සිතට ආරම්මණයේ ඇති සැටිය හසු කර ගත නොහෙන සැටියට, යම් කිසි කරුණක සැබෑ ආකාරය හසු කර ගත නොහෙන සැටියට ආවරණය කරන්නා වූ, කාරණය වරදවන්නා වූ ධර්මය මෝහය ය. එය සිතට ආරම්මණයාගේ සැබෑ තත්ත්වය වසන්නේ කාරණය වරද වන්නේ අන් තැනක සිට ගෙන නොව සිතේ ම සිට ගෙන ය. එබැවින් එය සිතේ රෝගයකි. එය ඇස වසන පටලයක් වැනි යයි ද, අඳුරක් වැනි යැයි ද, කීමට වටනේය. මෝහයෙන් සිතට කාරණය වරදවන බැවින් මේ සත්ත්වයනට සකල දුඃඛයන්ගේ ම පැවැත්මට ස්ථාන වූ පඤ්චස්කන්ධය නපුරක් සැටියට නොව සොඳ දෙයක් මිහිරක් සැටියට පෙනේ. ඒ දුක් ඇති වීමේ හේතුව වූ තෘෂ්ණාව සැපයේ හේතුවක් සේ පෙනේ. සත්‍ය වූ සුඛය නපුරක් සැටියට පෙනේ. දුකින් මිදීමේ ප්‍රතිපදාව නපුරක් සැටියට පෙනේ. එබැවින් මේ මෝහය නිසා සත්ත්වයෝ හොඳ මඟ නො යෙති. නො මඟ යෙති. මේ මෝහය නොයෙක් විට පවත්නේ ප්‍රඥාවගේ මුහුණුවරිනි. එබැවින් සත්ත්වයෝ මෝහය වැඩි වැඩි තරමට තුමූ පණ්ඩිතයයි සිතති. අකුශල ක්‍රියාවන්හි උපාය චින්තක වශයෙන් පවත්නා කල්හි එය විශේෂයෙන් ම ප්‍රඥා රූපය ගන්නේය. මිථ්‍යා ඥානයයි කියනුයේ ඒ මෝහයට ය. මෝහය, ලෝභය, දෘෂ්ටිය, විතර්කය, විචාරය, චිත්තය යන මේ ධර්මයෝ සදෙන අකුශල පක්ෂයෙහි ඥානය මෙන් පවත්නාහ. ප්‍රකෘතියෙන් නුවණ ඇත්තා වූ උගත් ජනයා කෙරෙහි උපදනා වූ ඒ ධර්මයෝ ඔවුන් නොයෙක් උපාය යොදා පව් කිරීමෙහි සමතුන් කෙරෙති. පව් කිරීමෙහි දක්ෂයන් බවට පමුණුවති. ආදීනව බොහෝ බැවින් අකුශලය නො කළ යුත්තකි. මේ සත්ත්වයනට අනේකාදීනවයෙන් යුක්ත වූ ඒ අකුශලය පැකිළීමක් පසු බැසීමක් නැති ව මිහිරි දෙයක් වශයෙන් එඩිතරව කළ හැකි වන්නේ එහි ආදීනවය අකුශල චිත්තයට නො ගත හැකි පරිද්දෙන් වසන මෝහය නිසාය. මෝහයෙන් තොරව අකුශල චිත්තයක් නූපදී. මෝහය හැම අකුශල චිත්තයක ම ලැබෙන්නේ ය.