අමෝහය ශෝභන සාධාරණ චෛතසිකයන්ට අයත් නො වතුදු මෙහිදී ම කී කල්හි සුඛාවබෝධ වන බැවින් එය ද මෙතැන්හි දක්වනු ලැබේ. ආරම්මණයාගේ සැබෑ තත්ත්වය වසන්නා වූ මෝහයට ප්‍රතිපක්ෂ වූ නිවැරදි ලෙස ආරම්මණ තත්ත්වය ගන්නා වූ හෙවත් නො වරදවා ආරම්මණ තත්ත්වය ගැනීමට උපකාර වන්නා වූ ස්වභාවය අමෝහය ය. ප්‍රඥාව යනු ද විද්‍යාව යනු ද එහි නාමයෝ ය. මේ අමෝහය, ආර්‍ය්‍ය සත්‍යාදිය වසා ලන මෝහාන්ධකාරය දුරලන ආලෝකයකි.
අලෝභාදි ධර්ම තුන අතුරෙන් අලෝභය මසුරු බවට ප්‍රතිපක්ෂ ය. අදෝසය දුසිල් බවට ප්‍රතිපක්ෂ ය. අමෝහය කුශල ධර්ම විෂයෙහි අභාවනාවට ප්‍රතිපක්ෂ ය. තව ද ආලෝභය දාන හේතුව ය. අදෝසය ශීල හේතුව ය. අමෝහය භාවනා හේතුව ය. තව ද ලෝභියා ඒ ඒ වස්තූන් හා පුද්ගලයන් පමණ ඉක්මවා උසස් කොට සිතන්නේ ය. අලෝභය කරණ කොට පමණ නො ඉක්මවා සිතන්නේ ය. දුෂ්ට පුද්ගලයා අනුන් ගේ මහත් වූ ගුණය ද සුලු කොට සලකන්නේ ය. අදෝසය කරණ කොට ගෙන ගුණයෙන් අඩු නො කොට ඇති සැටියට ගන්නේ ය. අමෝහය කරණ කොට ගෙන කාරණය නො වරදවා ගන්නේ ය. තව ද අලෝභයෙන් ඇත්තා වූ වරද වරදක් ලෙස පිළිගනී. ලෝභී පුද්ගලයා විද්‍යමාන දෝසය වසයි, සඟවයි. අදෝසයෙන් විද්‍යමාන ගුණය ගුණ වශයෙන් පිළිගනී. දුෂ්ට පුද්ගලයා ඇති ගුණය මකයි. අවලංගු කරයි. අමෝහයෙන් ඒ ඒ දෙය ඇති සැටියට ගැනීමෙන් සත්‍යයෙහි පිහිටයි. මෝහය ඇත්තේ අසත්‍ය සත්‍යය ලෙස හා සත්‍යය අසත්‍යය ලෙස ද ගනී. තව ද අලෝභය නිසා ප්‍රිය විප්‍රයෝග දුඃඛය නො වේ. අදෝසය නිසා අප්‍රිය සම්ප්‍රයෝග දුඃඛය නො වේ. අමෝහය නිසා කැමති දෑ නො ලැබීමේ දුක නො වේ. තව ද අලෝභය නිසා ජාති දුක නො වේ. අලෝභය ජාති දුඃඛයට හේතු වන ලෝභයට ප්‍රතිපක්ෂ හෙයිනි. අදෝසය නිසා ජරා දුඃඛය නො වේ. ද්වේෂය අධික වූයේ ඉක්මනින් ජරාවට පත් වේ. අමෝහය නිසා මරණ දුඃඛය නො වේ. සම්මෝහ මරණය මහ දුකකි. එය නුවණැත්තාට නො වේ. තව ද අලෝභය නිසා ගෘහස්ථයන්ට සුවසේ එක් ව විසිය හැකි ය. අදෝසය නිසා පැවිද්දන්හට සුවසේ එකට විසිය හැකිය. අමෝහය නිසා සැම දෙනාට ම සුවසේ විසිය හැකි ය.
තව ද සත්ත්වයෝ බෙහෙවින් ලෝභය නිසා ප්‍රේතව උපදිති. අලෝභය ප්‍රේතත්ත්වයට නො පැමිණීමට හේතු වේ. ද්වේෂය නිසා සත්ත්වයෝ ද්වේෂය මෙන් රෞද්‍ර වූ නරකයෙහි උපදිති. අදෝසය නරකයෙහි නූපදීමට හේතු වේ. මෝහය නිසා සත්ත්වයෝ තිරිසන් බවට පැමිණෙති. අමෝහය තිරිසන් ව නූපදීමට හේතු වේ. තව ද අලෝභය රාග වශයෙන් ආරම්මණය කරා යෑම වළක්වයි. අදෝසය ද්වේෂය කරණකොට ගෙන ආරම්මණයෙන් ඉවත් වීම වළක්වයි. අමෝහය මෝහ වශයෙන් මධ්‍යස්ථ වීම වළක්වයි. තව ද අලෝභය නිසා කාමසුඛල්ලිකානුයෝග අන්තයට නො යෑම වේ. අදෝසය නිසා අත්තකිලමතානුයෝග අන්තයට නො යෑම වේ. අමෝහය නිසා මධ්‍යම ප්‍රතිපදාව ගන්නේ වේ. තව ද අලෝභය නිසා අභිජ්ඣාකායගන්ථයාගේ සිඳීම වේ. අදෝසය නිසා ව්‍යාපාදකායගන්ථයාගේ සිඳීම වේ. අමෝහය නිසා සීලබ්බතපරාමාස ඉදංසච්චාභිනිවෙස කායගන්ථයන්ගේ සිඳීම වේ. තව ද අලෝභය නිසා කායානුපස්සනා සතිපට්ඨානය වැඩේ. අදෝසය නිසා වේදනානුපස්සනා සතිපට්ඨානය වැඩේ. අමෝහය නිසා ඉතිරි සතිපට්ඨාන දෙදෙනා ගේ වැඩීම වේ. තව ද අලෝභය නිරෝගි බවට ප්‍රත්‍යය වේ. අලෝභය නිසා ලෝභනීය වූ අසත්ප්‍රායයන් සේවනය නො කරන බැවිනි. අදුෂ්ට පුද්ගල තෙමේ වහා ජරාවට පමුණුවන ද්වේෂාග්නියෙන් නො දවනු ලබන බැවින් අදෝෂය තරුණ බව කල් පැවතීමට හේතු වේ. මෝඩයා හිතාහිතයන් නො දැන අහිත දෑ සේවනය කිරීමෙන් ඉක්මනින් මරණයට පැමිණේ. නුමුලා වූයේ හිතාහිතයන් දැන අහිතය හැර හිතය සේවනය කිරීමෙන් චිර කාලයක් ජීවත් වේ. තව ද දීම ලැබීමට හේතු වන බැවින් අලෝභය භෝගසම්පත්තියට හේතු වේ. මෛත්‍රිය නිසා මිත්‍රයන් ලබන බැවින් අදෝෂය මිත්‍රසම්පත්තියට හේතු වේ. නුවණැත්තා තමා ගේ යහපත සිදු කර ගන්නා බැවින් අමෝහය ආත්ම සම්පත්තියට හේතු වේ. තව ද අලෝභය දිව්‍ය විහාරයට ද අදෝසය බ්‍රහ්ම විහාරයට ද අමෝහය ආර්ය විහාරයට ද ප්‍රත්‍යය වේ. (අලෝභ අදෝස අමෝහයන් පිළිබඳ වූ මේ විස්තර අත්ථසාලිනී නම් වූ දම්සඟුණු අටුවාවට අනුව ලියන ලදි.)