අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ආහාර හෙවත් ඕජා රූපය

ඵලය ඇතිකරවන්නාවූ ද, ගෙනදෙන්නාවූ ද ආහරණය කරන්නාවූ ද විශේෂ හේතුන්ට ආහාරයෝ යයි කියනු ලැබේ. මේ ආහාරයෝ සතර දෙනෙකි.

එනම්:-

  1. එස්සාහාරය
  2. මනොසඤ්චෙතනාහාරය
  3. විඤ්ඤාණාහාරය
  4. කබලීකාරාහාරය

ස්පර්ශය හෙවත් එස්ස චෛතසිකය සත්ත්‍වයන්ගේ පැවැත්මට උවමනා වේදනා ආහරණය කරන හෙවත් ගෙන දෙන විශේෂ හේතුවක් වන හෙයින් එයට එස්සා- හාරය යයි කියනු ලැබේ.

සංඛාර නම් වූ කුසලාකුසල සඞ්ඛ්‍යාත චෙතනාව හෙවත් චෙතනා චෛතසිකය, ප්‍රතිසන්‍ධි විඤ්ඤාණය ආහරණය කරන හෙවත් ගෙනදෙන විශේෂ හේතුවක් වන බැවින් එයට මනෝසඤ්චේතනාහාරය යයි කියනු ලැබේ.

ප්‍රතිසන්‍ධි විඤ්ඤාණය හෙවත් ප්‍රතිසන්‍ධි සිත, නාමරූප ධර්‍මයන් ආහරණය කරණ බැවින් එයට විඤ්ඤාණාහාරය යයි කියනු ලැබේ.

මේ ත්‍රිවිධ ආහාරයෝ ම නාම ධර්‍මයෝ යි.

කබල නම් වූ බත් ආදිය පිඬු පිඬු කොට අනුභව කරණ හෙයින් ද, ඔජට්ඨමක රූපය උපදවන හෙවත් ආහරණය කරණ හෙයින්ද කබලීකාරාහාරය නම් වූ මේ රූපය, අටවිසි රූපයන්ට ඇතුළත් වූ ඔජා සඞ්ඛ්‍යාත ආහාර රූප යයි. එබැවින් කබලීකාරාහාරය යයි කී කල්හි සවස්තුක ඔජාව හෙවත් බත් පිඬු ආදියන්, එහි ඇති ඔජාව හෙවත් රස ධාතුවත් ඇතුළත් වන බව දතයුතු යි වස්තු හෙවත් බත් පිඬු ආදියෙන් පරිශ්‍රය හෙවත් කර්‍මජ තේජස දුරුකරන්නේය. ඔජාව රූප පාලනය කරන්නේය. ආමාශය තුළ ඔදනාදිය නැති කල්හි පාවකාග්නිය හෙවත් කර්‍ම තේජස උත්සන්න වීමෙන් බඩගින්න හටගනී. එවිට බත් පිඬු ආදී ආහාරයක් මුඛයට ඇතුල් කල කල්හි එම ආහාරය දත්වලින් සපා, මුඛගත ඛේට හෙවත් කෙළ සමඟ මිශ්‍රවී ගිලීමට සුදුසු පිණ්ඩයක් මෙන් කොට අන්නශ්‍රෝතයට ඇතුල්වී ක්‍රමයෙන් ආමාශය කරා ගෙණයනු ලැබේ. එහිදී ආමාශයික යුෂයන් හා මිශ්‍රණය වීමෙන් උත්සන්න වූ තේජසය නිවී හෙවත් බඩ ගින්න නිවී ඒ තේජසින් ආහාරය දිරවීමට ආරම්භ වන්නේය. මෙසේ තේජසයෙන් ද අනුබල ලැබ ඛේට හා ආමාශයික යුෂයන් කරණකොටගෙණ දිරීමට පත් කරණ ලද ආහාර පිණ්ඩයන් ආන්ත්‍රයන්ට ඇතුළ්වී ක්‍රමයෙන් ගුද මග කරා ගමන් කරන්නේය. මෙසේ පැසවන ලද ආහාරයන්ගේ ඔජාව හෙවත් රසය, ශරීරයෙහි පාලනයට සුදුසු වූ ආහාරජ රූප කලාප සන්තතිය උපදවා, ලේ ධාතුව සමග මිශ්‍රවී නොයෙක් ශරීරාවයවයන් කරා පමුණුවා පෙනහැල්ලේ උපකාරයෙන් ලබන ලද පිරිසිදු වායුව හා සම්මිශ්‍රණ වීමෙන් වඩාත් පිරිසිදු වී ශරීරාවයවයන්ට අතුළු වන්නේය.. මේ ඕජාවට බාහිර ඕජාව යයි කියනු ලැබේ. මේ බාහිර ඕජාවන්ගෙන් රුකුල් ලැබීමෙන් කර්‍මජ රූපකලාපාදීන්ට අයත් අධ්‍යාත්මික ඕජා රූපයන්ගේ පැවැත්ම වන්නේය. අධ්‍යාත්මික ඕජාවත්, බාහිර ඕජාවත් යන දෙදෙනාගේ ම සම්බන්‍ධය හෙවත් උපකාරය නැති කල්හි රූපකලාපයන්ගේ හට ගැනීමට සහ පැවැත්මට බාධා පැමිණෙන්නේය. ආහාරය නැති කල්හි ශරීරය දිරීමත්, අප්‍රාණික වීමත් ඇතිවන්නේ මේ හේතුවෙන් බව සැළකිය යුතුයි.

මව් කුසයෙහි වසන සත්ත්‍වයා හට කබලීකාරාහාර ඕජාවන් ලැබෙන්නේ මවගේ මාර්‍ගයෙනි. මව කබලීකාරාහාර නොගන්නේවීනම් මවගේ ශරීරය පමණක් නොව මව් කුස වැදහෝනා ළදරුවා ද විනාශයට පත් වන්නේය.

මේ ආහාරය මුඛයෙහි බහා වැළඳීමෙන් හෝ, ශරීරයෙහි ආලේප කිරීමෙන් හෝ සම් මස් විද ඇතුල් කිරීමෙන් හෝ අන් ක්‍රමයකින් ශරීරගත කිරීමෙන් හෝ ශරීරය පොෂණය වන්නේය.

අනුභව කරන්නාවූ ආහාරයන් අතුරෙන් ඔදාරික ආහාරයන්හි ඕජාව ස්වල්පය. ගිතෙල් ආදී සිනිඳු ආහාර යන්හි ඕජාව බලවත් ය. ස්වල්ප වූ ඕජාව ඇති ආහාර ගැනීමෙන් පසු වහාම බඩගින්න ඇතිවන්නේත් බලවත්වූ ඕජාව ඇති ආහාර ගැනීමෙන් පසු බොහෝ වේලා ගින්න හට නොගන්නේත් ඕජාවන්ගේ වෙනස කරණ කොට ගෙණ ය.

ආහාර වශයෙන් ගණු ලබන්නාවූ බත් පිඬු ආදිය ඕජා අධික වූ ඍතුජ රූපකලාප සමූහයක් බවත්, ඒ ඒ රූප කලාපයෝ චිත්තක්‍ෂණ සතළොසකට (17) වඩා නො පවත්නා බවත්, පිඬු පිඬු කොට මුඛයෙහි තබන්නාවූ ද, මුඛයෙන් අන්නශ්‍රොත, ආමාශ, ආන්ත්‍රාදීන්හි පැසව පැසවමින් ගමන් කරන්නාවූ ආහාර පිණ්ඩයන් ද සතළොස් (17) චිත්තක්‍ෂණයකට ආයු ඇති රූප කලාප සන්තතියක්ම බවත්, එයින් උපදවනු ලබන්නාවූ ද, ලෙය සමඟ මිශ්‍රවී ශරීරාවයවයන් කරා ගමන් කරන්නාවූ ද ඕජා අධික රූප කලාපයෝ එබඳුම රූප කලාප සන්තතියක් ම බවත් කබලීකාරාහාරය නැති කල්හි නිරුද්ධ වන්නේත් මේ ආහාරජ රූපකලාප සන්තතියම බවත් මතක තබා ගත යුතුයි.

කබලීකාරාහාරය ඕජාව ලක්‍ෂණ කොට ඇත්තේය. ඕජට්ඨමක රූප පැවැත්වීම කෘත්‍ය කොට ඇත්තේය. ඕජට්ඨමක රූප ඉපදීම් වශයෙන් රූප කායයට රුකුල් දීම පච්චුපට්ඨානය හෙවත් වැටහෙන ආකාරය වේ පිඬු කොට හෙවත් කබල කබල කොට අනුභව කළයුතු වස්තු ආසන්න කාරණය හෙවත් පදට්ඨානය වේ.

තවද, ගල් ආදිය ගිල දිරවා ගන්නාවූ කිඹුලන්ගේ ආහාරය ඉතා ඖදාරිකය. කිඹුලන්ගේ ආහාරයට වඩා සර්‍පාදීන් කන්නාවූ මොනරුන්ගේ ආහාරය සියුම් ය. මොනරුන්ගේ ආහාරයට වඩා අං, ඇට, කටු ආදිය අනුභව කරන්නාවූ වලසුන්ගේ ආහාරය සියුම් ය. වලසුන්ගේ ආහාරයට වඩා ගස්වල අතු කොල ආදිය කන්නාවූ ඇතුන්ගේ ආහාරය සියුම් ය. ඇතුන්ගේ ආහාරයට වඩා නොයෙක් ගස්වල කොල පොතු ආදිය බුදින්නාවූ ගෝන මුව ආදීන්ගේ ආහාරය සියුම්ය. ගෝන මුව ආදීන්ගේ ආහාරයට වඩා තණ පත් අනුභව කරන්නාවූ ගවයන්ගේ ආහාරය සිනිඳුය. ගවයන්ගේ ආහාරයට වඩා සාවුන්ගේ ආහාරය ද, සාවුන්ගේ ආහාරයට වඩා පක්‍ෂීන්ගේ ආහාරය ද, පක්‍ෂීන්ගේ ආහාරයට වඩා ප්‍රත්‍යන්තවාසීන්ගේ ආහාරය ද, ඔවුන්ගේ ආහාරයට වඩා ගම්හි වසන්නන්ගේ ආහාරය ද, ඔවුන්ගේ ආහාරයට වඩා රාජරාජ මහාමාත්‍යයන් ගේ ආහාරය ද, ඔවුන්ගේ ආහාරයට වඩා සක්විති රජුන්ගේ ආහාරය ද, ඔවුන්ගේ ආහාරයට වඩා භූමාට දෙවියන්ගේ ආහාරය ද, ඔවුන්ගේ ආහාරයට වඩා චාතුම්මහාරාජික දෙවියන්ගේ ආහාරය ද, ඔවුන්ගේ ආහාරයට වඩා මතු මත්තෙහි දෙවියන්ගේ ආහාර ද සියුම් වන බව දක්වා තිබේ.

මෙහි දක්වන ලද භූත රූප, ප්‍රසාද රූප, ගෝචර රූප, භාව රූප, හදය රූපය, ජීවිත රූපය සහ ආහාර රූපය යන අටළොස් රූපයෝ කර්‍කශාදී වූ තමතමා පිළිබඳ වූ ස්වභාවයෙන්ම හෙවත් ලක්‍ෂණයන් ගෙන්ම යුක්ත වන බැවින් ස්වභාව රූප නම් වෙත්. උත්පාදාදී වූ ද, අනිත්‍යාදී වූ ද ලක්‍ෂණයන්ගෙන් යුක්ත බැවින් සලක්‍ෂණ රූප ද වෙත්. තම තමන් උපදවන කර්‍මාදි ප්‍රත්‍යයෙන්ම උපදවනු ලබන බැවින් නිෂ්පන්න රූප නම් වෙත්. නිෂ්පර්‍ය්‍යාය වශයෙන්ම රුප්පන හෙවත් විනාශයට පත්වන ලක්‍ෂණ ඇති හෙයින් රූපරූප නම් වෙත්. යෝගාවචරයන් හට අනිත්‍යාදී ත්‍රිලක්‍ෂණ වශයෙන් සම්මර්‍ශනය කිරීමට යෝග්‍ය වන බැවින් සම්මර්‍ශන රූප නම් වෙත්. එබැවින් මේ අටළොස් රූපයන්ට ස්වභාව රූප යයි ද, සලක්‍ෂණ රූප යයි ද, නිෂ්පන්න රූප යයි ද, රූප රූප යයි ද, සම්මර්‍ශන රූප යයි ද ව්‍යවහාර කරණු ලැබේ.