ගුප්ත කරුණු ස්වල්පයක්

ලෝභය ගින්නක් මෙන් සත්ත්ව සන්තානය දවන තවන ධර්මයෙකි. යම් කිසිවක් පිළිබඳ ලෝභය ඇති වූ කල්හි ඒ දෙය ලබනු පිණිස සත්ත්වයන් බොහෝ වෙහෙසෙන්නේ බොහෝ දුක් ගන්නේ ලෝභයෙන් කෙරෙන ඒ දැවීම තැවීම ඉවසා සිටීමට අපහසු බැවිනි. සාගින්නෙන් පෙළෙන තැනැත්තා හට එය නිවෙන්නේ ඒ අමාරුව සන්සිඳෙන්නේ ආහාරයක් ගැනීමෙනි. එමෙන් ලෝභාග්නිය නිවෙන්නේ ද ලෝභ කළ දෙය ලැබීමෙනි. ලෝභනීය වස්තුව ලෝභයේ ආහාරය ය. මෙහි ආහාරය යි කියනුයේ යම් කිසිවක් ඇති වීමට හේතු වන බව ගැන නොව නිවන බව ගැන ය. ලෝභාග්නිය නිවන ආහාරයක් වන බැවින් සත්ත්වයනට කාමනීය වස්තු ඉතා ප්‍රිය ය. ඒවා ලැබීමට උපකාර කරන අය හා දෙන අය ද ලෝභියාට ඉතා ප්‍රියයෝ ය. කොතරම් ගුණ හීනයකු වුව ද තමාට යමක් දෙන තැනැත්තා ගුණවතකු සැටියට ලෝභියාට පෙනෙන්නේ ය. එබැවින් ලෝභියා ඔහුට පසසන්නේ ය. ඔහුගේ ගුණ කියන්නේ ය.

ඊර්ෂ්‍යාව ද ලෝභය මෙන් ම සත්ත්ව සන්තානය දවන තවන ධර්මයකි. එය නිවෙන්නේ අනෙකකු ගේ විපත හෝ දුක හෝ දුප්පත්කම හෝ දැකීමෙනි. අන්‍යයන් ගේ විපත දුක දුප්පත්කම ඊර්ෂ්‍යාව නමැති ගින්න නිවන ආහාරය ය. අන්‍යයන් ගේ සැපය හා පොහොසත්කම ඊර්ෂ්‍යාව නමැති ගින්න වඩන දෙය ය. එබැවින් ඊර්ෂ්‍යාව නමැති ගින්නෙන් පෙළෙන්නහුට අනුන් ගේ දුක්, අනුන් ගේ දුප්පත්කම් මිහිරි ය. විපතට පැමිණි අයට හා පිරිහී සිටින අයට ද සැප හළවුන්ට ද ඊර්ෂ්‍යා කාරයා කැමති ය. පොහොසතුන්ට හා සැප විඳින්නවුන්ට නො කැමති ය. රූක්ෂ ප්‍ර‍තිපත්ති පුරන දුක් විඳින පැවිද්දන්ට බොහෝ දෙනා කැමති වන්නේ ද පසසන්නේ ද ඒ රූක්‍ෂ ප්‍ර‍තිපත්තිය සැපය හැර සිටින බව ඔවුන්ගේ සන්තානවල අනුශයිත ඊර්ෂ්‍යාවට ආහාරය වන බැවිනි. එහෙත් ඒ බව ඒ භවත්හු නො දනිති.

වස්තුව නැති වීම ලෝභය දල්වන කරුණකි. එබැවින් ගන්නා තැනැත්තාට ලෝභියා සතුරුය. එමෙන් ම අන්‍යයන්ගේ සම්පත් ඊර්ෂ්‍යාව නමැති ගින්න අවුලවන දෙයකි. එය ඊර්‍ෂ්‍යාකාරයාට පීඩාවෙකි. එබැවින් ඊර්‍ෂ්‍යාකාරයා සැප ඇතියවුන්ට සැප විඳින්නවුන්ට සතුරුය. බොහෝ දෙනා සුවසේ කල් යවන පැවිද්දන්ට නො සතුටු වන්නේ ද ගර්හා කරන්නේ ද ඊර්ෂ්‍යාව නිසා ය. එහෙත් ඒ භවත්හු ඒ බව නො දනිති.

ඊර්‍ෂ්‍යාව ද නොයෙක් කරුණු සම්බන්ධයෙන් ඇති වන්නකි. අනුන් ගේ ගුණවත් බව පිළිබඳ ව ද ඊර්‍ෂ්‍යාව ඇති වේ. ගුණවත් බව පිළිබඳ ඊර්‍ෂ්‍යාව ඇති තැනැත්තා ගුණවතුන්ට සතුරු ය. ගුණවතුන්ට නො පසසන්නේ ය. ගුණහීනයන්ට කැමති ය. මිතුරු ය. ඇතැමුන් බොහෝ දුක් ගනිමින් ගුණදම් රකින හෙවත් සිල් රකින පැවිද්දන්ට ගර්හා කරන්නේ ඔවුන් ගේ ප්‍ර‍තිපත්ති සැහැල්ලු කොට හෝ නිෂ්ඵල කොට හෝ කථා කරන්නේ ගුණදම් පිළිබඳ ඊර්‍ෂ්‍යාව නිසා ය. ඒ බව ඒ භවත්හු නො දනිති. ගුණදම් පිළිබඳ ඊර්‍ෂ්‍යාව ඇති තැනැත්තේ ගුණදම් නො පුරන කාමභෝගී පැවිද්දන්ට කැමති ය. හෙතෙමේ එබඳු පැවිද්දන් සෘජු පුද්ගලයන් වශයෙන් ද ලොවට වැඩ ඇතියන් වශයෙන් ද දක්නේ ය. ඔවුනට පසසන්නේ ය. එහෙත් එය ඊර්‍ෂ්‍යාව නිසා කෙරෙන වැඩක් බව ඒ භවත්හු නො දනිති. මෙයින් හැම දෙනාගේ ම පැවිද්දන් කෙරෙහි පැහැදීම් කලකිරීම් ඊර්‍ෂ්‍යාව නිසාම සිදු වන්නක් බව නො කියනු ලැබේ. කාරණය අවුල් කර නො ගෙන තේරුම් ගනිත්වා. මේවා සාමාන්‍ය ජනයා තබා උගතුන් පවා නො දන්නා ගුප්ත කරුණු ය. චෛතසික ධර්ම සම්බන්ධයෙන් කිය හැකි මෙබඳු කරුණු බොහෝ ඇත්තේ ය. මඟ දැක්වීමක් වශයෙන් මේ ස්වල්පය මෙයට ඇතුළු කරන ලදි.