ආහාර නො වැළඳීම ය, පමණට වඩා ආහාර වැළඳීමය, නො මනා ආහාර වැළඳීමය, ශීතෝෂ්ණ දෙකින් පෙළීමය, විෂ ශරීරගත වීමය, වෙහෙසීමය, නිදි නො ලැබීමය, සිත තැවීමය යනාදි කරුණු වලින් ශරීරයේ ධාතූහු කිපෙති. එයින් ක්‍රියා කිරීමෙහි අලස බවක් ඉක්මනින් ක්‍රියා කිරීමේ නො සමත් බවක් ශරීරයෙහි ඇති වේ. එයින් ශරීරය බරක් සේ දැනෙන්නට වන්නේය. විශේෂයෙන් පඨවි ආපෝ ධාතු දෙක උත්සන්න වීමෙන් ශරීරය බර වූවක් සේ දැනෙන ස්වභාවය ඇති වේ. එකල්හි ඒ ධාතු කෝපය දුරු කරන්නා වූ බෙහෙත් ආහාරාදිය සේවනය කළ හොත් ඒ ස්වභාවය දුරු වේ. ක්‍රියා කිරීමේ අනලස ස්වභාවය ද වහා ක්‍රියා කළ හැකි ස්වභාවය ද නැවත ඇතිවී ශරීරය සැහැල්ලු වූවක් මෙන් දැනෙන්නට වන්නේ ය. එය සිදුවන්නේ ශරීරයේ පළමු පැවති නො මනා රූප නිරුද්ධ වී ලහුතා රූපයෙන් යුක්ත වූ අභිනව රූප කලාප පහළ වීමෙනි. පසුව දැනෙන්නා වූ ඒ අනලස ස්වභාවය ලැහැල්ලු බව ලහුතා රූපය ය. මුදුතා, කම්මඤ්ඤතා රූප දෙක ද එය හා සමග ඇති මුත් ඒ අවස්ථාවේ දී ප්‍රකටව පෙනෙන්නේ ලහුතා රූපයාගේ ලක්ෂණය ය.
ශාරීරික මහා භූතයන්හි ඇත්තා වූ ඒවා ඉක්මනින් හා පහසුවෙන් ක්‍රියාවෙහි යෙදවිය හැකි බව වූ නො බර ගතිය ලහුතා රූපයාගේ ලක්ෂණය ය.