එක් දෙයක් ඇති තැන අනිකකට පැමිණීමට හෝ පහළ වීමට ඉඩක් නැත. එබැවින් ඇත්තා වූ සැම දෙයක් ම අනෙකකට බාධකයෝ ය. ඒ ඒ දෙයෙහි අභාවප්‍රාප්තිය අනෙකකට එතැන පහළ වීමට උපකාරයෙකි. අභාවයට පැමිණීම් වශයෙන් අනෙකක පහළ වීමට උපකාර වන ධර්මය නාස්ති ප්‍රත්‍යය ය. එහි ත්‍රි රාශිය අනන්තර ප්‍රත්‍යයෙහි මෙන් කිය යුතු ය.
නාස්තිත්වය (නැති බව) අනෙකක පහළ වීමට උපකාරයක් වතුදු එය ශක්ති විශේෂයක් නොවේ. එය විශේෂ ප්‍රත්‍යයක් සැටියට දේශනය කර තිබෙන්නේ ධර්ම විභාග නො දත් ජනයන් කෙරෙහි ඇති නිරුද්ධ වූ ධර්මය නිරුද්ධ වූ පසු ද ඇත ය යන වැරදි හැඟීම් දුරුවීම පිණිසය. සාමාන්‍ය ජනයා සිතේ නිරෝධය නො දනිති. ඔවුහු මට මෙබඳු දෙයක් කිරීමේ සිතක් තිබේය, මෙබඳු දෙයක් ලබා ගැනීමේ සිතක් තිබේය, අසවලාට මෙබඳු සිතක් තිබේය යනාදීන් නැත්තා වූ නිරුද්ධ වූ සිත් ඇති සැටියට සලකති. ඇති සැටියට සලකා ඒවා ආත්ම වශයෙන් ද සලකති. නාස්ති භාවය ප්‍රකට වීමට අස්ති භාවය ද දැක්විය යුතු ය. එබැවින් අස්ති භාවය සහජාතාදි ශක්තීන්ගෙන් අන්‍ය විශේෂ ශක්තියක් නොවතුදු අස්ති ප්‍රත්‍යය ද දේශිතය.