ඝ්‍රාණ ප්‍රසාදයාගේ උපකාරයෙන් එහි උපදනා විඥානයට ද දැනෙන්නා වූ ඉෂ්ට වූ ද අනිෂ්ට වූ ද මධ්‍යස්ථ වූ ද ස්වභාවය හෙවත් ඝ්‍රාණ විඥානයට දැනෙන්නා වූ රූපය ගන්ධය ය. එය සෑම රූප කලාපයක ම, භූත රූප සතර ඇති සෑම තැනක ම, සෑම වස්තුවක ම ඇත්තේය. එහෙත් ඇතැම් වස්තුවක ඇති ගන්ධය ඉතා මඳ බැවින් එය කිසි කලෙක ඝ්‍රාණ විඥානයට නො දැනේ. තද ගතියෙන් යුක්ත වූ මහත් වස්තූන් කිසි කලෙක නාසිකා කුහරයට වැදී ඝ්‍රාණ ප්‍රසාදයෙහි නො ගැටෙන බැවින් ඒවායේ ගන්ධය ද නො දැනේ. ගන්ධය බහුල කොට ඇත්තා වූ ඇතැම් වස්තූන්ගෙන්, ගින්නෙන් ආලෝකය නික්මෙන්නාක් මෙන් ගන්ධය බැහැරට නික්මේ. වස්තුවකින් ගන්ධය නික්මීමය යි කියනුයේ ඒ වස්තුවට අයත් භූතයන් ගේ ගන්ධය බැහැර වීමකට නොව, වස්තුවේ හේතුවෙන් ගන්ධාධික රූප කලාප ඇති ව, භූත පරම්පරා වශයෙන් එය හාත්පස පැතිර යෑමට ය. ඒ රූප කලාපවල ධාතු සතර හා වර්ණ රූඵය ද ඇති බව දත යුතු ය. එසේ පරම්පරා වශයෙන් ඇති වී යන්නා වූ ගන්ධාධික රූප කලාපයෝ වායුව සමඟ නාසිකා කුහරයට පැමිණ ඝ්‍රාණ ප්‍රසාදයෙහි ගැටීමෙන් සත්ත්වයනට ගඳ දැනීම වේ. එසේ දැනෙන ගන්ධය නාසයෙන් පිටත ඇති වස්තුවක ගන්ධයක් නොව, නාසය තුළ ම තිබෙන ගන්ධය වුව ද, එය ඒ ගන්ධය ඇති වීමට හේතු වූ වස්තුවේ ගන්ධය සැටියට ද, එයින් නික්මෙන ගන්ධය සැටියට ද ව්‍යවහාර කරනු ලැබේ. ගන්ධයාගේ නානත්ත්වය එයට නිඃශ්‍රය වන මහාභූත ධාතූන්ගේ නානත්ත්වයෙන් වේ. ලෝකයෙහි අනේකාකාර ගන්ධයෝ වෙති. ඒවායින් සත්ත්වයනට රුචි වූ ගන්ධයන්ට සුවඳ යයි ද, අරුචි ගන්ධයන්ට දුගඳ ද යයි ද කියනු ලැබේ.