සමහර විට ලිංග පරිවර්තනයෙන් ස්ත්‍රීහු පිරිමි බවට ද, පුරුෂයෝ ගැහැණු බවට ද පැමිණෙති. “තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො ඉත්ථිලිංගං පාතුභූතං හොති, තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනියා පුරිසලිංගං පාතුභූතං හොති” යි විනයෙහි ද ඒ බව දක්වා තිබේ. ලිංග පරිවර්තනය වන්නේ ද කර්මයෙනි. බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අතුරුදහන් වී ස්ත්‍රී ලිංගය පහළ වේ. ලිංග පරිවර්තනය පිළිබඳව කියයුතු කර්ම තත්ත්වය ගැඹුරු කරුණෙකි. එය අභිධර්මය නො දන්නවුන් වරදවා ගන්නා තැනකි. මනුෂ්‍යාත්මභාවය කුශලයකින් ම ලැබෙන්නකි. මිනිස් සිරුරෙහි කුශලකර්මජරූප මිස අකුශල කර්මජ රූප නැත. මිනිස් පුරුෂයා විසින් ලිංගවිපර්යාසයට හේතු වන බලවත් අකුශලයක් කළ කල්හි ඔහු ගේ ජනකකර්මය (උප්පත්තියට හේතු වූ කර්මය) එයින් දුබල වේ. එය ඉන් පසු පුරුෂභාව රූපයන් ඉපදවීමට නො සමත් වෙයි. කර්මයේ පීඩනයෙන් දුබල ජනක කර්මය ඉන් පසු ඒ සන්තානයෙහි ස්ත්‍රීභාව රූප උපදවයි. කලින් පැවැත්තා වූ පුරුෂභාවරූප ඒවායේ ආයුෂය ගෙවීමෙන් නිරුද්ධ වෙයි. ඉන් පසු පුරුෂයා ස්ත්‍රියක් වෙයි. පසු ව ඔහු ගේ සන්තානයෙහි ස්ත්‍රීභාවරූප ඇති කළා වූ ද කලින් පුරුෂභාව රූප ඇති කළා වූ ද කර්මය එකක් ම ය. එය ඔහුගේ උත්පත්තියට හේතු වූ කුශල කර්මය ම ය. මේ විර්‍ප්‍යාසයට දුරින් හේතු වන අකුශල කර්‍මය දැක්වීම පිණිස එය ප්‍රධාන කොට කතා කිරීමේ දී බලවත් අකුශලයෙන් පුරුෂලිංග අතුරුදහන් වී ස්ත්‍රී ලිංගය පහළ වෙතැ යි කියනු ලැබේ. එය පර්‍ය්‍යාය කථාවෙකි. එය පිළිබඳ ව කිය යුතු දෑ බොහෝ ඇතත් ඒවා දක්වන්නට ගිය හොත් පරමාර්ථ ධර්ම ලක්ෂණයෙන් බැහැරට බොහෝ දුර යැවෙන බැවින් මෙය මෙතෙකින් නවත්වනු ලැබේ.