ඇසට පෙනෙන එක් එක් වස්තුවක දැකිය හැකි ආකාර බොහෝ ඇත්තේ ය. යම් කිසි වස්තුවක් ඉතා ළඟ සිට බලන කල්හි පෙනෙන්නේ එක් ආකාරයකිනි. මඳක් දුර සිට බලන කල්හි එය පෙනෙන්නේ අන් ආකාරයකිනි. ඉතා දුර සිට බලන කල්හි පෙනෙන්නේ තවත් ආකාරයකිනි. එක පැත්තකින් බලන කල්හි පෙනෙන්නේ එක් ආකාරයකිනි. තවත් පැත්තකින් බලන කල්හි පෙනෙන්නේ තවත් ආකාරයකිනි. එසේ වෙනස් වෙනස් අයුරින් පෙනෙන්නේ එක වස්තුවක ගත හැකි දැකිය හැකි ආකාර බොහෝ ගණනක් ඇති බැවිනි. ගෙයක් වැනි මහත් වස්තුවක එසේ දැකිය හැකි ආකාර දහස් ගණනක් ලක්ෂ ගණනක් ඇති බව කිය යුතුය. එක වස්තුවක දැකිය හැකි ආකාර බොහෝ වන්නාක් මෙන් ම සිතට අරමුණු වන සෑම ධර්මයක ම සෑම වස්තුවක ම සිතින් ගත හැකි දත හැකි ආකාර ද බොහෝ ඇත්තේ ය.
යම්කිසි අරමුණක් ගන්න වූ සිත, ඒ අරමුණෙහි ගත හැකි ආකාර සියයක් වේ නම් ඉන් අනූනවයක් හැර එක් ආකාරයක් ගෙන ඒ ආකාරයෙහි පිහිටා ඒ අරමුණ ගත යුතුය. එක් සිතකට එක් වරකදී එක ආරම්මණයක් එක් ආකාරයකින් ම මිස අනේකාකාරයෙන් නො ගත හැකි ය. අනේකාකාරයෙන් ගන්නට ගිය හොත් එක් ආකාරයකින් වත් අරමුණ හසු නොවන්නේ ය. එබැවින් සෑම සිත ම තමන් ගන්නා ආරම්මණයේ ඇති අනේකාකාරයන් හැර එක් ආකාරයක පිහිටා එක් ආකාරයකින් අරමුණ ගන්නේ ය. සිතෙහි ඇත්තා වූ ඒ ආරම්මණයේ එක් ආකාරයක පිහිටන ස්වභාවය ඒකග්ගතාව ය. එය සිතින් අන්‍ය වූ ධර්මයක් බැවින් චෛතසික ය කැයි කියනු ලැබේ. සෑම අරමුණක ම අනේකාකාර ඇති බැවින් මේ චෛතසිකය නැතිව සිතකට නූපදිය හැකි ය. එබැවින් මෙය සර්වචිත්ත සාධාරණය. එක ම අරමුණක ගත හැකි නොයෙක් ආකාර තිබීම අරමුණ ගන්නා සිතට බාධාවකි. සෑම සිතකට ම ඒකග්ගතාවය උවමනා වන්නේ ඒ නිසාය.
නානාරම්මණයක් කරා නොගොස් එක අරමුණක පිහිටන ස්වභාවය ඒකග්ගතාවය යි ගැනීම නුසුදුසු ය. එක් අරමුණක් ගැනීමේ දී එය හා සම්බන්ධයක් නැති දුර තිබෙන අරමුණු වලින් ඒ ගැනීමට වන බාධාවක් නැති නිසා නානාරම්මණයන් කරා නො ගොස් එක් අරමුණක පිහිට වීමට අමුතු ධර්මයක් සිතට නුවුවමනා ය. මෙය බොහෝ දෙනා වරදවා තේරුම් කරගෙන තිබෙන කරුණකි.
සමාධි යනු ද ඒකග්ගතාවට නමෙකි. මහද්ගත ලෝකෝත්තර චිත්තයන්හි සමාධිය බලවත් ය. කාමාවචර සමාධිය දුබල ය. උද්ධච්ච සහගත සිතේ සමාධිය වඩාත් දුර්වල ය.