විගතත්වයෙන් හෙවත් තැනින් පහවීමෙන්, අභාව ප්‍රාප්තියෙන් අන්‍ය ධර්මයකට උපකාර වන ධර්මය විගත ප්‍රත්‍යය ය. අවිගතත්වයෙන් හෙවත් තැනින් පහ නො වීමෙන් විද්‍යමානත්වයෙන් උපකාරක ධර්මය අවිගත ප්‍රත්‍යය ය. ධර්ම වශයෙන් හා ශක්ති වශයෙන් ද අස්ති අවිගත දෙක්හි වෙනසක් ද දක්නට නැත. එසේ ම නාස්ති විගත දෙක්හි වෙනසක් ද නැත. ධර්ම වශයෙන් හා ශක්ති වශයෙන් වෙනසක් නැතිව අස්ති නාස්ති ප්‍රත්‍යය දෙකින් ම නො නවත්වා විගතාවිගත යුගළය දක්වා ප්‍රත්‍යය වැඩි කළේ කුමක් නිසා ද? යන බව කල්පනා කළ යුත්තකි. මේවායේ එකිනෙකට වෙනසක් ද ඇතැම් පොතක දක්වා තිබේ. එහෙත් ඒවායේ දැක්වෙන කරුණු වලින් මේ ප්‍රත්‍යය යුගළ දෙක්හි වෙනසක් ඇති බවක් සිතා ගත නො හැකිය. එක ම කාරණය අන් වචන වලින් ද සමහර තැනක දී පැවසීම තථාගතයන් වහන්සේගේ සිරිතකි. එසේ කරනුයේ ඒ ඒ වචන වලින් දේශනය කළ කල්හි කාරණය තේරුම් ගන්නා පුද්ගලයන්ගේ වශයෙනි. මෙය ද එබඳු තැනකි.
සිතේ නිරෝධය සත්ත්වයනට අප්‍රකට කරුණකි. එබැවින් නිරුද්ධ වූ සිත ද ඇතය යන හැඟීමෙන් ඔවුහු සිත ආත්ම වශයෙන් තදින් ගෙන සිටිති. ඒ ආත්ම දෘෂ්ටිය හෙවත් සත්කාය දෘෂ්ටිය සත්ත්වයන් කෙරෙන් තුරන් කරවීම ඉතා දුෂ්කරය. සිතේ උත්පාද නිරෝධ වඩාත් ප්‍රකට කරවනු පිණිස විගතා විගත ප්‍රත්‍යය යුගළය වදාරන ලදැයි ද, සිතිය හැකි ය. විගතා විගත ප්‍රත්‍යයන්ගේ ත්‍රිරාශිය ද නත්ථි අත්ථි දෙක්හි මෙන් දත යුතුය.