හා භය ඇති වූ විට ශරීරයේ පැහැය කළු හෝ රතු වේ. ප්‍රීති ශ්‍රද්ධා ප්‍රේමාදිය ඇති වූ කල්හි ශරීරය පැහැපත් වේ. ශෝකය ඇති වූ කල්හි වියළේ. එසේ වීමට හේතුව සිත හා ලෙයෙහි ඇති සම්බන්ධය විය යුතු ය. එයින් සිත ලෙය ඇසුරු කොට පවත්නක් බව හැඟේ. සිත් උපදනා තැන මොළය යයි කියන්නවුන්ට ද නොයෙක් හේතු යුක්ති තිබේ. මනෝධාතු මනෝවිඥාන ධාතූන් ගේ නිඃශ්‍රය හෘදය රූපය යි ගැනීමෙන් එය කොහි තිබුණත් වැරදීමෙක් නොවේ.