එක් ද්‍රව්‍යයක් ඇති තැන තවත් ද්‍රව්‍යයකට නො තිබිය හැකිය. ද්‍රව්‍යයක් ඇති වීමට සිස් තැනක් තිබිය යුතුය. ආකාශ ධාතුව යයි කියනුයේ සිස් තැනට ය. එය සෑම ද්‍රව්‍යයකට ම ස්ථානය ය. භාජන ය ය. සියල්ල ම තිබෙන්නේ ආකාශ ධාතුව තුළ ය. ඒ ආකාශ ධාතුව ඉමක් කොනක් නැති තරමට විශාල වූවකි. සෑම තැන ම ආකාශය ය. එහෙත් එය උත්පාදාදි ලක්ෂණ සහිත වූ පෘථිවි ස්පර්ශාදි පරමාර්ථයන් සේ ඇතියක් නො වන බැවින් ඒකාන්තික පරමාර්ථ ධර්මයක් නො වේ. සත්ත්ව ශරීර ගස් ගල් ආදි වස්තූන් තුළ ද ඒ ආකාශ ධාතුව ඇත්තේය. සත්ත්ව ශරීරාදිය රූප කලාප පිණ්ඩයෝ ය. ඒවාට අයත් වූ සෑම රූප කලාපයක් වටේ ආකාශ ධාතුව ඇත්තේ ය. ඔවුනොවුන් මිශ්‍ර නො වී ඒ රූප කලාප වෙන් වෙන් වශයෙන් පවත්නේ තම තමන් අවට ඇති ඒ ආකාශ ධාතුව නිසා ය. ඒකාබද්ධ රූප කලාපයන් අතර ඒවා එකිනෙකින් වෙන් කරමින් පවත්නා වූ ආකාශ ධාතුවට “පරිච්ඡේද රූපය” යි කියනු ලැබේ. එය කිසි රූප කලාපයකට අයත් නො වේ. එහෙත් එය ඉපදෙන බිඳෙන රූප කලාපයන් අනුව දත යුත්තක් බැවින් රූප කලාපයන් සේ ම සප්තරසායුෂ්ක රූපයක් සැටියට සලකනු ලැබේ.
අජටාකාශය, රූප පරිච්ඡේදාකාශය යි ආකාශය දෙ පරිද්දකින් කියනු ලැබේ. සැපෙන දෙයක් හෙවත් ද්‍රව්‍යයක් නැති තැන අජටාකාශය නම් වේ. රූප කලාපයන්ගේ අතර රූප පරිච්ඡේදාකාශ නම් වේ. සැපෙතක් සැපෙන බව නොදැනෙන, ඇසට නො පෙනෙන රූප කලාප ඇති තැන් ද ඒ රූප කලාපයන් ගණනට නො ගෙන ලෝකයා විසින් ආකාශත්වයෙන් සලකනු ලැබේ. ලෝකයා විසින් ආකාශත්වයෙන් සලකන ඒ පෙදෙස් ද සිස් ඒවා නො වේ. අප වාසය කරන මේ පොළොව පෘථිවි ධාතුව උත්සන්න රූප කලාප පිණ්ඩයකි. පොළොව මතුයෙහි ආකාශත්වයෙන් සලකන පෙදෙස ද වායුවෙන් පිරී තිබේ. ඒ වායුව ඝනබද්ධ වායෝ ධාතුව අධික රූප කලාප සමූහයෙකි. එහි සිස් බවක් නැත. චන්ද්‍ර සූර්‍ය්‍ය තාරකාදීන් ගෙන් නික්මෙන ආලෝකය ද තේජෝ ධාතුව උත්සන්න රූප කලාප සමූහයෙකි. එබැවින් ආලෝකය පවත්නා පෙදෙස් හි සිස් නැත. අඳුර එක්තරා රූප කොටසකැයි කියති. ආලෝකය නැති තැන පෙනෙන සැටියයි ද කියති. ආලෝකය නැති තැන පෙනෙන සැටිය ම අඳුර නම් අඳුරය කියා දෙයක් නැත. එය රූප කොටසක් නම් අඳුර පවත්නා තැන සිස් නැත. අඳුර ඇති දෙයක් ද නැතිදෙයක් ද යන වග විමසිය යුතුය. අහසෙහි වායු ආලෝක ශීතෝෂ්ණාදි කිසිවක් නැති පෙදෙසක් වේ නම් නියම අජටාකාශය විය යුත්තේ ඒ පෙදෙස ය. ආලෝකාදිය පිරී ඇති පෙදෙස්වල සත්‍ය වශයෙන් ඇත්තේ පරිච්ඡේදාකාශය ම ය.