මුහුණේ ඡායාව කැඩපතට වැටෙන්නාක් මෙන්, දුර තිබෙන්නා වූ රූපයන් ගේ ඡායා ආලෝකය හේතු කොට ගෙන චක්ෂුඃ ප්‍රසාදයට වැටේ. එයින් දැකීමය යි කියනු ලබන රූප දැනීම ඇති වේ. පරතරයක් ඇතිවන සැටියට රූපය ම පැමිණ චක්ෂුඃ ප්‍රසාදය හා ගැටුණ හොත් පෙනීමක් නොවේ. එබඳු ගැටීමක් වුව හොත් රූපයේ භූතයන් ඇසෙහි වූ කාය ප්‍රසාදය හා ගැටී කාය විඥානය උපදී. කාය ප්‍රසාදය මුළු සිරුරෙහි පැතිර පවත්නා බැවින් චක්ෂුඃ ප්‍රසාදය පවත්නා උකුණු හිසක් පමණ තැන ද එය ඇත්තේය. එහෙත් කාය දසක කලාපයන් ගේ හා චක්ඛු දසක කලාපයන් ගේ මිශ්‍රණයක් නො වේ. ඡායාව පමණක් ගැටීමෙන් දුර තිබෙන අරමුණ ගන්නා බැවින් චක්ෂුඃ ප්‍රසාදය අසම්ප්‍රාප්ත විෂය ග්‍රාහක නම් වේ.
ඡායා ස්පර්ශයෙන් සිදුවන්නා වූ මේ දර්ශනය රූපය තිබෙන සැටියට ම සෑම කල්හි ම සත්‍ය වශයෙන් සිදු වන්නක් නො වේ. එක ම දෙය එක් අයකුට පෙනෙන සැටියට වඩා වෙනස් අයුරකින් තවත් අයකුට පෙනේ. එක් අයකුට ම වුව ද එක ම වස්තුව ඉතා දුර වූ විට එක් ආකාරයකින් ද, මඳක් දුර වූ විට තවත් ආකාරයකින් ද, සමීප වූ විට තවත් ආකාරයකින් ද, හොඳින් ආලෝකය ඇති කල්හි එක් ආකාරයකින් ද, ආලෝකය මඳ කල්හි එක් ආකාරයකින් ද, පියවි ඇසින් බලන කල්හි එක් ආකාරයකින් ද, නොයෙක් ආකාර කණ්ණාඩිවලින් බලන කල්හි නොයෙක් ආකාරයෙන් ද පෙනෙන බැවින් සත්‍ය දර්ශනය නිශ්චය කිරීම දුෂ්කර ය. සමහර විට එක ම දර්ශනයකුදු සත්‍ය නොවිය හැකි ය.
මහාභූතයන්ගෙන් වෙන් ව ශබ්දය පමණක් ඇති නො වේ. මහාභූත සතරය වර්ණ ගන්ධ රස ඕජා යන සතරය යන මේ රූප අට හා බැඳී ශබ්දය පහළ වේ. ශබ්දය සහිත ඒ රූප පිණ්ඩයට ශබ්දනවක කලාපය යි කියනු ලැබේ. එයට සම්බන්ධ වන භූතයෝ ඉතා සියුම් වෙති. අකාශගතික වෙති. එහි ඇති වර්ණය ද ඇසට අවිෂය ය. අඳුරු තැනක ගිනි කූරක් දැල්වූ කල්හි ආලෝක රූපකලාප ස්කන්ධයක් පහළ වන්නාක් මෙන් ශබ්දය ඇති වීමට හේතු වන දෙයක් සිදු වූ කල්හි ශබ්ද රූප කලාප ස්කන්ධයක් පහළ වේ. ආලෝක කලාප වැඩි වූ පමණට මහා ආලෝකයක් වන්නාක් මෙන් ශබ්ද කලාප වැඩි වූ පමණට මහා ශබ්දයක් වේ. අනේක කෝටි ගණනක් වූ රූප කලාපයන් ගේ පිණ්ඩයක් වූ පොල් ගෙඩිය එක් වස්තුවක් වශයෙන් චක්ෂුඃ ප්‍රසාදයෙහි ගැටෙන්නාක් මෙන් අනේක කෝටි ගණනක් වූ සද්දනවක කලාපස්කන්ධයක ඡායාව එක් ශබ්දයක් සැටියට ශ්‍රෝත්‍ර ප්‍රසාදයට පැමිණේ. එසේ පැමිණීමෙන් ශ්‍රෝත්‍ර විඥාන යයි කියනු ලබන හඬ දැනගන්නා වූ සිත එහි පහළ වේ. එයට ඇසීම යයි ද කියනු ලැබේ.
එක් තැනක හට ගත්තා වූ ශබ්දය භූත පරම්පරා වශයෙන් අහස්හි පැතිර යන්නේය. එසේ යන ශබ්දය කන තුළට පිවිසීමෙන් ඇසීම සිදු වෙතැ යි ඇතැමුන් සිතතත් එය එසේ නොවේ. ශබ්දයක් කනට ඇසුණු කල්හි එය අහවල් පැත්තේ අසවල් තැන ඇති වූ ශබ්දයකැයි අසන්නාට දැනේ. එසේ දැනෙනුයේ තිබෙන තැන තිබියදී ම රූපය ඇසට පෙනෙන්නාක් මෙන් තිබෙන තැන තිබිය දී ම ශබ්දය කනට ඇසෙන බැවිනි. ඉදින් ඇසීම, ශබ්දය කනට ඇතුළු වීමෙන් ම සිදු වේ නම් අසන තැනැත්තාට ශබ්දය ඇති වුණු දිශාව, ඇති වුණු තැන නො දත හැකි ය. හඬ අසන්නාට එය ඇති තැන ද දැනෙන බැවින් ශබ්දය කනට නො පැමිණ දුර තිබිය දී ම ඇසෙන බව කිය යුතුය. දුර තිබෙන ශබ්දය දුර තිබියදී ම ගන්නා බැවින් ශ්‍රෝත්‍ර ප්‍රසාදය ද අසම්ප්‍රාප්ත විෂයග්‍රාහක නම් වේ. ඝ්‍රාණ ජිහ්වා කාය ප්‍රසාද තුන තමා කරා පැමිණියා වූ ම අරමුණු ගන්නෝ ය. එබැවින් ඔවුහු සම්ප්‍රාප්ත විෂය ග්‍රාහකයෝ නම් වෙති.