පරිච්ඡේද රූපය හෙවත් ආකාශ ධාතුව
රූප හටගන්නා කල්හි තනි තනිවම නොව රූප කලාප හෙවත් සමූහ වශයෙන් එකට බැඳී හටගන්නා බවත් එසේ වෙන් වෙන්ව හටගන්නාවූ රූප කලාප සමූහයක් එකතු වීමෙන් නොයෙක් ද්‍රව්‍යයන් සෑදෙන බවත් යට දක්වන ලදී. මෙසේ හටගන්නාවූ ද්‍රව්‍යයෝ එකිනෙකට වෙන්වම පවත්නා මෙන්ම ද්‍රව්‍යයන් බවට පැමිණි රූප කලාපයෝ ද එකිනෙකට වෙන්වම පවතී. එහෙයින් රූප කලාප වෙන් කරන්නාවූ හෙවත් රූප කලාප දෙකකට අතර කිසිවක් නැති හිස් ස්වභාවයක් තිබිය යුතුයි. එසේ වෙන් වීමක් නොමැති නම් රූප කලාපයන්ගේ වෙන්වීමක්ද නොවන්නේය. එබැවින් ඒ ඒ රූප කලාප හෝ ද්‍රව්‍ය සම්භාර හෝ වෙන් වෙන්ව ප්‍රකාශ කරන්නාවූ හෝ ඔවුන්ගෙන් තමා ම පිරිසිඳීම ලබන්නේ හෝ රූපයන්ගේ පිරිසිඳීම් මාත්‍රය හෝ වේ නම් එයට ආකාශය යයි කියනු ලැබේ. එයම සත්ත්වයෙක් පුද්ගලයෙක් ජීවිතයක් නොවන බැවින් ධාතු නම් වේ. එබැවින් ආකාශ ධාතු යන නාමය වේ. රූපකලාපයන් වෙන්කොට හෙවත් පරිච්ඡේද කොට දක්වන හෙයින් පරිච්ඡේද රූප නමුදු වේ. මෙය පඨවි, ආපො, තෙජො වායෝ ආදී වශයෙන් දක්වනලද රූපයන් මෙන් එකාන්ත ලක්ෂණ ඇති, රූප කලාපවලට ඇතුළත් වූ පරමාර්‍ත්‍ථ ධර්මයක් නොවෙතත් එයින් වෙන් කරනු ලබන්නාවූ රූපකලාපයන්ගේ උත්පාදයත් සමග පහළවී චිත්තක්ෂණ සතළොසකින් (17) ඇති වන්නාවූ ඒ රූපකලාපයන්ගේ නිරුද්ධයත් සමගම අභාවයට පත්වන්නා සේ ඇතිවන බැවින් වෙන් වූ රූප ධර්මයක් හැටියට සළකනු ලැබේ.
ආකාශ ධාතුවෙන් පිරිසිඳින ලද ඒ ඒ රූපකලාප අන්‍ය කලාප හා මිශ්‍ර නොවී, මේ කලාපය මෙයින් උඩය, යටය, සරසය යනාදී වශයෙන් පිරිසිඳීම මෙහි ස්වභාවයයි.
ආකාශ ධාතුව රූප පරිච්ඡේදය ලක්ෂණ කොට ඇත්තේය. රූප කලාපයන්ගේ දැක්වීම හෙවත් ප්‍රකාශ කිරීම එහි කෘත්‍යය වේ. රූපයන්ගේ පරිච්ඡේද මාත්‍රය හෙවත් සීමාව වැටහෙන ආකාරය වේ. පිරිසිඳින ලද රූපයන් ආසන්න කාරණ කොට ඇත්තේය.
ආකාශය, නොගැටෙන බව, විවරය, සතර මහා භූතයන්ගෙන් ස්පර්ශ නොවන බව ආකාශ ධාතුව නම් වන්නේය.
අජටාකාශය, රූප පරිච්ඡේදකාශය යයි ආකාශය දෙපරිද්දෙකින් දක්වනු ලැබේ. සතර මහා භූතයන්ගේ ස්පර්ශයක් නොවන තැන හෙවත් ද්‍රව්‍යයන් නැති තැන අජටාකාශය නම්වේ. රූපකලාපයන්ගේ අතර, රූප පරිච්ඡේදකාශය වේ. මේ පොළොව මතුවෙහි ආකාශය ලෙස සලකන පෙදෙස වායුවෙන් පිරී තිබේ. වායුව නම් වායෝ ධාතුව අධික රූපකලාප සමූහයකි. එබැවින් අපට පෙනෙන අහස රූපකලාපයන්ගෙන් සිස් තැනක් නොවේ, එබැවින් අජටාකාශය යයි කියයුත්තේ වායු, ආලෝක, ශීතෝෂ්ණාදි කිසිවක් නැති පෙදෙසට ය.