නො දත් දෙය දැන ගැන්ම සඳහා සිතින් කරන උත්සාහයකට කල්පනා කිරීම යයි කියති. එය එතෙක් නො පැමිණි අරමුණකට සිත පමුණුවනු සඳහා කරන උත්සාහයකි. විතක්ක යනු ඒ උත්සාහය ය. ඒ ව්‍යාපාරය ය. සිතක් උපදින්නේ අරමුණට පැමිණ අරමුණෙහි එල්ලී ගෙන ම ය. ඉපදීමට කලින් ද සිත නැත. උපන් සිතක් අන් තැනකට අන් අරමුණකට පැමිණවීම ද නො කළ හැකි වැඩකි. එබැවින් සිතක් අරමුණකට පමුණුවන බලයක් ඇති ධර්මයක් හෝ පුද්ගලයෙක් හෝ සිතින් පිටත නැත. මේ කියන, සිත අරමුණට පමුණුවන විතර්කය සිතින් බැහැර ඇතියක් නොව, අරමුණට පැමිණෙන සිත සමග ඉපදී වෙන් නො කළහැකි ලෙස සිත හා බැඳී පවත්නා ධර්මයක් බව දත යුතු ය. සිතත් විතර්කයත් වෙන්කර ගත යුත්තේ ඒ ධර්ම දෙකෙන් කැරෙන කෘත්‍ය නානත්වයෙනි. සිත නම් ආරම්මණ ග්‍රහණ ව්‍යාපාරය යි. විතර්කය අරමුණ කරා යාමේ ව්‍යාපාරයයි. ආරම්මණය කරා යාමේ ව්‍යාපාරය සිදුවන කල්හි එයට අනුකූල වීම් වශයෙන් සිත ද අවශේෂ චෛතසිකයෝ ද තම තමා අයත් කෘත්‍යය සිදු කිරීම් වශයෙන් අරමුණට යෙති. එබැවින් සම්ප්‍රයුක්ත ධර්මයන් අරමුණ කරා පමුණුවන ධර්මය විතර්කයයි කියනු ලැබේ.
අරමුණ කරා පමුණුවන ධර්මය වූ විතර්කය සෑම සිතට ම නුවුමනා ය. චක්ඛුවිඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය යන මේ සිත් පස රූපාදි අරමුණු චක්ෂුරාදි වස්තූන්හි ගැටීම නිසා ඒ ඒ ස්ථානයන්හි ම විතර්කයාගේ මෙහෙයීමක් නැතිව උපදී. ද්විතීය ධ්‍යාන චිත්තාදීහු පූර්ව භාගයෙහි චිත්තසන්තතිය හුරු කිරීමේ බලයෙන් ඒ ඒ හුරු කරන ලද අරමුණුවලට විතර්ක විරහිතව පැමිණ උපදිති.