කායප්‍රසාදයාගේ අනුසාරයෙන් කායවිඥානයට දැනෙන්නා වූ රූපය ස්ප්‍රෂ්ටව්‍ය නම් වේ. වර්ණරූපාදිය මෙන් ස්ප්‍රෂ්ටව්‍යය කියා භූත රූපයන් ගෙන් අන්‍ය වූ රූපයෙක් නැත. ස්ප්‍රෂ්ටව්‍යය යි කියනු ලබනුයේ පඨවි තේජෝ වායෝ යන මහා භූත තුනට ය. ආපෝ මහාභූතය සියුම් බැවින් ද, ඇතුලට ඇද ගන්නා ස්වභාවය ඇති බැවින් ද යම් කිසිවක් හා නො ගැටේ. එබැවින් එය ස්ප්‍රෂ්ටව්‍යයට නො ගන්නා ලදී. ආපෝ ධාතුව උත්සන්න ව ඇති ජලය ස්පර්ශ කළත් කාය ප්‍රසාදයේ ගැටෙන්නේ එහි ඇති ඉතිරි ධාතු තුන පමණෙකි. භූතයන් අතුරෙන් වඩා ම ස්පර්ශය දැනෙන්නේ පඨවි තේජෝ භූත දෙකේ ය. සුළඟින් ගස් පෙරළී යන්නේ ගොඩනැගිලි බිඳ වැටෙන්නේ වායෝ ධාතුවේ ම පහසින් නොව එහි වූ පඨවිධාතුවේ ද සැපීමෙනි. සෑම වස්තුවක ම භූතරූප සතර ඇති බැවින් යම්කිසි වස්තුවක් කයෙහි ගැටෙන කල්හි එහි වූ පඨවි තේජෝ වායෝ යන භූත තුන ම එකවර කායප්‍රසාදයේ ගැටේ. එහෙත් කායවිඥානය උපදිනුයේ එකවර ස්පර්ශ වූ ධාතු තුනෙන් එකක් පමණක් ගැනීමෙනි. උත්සන්න ධාතුවගේ වශයෙන් හා පුද්ගලයාගෙ බලාපොරොත්තුවේ ද සැටියට කායවිඥානයා ගේ ඉපදීම වේ. ගලක් පය සැපුණ කල්හි ගලෙහි තේජෝ වායෝ ධාතු දෙක ද කායප්‍රසාදයෙහි ගැටෙන මුත් එහි උත්සන්න වූ පඨවිධාතුව අරමුණු කරමින් කායවිඥානය උපදී. ගිනි අඟුරක් පෑගුණ කල්හි එහි පඨවි වායෝ දෙක ඇත ද තේජෝ ධාතුව උත්සන්න බැවින් තේජෝ ධාතුව අරමුණු කොට කායවිඥානය උපදී. බඳුනේ තිබෙන බත මෘදු ද තද දැයි විමසනු පිණිස බත් කැටයක් ගෙන තද කරන කල්හි එහි තේජෝ වායෝ ධාතු ඇත ද පුද්ගලයාගේ බලාපොරොත්තුවේ සැටියට පඨවි ධාතුව අරමුණු කොට කායවිඥානය උපදී. සුළඟෙහි පඨවි තේජෝ ධාතු දෙක ඇත ද වායෝ ධාතුව ගැන අපේක්ෂාවෙන් සුළඟට කය එල්වන්නා වූ තැනැත්තාට සුළං වැදීමේ දී වායෝ ධාතුව අරමුණු කොට කායවිඥානය උපදී. සුළඟේ සිසිල් පහස ලබනු පිණිස කයට සුළං ගස්වා ගන්නා වූ තැනැත්තාට එහි වූ තේජෝ ධාතුව ගනිමින් කායවිඥානය උපදී. මෙසේ ඒ ඒ ධාතුවගේ උත්සන්නතාවයේ සැටියට හා පුද්ගලයාගේ බලාපොරොත්තුවේ සැටියට කාය විඥානය උපදින සැටි තේරුම් ගත යුතුය.